Monday, March 14, 2011

දැන් කාලේ හැදෙන උන්


අද කියන්න හිතුවේ අපරාජිතයට හිතෙන දෙයක් ගැන මට වෙච්ච පොඩි ඇබැද්දියක් සම්බන්ද කරලා.මෙන්න කිව්වා මේකට කිසිම කෙල්ලෙක් බූට් එකක් සම්බන්ධ නැහැ.

කලින් පොස්ට් එක ඊයේ හවස දැම්මා අර "රෝසා පොල්ල ගෙනෙන් බලල මරන්න 2 වෙනි" කොටස.ඒක මිස් උන කව්රු හරි ඉන්නවනම් කියවන්න කැමතිනම්.

නිකන් මේ අපරාජිතයට හිතෙන දෙයක් ගැන කියන්න කියලා හිතුවේ.බ්ලොග් එකක් උනාම හැම පැත්තටම කැර කෙන්න එපාය එකයි.

මේක මෙහෙම ලියන්න හේතුවත් අපේ කුප්පයා රත්ගමයාගේ බ්ලොග් එකේ වැටුණු "මොනවද ගෑනියේ බලන්නේ......" පොස්ට් එක දැකලා මතක් වෙච්ච සිද්දියක් එක්ක.

පොඩි කාලේනම් අපිට බත් කටක් කවා ගන්න ඔනෑ උනාම අම්මා කියනවා මතකයි
"ඔන්න පුතේ බයියන් කෑවේ නැත්නම් ගෝනි බිල්ලා ඇවිත් උස්සගෙන යාවි කියලා".

එතකොට ඉතින් අපිත් හාවා වෙලා බයියන් ඔක්කොම ටික කනවා නෙවැ ගෝනි බිල්ලට බයේ.ඒ කියන්නේ අපි පොඩි කාලේ ඉදන්ම බොහොම ලැජ්ජා බය ඇතිව ස්වභාව ධර්මයට ආදරේ ඇතිව හැදුනු කොල්ලෝ නිසයි.

ඒකට දැන් හැදෙන එවුන්.උන් මහා සංකීර්ණ චරිත වෙලා.මං හිතන්නේ උන්ව හම්බු වෙන්න ඉන්න කාලේ ගෙදර මෝඩ පෙට්ටියේ යන අර ගොන් ප්‍රවීනලාව,අමන්දලාව බලල අම්මලාගේ මොලේ විකාර වෙලයි උන් වගේ ඌරු පැටව් හම්බු වෙන්නේ.

මෙන්න මේකයි මට උන සිද්දිය දවසක් මම හොදට ඇදගෙන කරගෙන කැම්පස් ගිහින් සතියකට පස්සේ ගෙදර එනවා.ආවේ ටිකක් පිළිවෙලකට ඇද පැළදගෙන.

මොකද බාටා දෙක දාගෙන අවොත් තාත්තා ගෙදර හිටියොත් අම්බානෙකට බනිනවා. එදා ටිකක් විතර වැහැලා මඩ වලවල් වල වතුර පිරිලා තිබ්බේ.

කෝච්චියෙන් බැහැල ගෙදරට එන පාරේ මීටර් 500 ක් විතර ඇවිදගෙන එන්න වෙනවා. ඉතින් මාත් මඩ වලවල් වලින් පැන පැන බොහොම අමාරුවෙන් මඩ ඇගේ ඉහා ගන්නේ නැතිව එනකොට පාරේ පොඩි ඇච්චෝ  දෙන්නෙක් මඩ තලනවා.

අවුරුදු 4-5 ක විතර වයසේ.මම උන් ලගින් යද්දීම කුපාඩි කමටද මන්දා එකෙක් පැන්නා නෙව මඩ වලකට මගේ කලිසමේ මඩ වලින් බතික් උනා.

ඉතින් මට මළ පැන්නා.ඒත් පොඩි උන්නේ කමක් නැහැ කියලා උන් දිහා බලල ඔරවලා යන කොට එකෙක් මගෙන් අහපි
"මොනාද ඔරවන්නේ ඇයි ගේමද කියලා".මාව නිකන් හොල්මන් උනා මට බයත් හිතුනා.අම්මි ගැහුවොත් බැට් එකෙන්.

මගෙත් කට එච්චර හොද නැහැ සමහර වෙලාවට.ඉතින් මං කිව්වා
"මේ දගලන්නෙ නැතිව ගෙවල් වලට ගිහින් ස්කුබි ඩු බලනවා.නැත්නම් මං ගෝනි බිල්ලා අන්කල්ට එන්න කියලා කෝල් එකක් දෙනවා" කියලා මම යන්න ඇද්දුවා.

මෙන්න යකෝ මුන්ගෙන් එකෙක් මට සු. සු. ගානවා.මං හැරිලා බලන කොට එකෙක් කියාපි
"මේ අයියේ මට කියලා *කේ අරගන්නේ නැතුව සද්ද වහලා ගෙදර යන්න" කියලා.

එතනින් එහාට මොනවා කියන්නද මාව ෆුල් හොල්මන්.මාත් ඉතින් ඊට පස්සේ කටයි *කයි වහගෙන ගෙදර ආවා.ඔන්න දැන් හැදෙන උන්ගේ හැටි.

ඔක්කොම ඔහොම නැතුව ඇති.ඒත් ගොඩක් උන් ඔහොම්මම තමයි.උන්ට
"ගෝනි බිල්ලා ඇවිත් උස්සන් යනවා කිව්වොත්" උන් අහවි "ගෝනි බිල්ලගෙ එක ලොකුද" කියලා.ඔහොමයි උන්ගේ හැටි.

අපි කොච්චර වැඩිහිටියන්ට බයේද හැදුනේ.ඒකට මුං.ඔව්වට ඉතින් වග කියන්න ඕනේ අම්මලා තාත්තලාම තමයි.

ඉපදිලා අවුරුදු 3-4 ක් යන්න කලින් එක්ක යනවා පන්ති වලට.මිනිස්සු ඉගෙනීමේ තරගයේ ගොදුරු වෙලා.ගහක් කොලක් අදුරන්නේ නැහැ සතෙක්ට ආදරය කරන්නේ නැහැ.

ඒත් අපිට තාම මතකයි වෙල් දෙවැටවල් වල දුවලා, කජු පුහුලම් කාලා, සරුංගල් යවලා ගෙවපු ළමා ජීවිතය.දැන් ඉන්න උන්ට කොහෙද එහෙම පිනක්.

පලයන් අම්මා ශිෂ්‍යත්ව පන්ති.උන් නිකන් හරක් පැටව් වගේ දක්කනවා උන්ගේ මහ මිනිස්සු.උන්ට ඕනේ ළමයට උගන්නන්න නෙමෙයිනේ.අනිත් උන්ට පේන්න බොරු පොයියට ළමයට උගන්නන්න.

ඔව්වට තමයි කියන්නේ සෝබන කියලා.මං ලදී දවසක දැක්ක යමින් එමින් ගමන් අම්මගේ ෆෝන් එක ඔබ ඔබා අවුරුදු 2-3 ක විතර පොඩි එකෙක් බස් එකේ යනවා.ඌ ඒකෙන් වැල් බලනවද කියලත් ෂුවර් නැහැ මේ යන යෑමට.

දැන් ඉන්න උන් අන්න එහෙමයි.තව ඉස්සරහට සමහර විට පොඩි එකා බඩේ ඉන්දැද්දී අම්මා යාවි පොඩි එකාට උගන්නන්න ශිෂ්‍යත්ව පන්ති.

ඔය රේස් එක හින්ද තමයි පොඩි උන්ට ඔහොම වෙලා තියෙන්නේ.අර කතාවක් තියෙන්නේ "හැඳි නොගා හදන හොද්දයි ගුටි නොදී හදන ලමයයි දෙකම එක වගේ ලොන්ත පෝල්" කියලා.

කව්ද වගකියන්න ඔනෑ.අම්මා තාත්තම තමයි.පොඩි එකාව මුලින් පන්ති දක්කන කොටයි ඌ මැට්ටෙක් වෙන්නේ ඌට නිකන් හිතන්න ඉඩ දීලා ට්‍රැක් ඒකෙන් පිට පනින්න නොදී හෙමිහිට ගෙනියනවානම් කදයි බඩයි එක්කම උගේ මොළෙත් හැදිලා.

මැටි ගිලිනවා වගේ ගිලල ගිලල කද බඩ මහත් උනාට ඇතුල හිස්.අම්මා තාත්තට මමී,පපා කියලා තමයි කතා කොරන්නේ. උන් කන්නේ පිට්සා,සොසේජස්,බර්ගර් වගේ හද්ද විස කෑම.තව මොන කතාද.

කිරි කොස් හදලා,කරවල තෙල් දාලා,දෙහි ටිකක් වැඩිපුර දාපු පැෂන් දළු සම්බෝලයක් උණු උණු කැකුළු හාල් බත් එක්ක කනකොට දැනෙන රස උන් අදුරන්නේ නැහැ. අන්න අම්මිලා තාත්තිලා පොඩි උන්ව නරක කොරන හැටි.

අනික උන්ට සෙල්ලම් කොරන්න ගෙනත් දෙනවා පිස්තෝල.මු මොකද කරන්නේ තාත්තා ගෙනත් දුන්න පිස්තොලේ අරන් ඒකෙන් වෙඩි තියනවා උගේ තාත්තටම.

තාත්තා කියන ඒ ගොන් මෝඩ හරකත් මොකද කරන්නේ වෙඩි තිබ්බ ගමන් බොරුවට වෙඩි වැදුනා වගේ පපුව අල්ලන් වැටෙනවා.ඩිෂුම් බිෂුම්.

ඊට පස්සේ ඒ රට වස්සම පොඩි එකාව උස්සගෙන යනවා අම්මා ගාවට පොඩි එකාට අම්මව පෙන්නනවා.මු මොකද කරන්නේ අම්මටත් වෙඩි තියනවා.

ඒ රට වැස්සිත් පපුව අල්ලන් වැටෙනවා.පොඩි එකාට මාරම හැපී .ඌ තමයි පොර.ඊ ළඟ දවසේ ගහවි ග්‍රෙනේඩ් වලින් දඩින් බිඩින් දොඩම් කියලා.

පොඩි කාලෙදිම උන්ට හුරු කරන්නේ අම්මව තාත්තව මරන්න ඉතින් මුන්ගේ මනස විකුර්ති වෙන එක අහන්න දෙයක්ය.අම්මා තාත්තම තමයි ඔව්ව වලට වග කියන්න ඔනෑ.

වැරද්දක් කරපු ගමන් හම යන්න දුන්නනම්,නරක වචනයක් කිව්වා ගමන් කට රත් වෙන්න දුන්නනම් අම්මට තාත්තට ආදරය කරන මේ ගහට කොළට ආදරය කරන, ලින්කින් පාර්ක්ලගේ,එකොන්ලගේ වගේ පිස්සු බල්ලන්ගේ සින්දු අහන්නැතිව සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක, ටී එම් ජයරත්න වගේ අති විශිෂ්ට ගණයේ ගායකයන්ගේ සින්දු අහන මනුස්සයෙක්ව බිහි වේවි වල් සතෙක් හැදෙනවට වඩා.

හැම පොඩි එකාවම දොස්තර කෙනෙක් හරි,ඉංජිනේරුවෙක් හරි කොරන්න බැහැනේ.යකෝ එතකොට ලංකාවේ ලෙඩ්ඩු නැති වේවිනෙ.

අහලා නැද්ද ඩොක්ටර් පෘතුවිරාජ් කියන මනුස්සයා ගැන.ගෙදර අයගේ ඕන කමට වෛද්‍ය විද්‍යාව හදාරලා ඩොක්ටර් කෙනෙක් උනාට පස්සේ ඒක අත ඇරලා ගියා චිත්‍ර අදින්න.

හදන්න ඕන අනිකට වෛර කරන කුහක තුච්ච මුග්දයෙක්ව නෙමෙයි මනුස්සයෙක්ව. එහෙම උනොත් අපිට මතුවටත් මේ ලෝකේ තියෙන ලස්සන එහෙම්මම දකින්න ලැබේවි.

එහෙම නැත්නම් මේ ස්වභාව දර්මයා ඒ ලස්සන හැමදාමත් තියා ගන්න එයාගේ විදියෙන් අපිට උත්තර දේවී එක්කෝ සුනාමියකින්, නැත්නම් ගංවතුරකින්, නැත්නම් ඉඩෝරයකින් වගේ මොකක් හරි එකකින්.

මං දන්නවා මේ පොස්ට් එක දාපු ගමන් මට අම්බ කුණු හරුපෙන් බනින්නත් කට්ටිය නොමනාව ඉදිරිපත් වේවි කියලා.

ඒත් පොඩ්ඩක් ඉන්න යතුරු පුවරුවෙන් මට බැනලා කොමෙන්ට කරන්න කොටන්න කලින් දකුණු අත හද ගැස්ම ඇහෙන තැනට තියල තද කරලා මම කියලා තියෙන දේ බොරුද කියලා හදවත්න්ම අහලා බලලා කොමෙන්ට එකක් දාන්න.

 හැමෝටම ජය වේවා.....!!!      

අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි.මම පහේ පන්තියේ සිසුවෙකු තරම් හපනෙකු නොවෙමි.

Sunday, March 13, 2011

රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න 2


මේ කියන්න යන්නේ ඊයේ දාපු කතාවේ ඉතිරි කොටස.ගාල්ලේ ගිහින් ආවට පස්සේ වෙච්ච දෙයක් අපේ සෙට් එකේ කොල්ලෙක්ට. පලවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙන්න පලවෙනි කොටස.කියවල එන්න නැත්නම් මේක මෙලෝ රහක් නැති වේවි.

කොහොම හරි පහුවෙනිදත් කට්ටිය සුද්ද බුද්ද කරලා ගම රට බලා එන්න පිටත් උනා.කලින් දවසේ රෑ වෙච්ච සීන් එක හින්දා කොල්ලෝ හිටියේ දොඩමයි රෝසයි එක්ක මළේ මළ පැනලා.

කොහොම හරි දෙන්නම් පෝරියල් එක කියලා එමින් ගමන් දිගටම කිව්වේ මම කලින් පොස්ට් එකේ කියපු බයිලා 2 කම තමයි.ඒකට සර්ලා දෙන්නට තවත් මළේ මළම පැනලා තමයි හිටියේ.

අපිටත් ගානක් නැහැ ඔහේ කියවනවා.ඔය කතාව ඔතනින් ඉවර උනා අපි ඉස්කෝලෙට ආව හින්දා රෑ වෙද්දී. කොහොම හරි ඔය ගමන ගියේ සෙනසුරාද,ඉරිදා දවස් දෙකේ.පහුවෙනිදට සදුදත් නිසා ඉස්කෝලේ ආයේ අදින්න ඕනි කියලා හිතින් බැන බැන තමයි මහන්සි පිට ගෙදරත් ගියේ.

ඔන්න පහුවෙනිදා ඒ සෝචනීය දවස උදා උනා.අපිත් එක්ක ඔය ගමන යන්න සෙට් උනා අපේ පන්තියේම තව එළකිරි බුවාලා දෙන්නෙක් එකෙක් "තනුජ" අනිකා "ලසිත්".

අපේ පන්තියට ෆ්‍රී පීරියඩ් එකක් වෙලේ මුන් දෙන්න මුරුක්කුවක් හප හපා එළියේ රස්තියාදුවක් ගහද්දි රෝසා සර්ව මුං ඩබල දැකලා.

කොහොම හරි කලින් දවසේ බයිලා කියපු කික් ඒකට අපේ රෝසා සර් කාරයව පොඩ්ඩක් අවුස්සන්න කියලා හිතලා මුං සර්ව ෆලෝ කරලා ගිහින් සර් එහෙ මෙහෙ යන තැනකින් බලලා කොරිඩෝවක් දිගේ යන කොට එතන තිබ්බ A/L පන්තියක් අස්සට රිංගලා දැල් ගහල තිබ්බ ජනෙලෙකින් සර් කාරයට ඇහෙන්න;

"රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න - රෝස බල්ලා ගෙනෙන් පොල්ල හපන්න"  කියලා කෑගහලා දුවලා.

වැඩේ කියන්නේ පන්තියේ දොර තිබ්බේ ජනේලේ තියන පැත්තට විරුද්ද දිහාවට.මුන් කෑගහපු එක ඇහුනු ගමන් සර්ට කලින් දවසේ තිබ්බ මළත් බැක් අප් වෙලා.

වෙලාවට වගේ සර් මුං දෙන්නගෙ මුණු දැකලා නැහැ.සර් දැන් පස්සෙන් එලවනවලු  ඈතින්.මුං ඩොටේ තියලා දුවනවලු.කොහොම හරි මුං දෙන්නා දුවලා ඇවිත් රිංගුවා 11 වසර A පන්තියට.

මතක ඇතිනේ මම අර මගේ බැජ් එක ගලොපු කතාවේදී කිව්වා අපේ පන්ති සෙට් එක තිබ්බේ එකටය.ඒ 11 වසර පන්ති සෙට් එකේ ස්ටේජ් එක වගේ උස; පැත්තේ පඩි පෙලකින් නැගල ඇතුල් වෙන්න තිබ්බ කොටසේ තිබ්බේ 11- A පන්තියය කියලා.

අපේ පන්තිය11- B නේ.කොහොම හරි ඒ වෙලාවේ අපේ පන්තියට වගේම A එකටත් ෆ්‍රී තිබ්බා.අපිත් ඉතින් හිටියේ A එක අස්සට රිංගලා සින්දු කියා කියා තමයි.

මුං දෙන්නා හති දදා ඇවිත් එකපාර පන්තියට රිංගලා පස්සේ පෝලිම් වලට සෙට් වෙලා මුකුත් උනේ  නැහැ වගේ පාඩුවේ හිටියා.

හැබැයි මුං 11 - A පන්තියට ඇතුල්  වෙනවත් එක්කම ඇතුලට ආවෙත්;
"රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න" කියලා හයියෙන් බෙරිහන් දීගෙන.

අපි හිතුවේ මුං නිකන් කලින් දවසේ ආතල් එක මතක් වෙලයි කියන්න ඇත්තේ කියලා ඒක ගැන එච්චර  හිතන්න ගියේ නැහැ.

මුං ඒ වෙලේ පන්තිය ඇතුලට ඇතුල් වෙද්දී ඇතුලට එන්න නගින පොඩි පඩි පෙළ ගාවම එතනට වෙලා හිටගෙන ගෑනු ළමයි හිටි ඩෙස් පැත්තට මුනත් දාගෙන අපේ සෙට් එකේ තව කොල්ලෙක් කෙල්ලන්ට පැණි හල හලා හිටියා.

මුට කියමුකෝ අපි "රුස්දී" කියලා.මුත් ඔය අපි ගිය චාරිකාවම යන්න ආවා.ඉතින් අරුන් කියාගෙන ආපු ඒක මුට ඇහිලා කලින් දවසේ චුන් ඔලුවට ඇවිත් මු එතන තිබ්බ කෙල්ලෙක්ගෙ ඩෙස් එකකට හයියෙන් දඩන් බඩන් ගගා ගහා ගහා;
"රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න" කියා කියා කෑගහන්න ගත්තා.

ඔය අතර තුරේ මළ පැනලා අරුන් පස්සේ ආපු සර් ඈතින්ම මුං 11 A ඒක ඇතුලට රිංගනවා දකින්න ඇති.ඒක නිසාද කොහෙද මෙන්න බොලේ පඩි පෙළ ගාවින් ඒක පාරටම සර් මතු උනා කියහන්කෝ.

හරියටම හරි බඩුම තමයි.ඒ වෙලාවෙත් අරු ඕක කියා කියා කෑ ගගහා තමයි හිටියේ.මෙන්න බොලේ පැනලා තිබ්බ මළ චාජ් වෙලා හිටපු සර් කාරයා මෙහෙම කියාපි.

රෝසා:- "වල් පරයා, තෝ හැදුවේ දුවලා බේරෙන්නද යකෝ...??? කෝ තොගේ අනිත් එකා.රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න.ඔව් මං ඉන්නේ තොපි වගේ බල්ලෝ මරන්න තමයි"

කියලා මුව ඇදල අරන් නෙලන්න ගත්තා නෙලිල්ලක් මගේ අම්මෝ මං ජීවිතේටම එහෙම ගැහිල්ලක් නම් දැකලා නැහැ.

කොහොම හරි 50 ක් විතර ඒක දිගටම ගැහුවා සර් කාරයට ගැහිල්ල එපා වෙනකල්ම. ගහල ඉවර උනාම අරූ නිකන් තෝන්තු මාන්තු වෙලා උඩ බිම බලනවා මොකක්ද යකෝ මේ ආපු සුනාමිය කියලා.

කොහොමින් කොහොම හරි ගහලා ගහලා බැරි තැන සර් කාරයා මුට පයිනුත් ගැහුවයි  කියලනම් මතකයි ට්‍රිප් ඒක පුරාවටම පැනලා තිබ්බ තරහා නැති වෙනකන්.අපිටත් නිකන් ඇඩෙන්න වගේ.

කොහොම හරි සර් කාරයා ගියහම තමයි අරුන් දෙන්නා වෙච්ච සීන් ඒක අපිට කිව්වේ සද්ද නැතුව ඉදලා.

කොහොමින් කොහොම හරි අන්තිමට කට්ටියම එකතු වෙලා අරුව පුටුවක එහෙම ඉන්දෝලා බොන්න වතුර එහෙම දීලා,කෙල්ලෙක්ගෙන් ඉල්ලා ගත්තු සිද්ධාලේප බාම් එකත් පතුල හිදෙනකන්ම අරන් මුට ගාලා තමයි මූව පියවි සිහියට ගත්තේ.

කම්මුල නිකන් ජම්බක් වේගේ ඉදිමිලා තිබ්බ දවස් දෙකක් විතර යනකන්.කට තියාගෙන ඉන්න බැරුවට තමයි අහක යන ටින් කිරි ගොඩක්  අරන් ඇගේ ගා ගත්තේ.

කොහොමත් කොල්ලෝ පාවල දෙන්නේ නැති නිසා මුත් අරුන් දෙන්නව මාට්ටු කරලා දෙන්න ගියේ නම් නැහැ. අපි හිතුව මු එදාවත් කට තියන් පාඩුවේ ඉන්න පාඩමක් ඉගෙන ගත්තයි කියලා.

එත් මු ඊට පස්සෙත් කට නිසා කීප දොහක්ම ඉල්ලන්ම කෑවා.එව්වත් ලැබෙන විදිහට කොටන්නම්.

ඔයාලටත් මේ වගේ සිද්දි වෙලා තියෙනවද...??? දාමුද බලන්න කොමෙන්ටුවක් යටින්..............

Saturday, March 12, 2011

රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න 1


ජපානෙට සුනාමියක් ඇවිත් ඒ මිනිස්සුන්ගේ හිත් වලට නිවනක් නැතුව ඇති.කොහොම උනත් මං පොස්ට් එක පටන් ගන්න කලින් ඒ මිනිස්සුන්ට ඉක්මනින් සැනසීමක් ලැබේවා කියල ප්‍රර්ථනා කරලා ඉන්නම්.

නිවාඩුව හින්දා තව කතාවක් දාන්න හිතුනා.කලින් එක කියෙව්වේ නැතිනම් මෙතනින් ගිහින් කියවන්න.මේ කියන්න යන්නේ සුනාමි වලට ටිකක් විතර අදාල කතාව එක්ක ඊට  පස්සේ වෙච්ච සිද්දියක් සමහර විට ඒ කතා දෙකම දාන්න දිග වැඩි වේවි.

ඒක හින්දා කතා දෙකකට දාන්නම්.මේක උනේ 2004.අපේ රටට සුනාමි ඇවිත් ලොකු විනාසයක් කලාට පස්සේ ඔය පාසල් වලින් ස්ව කැමැත්තෙන්ම ඔය ගාල්ල මාතර පැත්තට ගියානේ ඔය කැඩුණු බිදුණු තැන් සුද්ද කරන්න.

 විශේෂයෙන්ම ඉස්කෝලවලට ගියානේ.අපේ ඉස්කොලෙනුත් ඔන්න ගියා ගාල්ලේ පැත්තේ මොකක්දෝ මන්දා ඉස්කෝලෙකට දැන්නම් හරියට ඉස්කෝලේ නම මතක නැහැ.

කොහොම හරි අපේ ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෝ සෙට් එකයි තවත් 11 වසරේ -12 වසර කොල්ලෝ සෙට් එකකුයි තමයි ගියේ.ඒ 2005 මාර්තු මාසේ මැද දවසක.

අර මගේ බැජ් එක ගලෝල ආයේ දීලත් වැඩි දවසක් නැහැ.එතකොට අපිත් 11 වසර දිග කලිසම් කාරයෝ නිසා පොරලා වගේ ගමන යන්න සෙට් උනා.අපිත් එක්ක යන්න සෙට් උනේ ශිෂ්‍ය නායක සංගමේ භාර ඩබල තමයි.

අර මගේ බැජ් එක ගලොපු "විජේසුරිය" සර් එක්ක එයාගේ උප ප්‍රධානි සර් කාරයා. එයාගේ නම "රෝසා" කාලයක් හමුදාවේ ඉදපු කෙනෙක්.සර්ම තමයි ඉස්කෝලේ කැඩෙට් එකත් භාරව හිටියේ ඒ නිසා මිනිහා ටිකක් සැර පරුෂ විජේසුරියට අන්ත ඩයල් එකක් තමයි.

කොහොම හරි ඔය සර්ලට අපේ කොල්ලෝ නම් දෙකක් හදල තිබ්බේ.විජේසුරියට කිව්වේ "දොඩමා" කියලයි. රෝසාට කිව්වේ "රෝසාම" තමයි.ඔන්න ඉතින් අපේ එවුන් ටික ගමන ට්‍රිප් එකක් කොරන් අර සුරා මේරයත් එහෙම බෑග් වල දාගෙන හොරෙන් අරන් යන්න සෙට් උනා.

බස් එකේ තමයි ගියේ.පැය 3 ක විතර ගමනක්නේ. ඉතින් අපේ කට්ටිය බස් එකේ පස්සට සෙට් වෙලා සින්දු කියා කියා තමයි ගියේ.සර්ලා ඩබල බස් එකේ ඉස්සරහ ෂිට් එකේ වගේ තමයි ගියේ.

ඔහොම යන අතරතුරේ අපේ එවුන්ට කවි සිතිවිලි පහල වෙලා සර්ලා ඩබලව බයිට් කරන්නත් හොදම වෙලාව කියලා හිතලා බයිලා කියන්න ගත්තා.විශේෂයෙන්ම අපේ උන් ප්‍රදාන වශයෙන් කිව්වේ බයිලා 2 කයි .එකක් තමයි

"මේ ගසේ බොහෝ - පැණි දොඩම් තිබේ
පැහිල ඉදිලා            - බිමට නැමිලා බර වෙලා අතු
දොඩමටයි මටයි       - ගල් දෙකක් ඇතේ
වැඩිය කපන නරක ළමයි - හෙම නොවේ අපී".

ඔන්න ඕක ඔහොම කිව්වේ අපේ දොඩමට හින්ට් එකට පොරව අවුස්සන්න හිතන්. හරියටම හරි සින්දුව කිව්වා විතරයි මු පස්ස හැරිලා බලල දත් මිටි කකා  නියව නියව හිටියා.

මොකුත් කරන්නත් බැහැනේ.කියන එකාව හරියට හොයා ගන්නත් බැහැනේ කොල්ලෝ පස්සේ හරියට ගිහින් ඔක්කොම වැහෙන්න හිටගෙන.කොහොම හරි ඕකට බුවාට මල පැනලා මුණ රතු වෙලා තමයි හිටියේ.

 ඊට පස්සේ පටන් ගත්තා අනිත් එක්කෙනාට මඩ ගහන්න.මෙන්න මෙහෙමයි පටන් ගත්තේ

"රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න
රෝස බල්ලා ගෙනෙන් පොල්ල හපන්න"

ඔන්න ඕක කිව්වා විතරයි මෙච්චර වෙලා සාමකාමිව හිටපු රෝසටත් මල පැන්න.මිනිහත් කරන්න දෙයක් නැති නිසා තොපිට පස්සේ දෙන්නම් කියා කියා නියව නියව තමයි හිටියේ.

කොහොම හරි යන මුළු ට්‍රිප් එක පුරාවට ඔය දෙක නිතරම කිව්වා අරුන් ඩබලව අවුස්සන්න කියලා හිතන්.එක එක තාලෙට එක එක විදිහට.කොහොම හරි යන්තම් අපේ සෙට් එක අර කියපු ඉස්කෝලෙට ආවා.

පස්සේ ඉතින් කට්ටියම ඇදුම් එහෙම මාරු කරගෙන වැඩට බැස්සා.ගඩොල් අතින් අතට යනවයි,විල්බැරක්කි වලින් පස් අදිනවයි එක කෙලියයි කට්ටියම සහ ලෝලේට වැඩ කරලා එදා හවස වැඩ නවත්තලා ඇග පත එහෙම හෝදලා රෑටත් එහෙම කාල කොරලා ඉස්කෝලෙම පන්ති කාමර 2-3 ක සකසලා දීලා තිබ්බ තැන් වල නිදා ගන්න ගියා.

අපිත් ඉතින් ඇගේ මහන්සියට නිදාගන්න ගියා කවදා කාපු ටකරමක්ද මේ කැවේ කියලා හිතන්.අපේ සමහරු ඉතින් නිදා ගන්න ගිහින් ලයිට් එහෙම නිවලා ටික කින් නැගිටලා එකා දෙන්නා පන්තියේ කොනකට එකතු වෙනවා අදුරු ඡායාවන් ගෙන් පෙනුනා.

ඊට හපන් මෙන්න යකෝ අනික් පන්ති වලට නිදා ගන්න ගිය උනුත් එකා දෙන්නා  බිම බඩ ගාගෙන එකා දෙන්න එනවා අපී හිටපු පන්තියට.පස්සෙයි මීටර් උනේ කට්ටිය සුරා මේරය මද පමණින් ගන්න තමයි ගියේ කියලා ආපු සුවදින් එහෙම.

කොහොම හරි ඔය අතරේ කස්ටිය වැඩ අල්ලලා ඉවර වෙලා අපේ පන්තියයෙන් උන් නිදාගෙන හිටපු තැනට යන්න ගිහිල්ලා වෙරි මර ගාතේ වැනි වැනි.

ඔහොම යන්න හදන කොට එකෙක් දොර ලග නිදාගෙන හිටපු බුවාගේ බෙල්ලටම හරියට කකුල තියලා. නිදාගෙන  හිටපු එකා "බුදු අම්මෝ" ගාගෙන මර ලතෝනි දීලා කෑ ගැහුවේ නැතැයි පන්ති 2-3 නෙම කට්ටියවත් ඇහැරවාගෙන.

මලා පන්ති ටිකේ ලයිට් වැටුනා.උදේ බයිලා කියලා කර ගන්න දෙයක් නැතුව නියව නියව හිටි අපේ දොඩමටත් මෙන්න බොලේ ඇහැරිලා.මු එනවා කෑගහගෙන

දොඩමා :- "කව්ද යක්කුනේ මේ මහ රෑ බෙරිහන් දෙන්නේ.ගෙරි බල්ලෝ තොපිත් එක්ක නිදා ගන්නවත් නැහැ සැනසීමෙන් ".

ඔන්න ඔය යකාට අර බෙල්ල පාගපු එකාව මාට්ටු.බෙල්ල පෑගිච්ච එකා කැහැ කැහැ සර් කාරයට කියනවා
"සර් මුන් මිනි මරන්න හදනවනේ මගේ බෙල්ලට කකුල තිබ්බ" කියලා.

සර් එතකොට අරුගෙන් ඇහුව මේ මහ රෑ මොනාද තෝ නැගිටගෙන කරන්නේ කියලා. අරු කියනවා
"සර් මට මේ හුජ්ජ බරක් හැදිලා හුජ්ජ කරන්නයි එලියට බැස්සේ" කියලා.

සර්ට තේරුණා කතා කරද්දී මු වචන පටලවන විත්තිය.මොකද වචන පැටලෙන්නේ තොපි බීලා නේද කියලා බලන කොට පන්තියේ සමහර උන් තාමත් නිදි හොදටම පොරවාගෙන.

උන් තමයි බොන්න ගිය සෙට් එක.මොකුත් නොවුණු ගානට උන් තැන් තැන් වල තාමත් නිදියන් බොරුවට. කොහොම හරි සර්ට වැඩේ මාට්ටු.ඔක්කොම එක දිගට පෝලිම් ගස්සලා කට ඉඹ ඉඹ ගියේ නැතැයි.

එතනින් එහාට වෙච්ච දේ නම් සෝචනීයයි.චටස් පටස් ඩෝන් පටෝන්  තමයි ඉතින්.කොහොම හරි අපේ උන් බාගෙට ගහපුවා ටික සර් එකතු කරන් ගියා.එව්වට මොනාද උනේ කියලනම් අදටත් දන්නේ නැහැ.

බස් එකේ තිබ්බ මල පොරට පිට කර ගන්නත් හම්බුනානේ.කොහොම හරි සර් කාරය අපේ ලගට ඇවිත් සුවද බලන කොට පොර ගාවිනුත් සුරා මේරය සුවදනම් ආවා.මම බිල නොහිටි නිසා හොදටම එක නම් තේරුණා.

ඔය ට්‍රිප් එකත් එක්ක ඊලග සදුදා ඉස්කෝලේ වෙනවා මරුම සීන් එකක් අපේ කොල්ලෙක්ට එක ඊලග පොස්ට් එකෙන් කියන්නම්.මේකට වඩා  ඒක තමයි වෙච්ච පට්ටම සීන් එක.

බැංකු පාස් පොත

 
හැමදාම මම කියන්නේ එක්කෝ බූට් සීන් එකක්  නැත්නම් තවත් මරාලයක් ගැනනේ.අද වෙනමම එකක් කියන්න හිතුනා මේ අද දවසට වැටෙන දෙවැනි පොස්ට් එක.මෙන්න පලවෙනි එක.

දැන් කියන්න යන්නේ මට මේල් එකකින් ආපු ටිකක් සංවේදි කතාවක්.කඩ්ඩෙන් තමයි අවේ මට පුළු පුළුවන් විදිහට මම ඒක සිංහලට පරිවර්තනය කරලා දාන්නම්.

මගේ මේ පොස්ට් එක කියෝන කවුරුම හරි මේකම කලින් කියෝලා තියෙනවනම් මුලින්ම ඔන්න සමාව ඉල්ලනවා.මෙන්න මේකයි කතාව.මම ඒ මේල් එකේ තිබ්බ චරිත වල නම් වලින්ම පොස්ට් එක දාන්නම්.

"මොනිකා" සහ "නික්" කියන්නේ ආදරවන්තයින් දෙන්නෙක්.ගොඩක් කාලයක් ආදරය කරලා එකිනෙකාව හොදින් තේරුම් අරන් මේ දෙන්න විවාහ දිවියට පැමිණියා.

විවාහ දිනය දවසේ වෙඩින් එකේ පාර්ටි එක ඉවර උනාම මොනිකගේ අම්මා මොනිකාට කතා කරලා අලුතෙන් අරඹපු බැංකු ගිනුමක බැංකු පොත ඩොලර් 1000ක තැම්පතුවක් සමග මොනිකා අත තැබුවා.

මව :- "මොනිකා,මෙන්නේ මේ බැංකු පොත ඔයා ලග තියා ගන්න.ඔයාගේ විවාහ ජිවිතයේ මතක සටහනක් හැටියට.කවද හරි මොනම විදියකින් හරි ඔයාගේ අලුත් ජිවිතයට සතුට දැනුනු අමතක නොවෙන දිනයක් ආවොත් එදාට කීයක් හරි බැංකු ගිණුමේ ඉතිරි කරන්න.එහෙම ඉතිරි කරන්න හේතුව එතැනට පහල තිරයෙන් ලියලා තියා ගන්න මතකයක් හැටියට.

අද ගොඩක් සතුටු දවසක් මං පළවෙනියෙන්ම පටන් ගත්තා.අද ඉදන් ඔයා නික් එක්ක එකතු වෙලා මේකේ මුදල් ඉතිරි කරන් යන්න.ඔයා කවද හරි ජිවිතයේ ආපස්සට හැරිලා බැලුවොත් මේකෙන් ඔයාට තේරුම් ගතහැකි ඔයා කොච්චරක් සතුටු වෙලා තියනවද කියලා".

මොනිකා:- "හරි අම්මා මං නික් එක්ක ඒක කරන්නම්".

ඔවුන් දෙදෙනා සිය අලුත් නිවසට ගිහින් අලුත් ජීවිතය ඇරඹුවා.අම්මගෙන් ලැබුණු අදහස ගොඩක් වටිනවා කියලා දෙන්නටම හිතුනා.ඒ වගේම දෙවැනි ඉතිරි කිරීම කරන්න ලැබෙන දිනය වෙනුවෙන් දෙන්නම ඇගිලි ගනිමින් හිටියා.

කාලයක් මුළුල්ලේ ඔවුන් දෙදෙනාගේ ඉතිරි කිරීම් පහත පරිදි උනා.
පෙබරවාරි 07 : ඩොලර් 100 යි  - විවාහයෙන් පසු නික්ගේ ප්‍රථම උපන්දින සැමරුම.
මාර්තු 01        : ඩොලර් 300 යි  - මොනිකාගේ මාසික වැටුප වැඩි වුනා.
මාර්තු 26        : ඩොලර් 200 යි  - විනෝද ගමනක් ගියා.
අප්‍රේල් 15      : ඩොලර් 2000 යි -මොනිකා ගැබිනියක් බව දැන ගත්තා.
ජුනි 12           : ඩොලර් 1000 යි -නික්ට රස්සාවෙන් උසස්වීමක් ලැබුනා.
යනාදී ලෙසට.

කාලය ඔය විදිහට ගෙවී ගියා.අවුරුදු කීපයකට පසුව දෙදෙනා අතර අඩ දබර ඇති උනා.පොඩි දේවල් වලට පවා රණ්ඩු සරුවල් ඇති උනා.එකිනෙකාට එකිනෙකා පිලිකුල්ම චරිත බවට පත්උනා.

අවසානයේ  මොනිකා එයාගේ අම්මට කතා කලා.
මොනිකා :- "අම්මා,අපිට තව දුරටත් එකට ජිවත් වෙන්න බැහැ.අපි දෙන්නම අන්තිමට තීරණයකට එළඹුනා දික්කසාද වෙන්න.මට හිතාගන්න බැහැ මන් මේ වගේ එකෙක් එක්කයි විවාහ උනේ කියලා".

මව      :-  "අනිවාර්යෙන්ම මගේ කෙල්ලේ.ඔයයි එයයි අතරේ ලොකු බැදීමක් නැහැ.ඔයාට කැමති දෙයක් කරන්න.එත් වෙන් වෙන්න කලින් පරණ මතකයන් එකක් වත් ඉතිරි කර ගන්න එපා.

ඔයාලගේ විවාහ දිනයේ මම දුන්නු බැංකු පොත මතක ඇතිනේ,එකේ ඔයා දෙන්න ඉතිරි කරපු සල්ලි ටිකත් වියදම් කරලා ඉවර වෙලාම දික්කසාද වෙන්න.ඒ වගේ වැඩකට නැති විවාහයක මතක සටහනක් වත් තියා ගන්න එපා".

මොනිකා හිතුවා අම්මා කියන ඒක ඇත්ත.ඒ ටික බැංකුවෙන් අරන් වියදම් කරලා ඉන්නවා කියලා හිතන් බැංකුවට ගිහින් මුදල් ලබාගන්න කවුන්ටරයේ පෝලිමේ හිටියා.

පෝලිමේ ඉන්න අතරතුරේ පොතේ පිටුව පිටුව ගානේ පෙරලා පෙරලා බැලුවා.ඔවුන්ගේ විවාහ ජීවිතය පුරාවට සතුට ගලපු හැටි,දෙන්නා ආදරයෙන් හිටපු හැටි පිටුවක් පිටුවක් ගානේ මොනිකගේ මතකයට ආවේ කදුළු වලින් ඇස් දෙකම බොද කරවලා.

අන්තිමට මුදල් නොගෙනම ගෙදර ගිහින් බැංකු පොත නික්ට දුන්නා.
මොනිකා:- "නික්,අපි දෙන්නගේ දික්කසාදෙට  කලින් මේ බැංකු පොතේ ඉතිරි කරපු සල්ලි ටික වියදම් කරලා ඉන්න.මට එක සතයක්වත් එපා".

මොනිකා දුන්නා බැංකු පොත නික් අරගත්තා මුදල් ගන්න අදහසින්.ඊලග දවසේ නික් බැංකු පොත ආයේ මොනිකට ගෙනත් දුන්නා.මොනිකා ඒක පෙරලලා බලන කොට තිබ්බේ ඩොලර් 5000ක  අලුත් ඉතුරුම් කිරීමක්.එයට යටින් මෙහෙම ලියල තිබුන.

"අද තමයි මම ජිවත් උන අවුරුදු ගානටම මං ඔයාට කොච්චරක් ආදරේ කලාද කියලා මට දැනුනු ඒ වගේම ඔයා කොච්චරක් සතුට මගේ ජිවිතයට ගෙනාවද කියලා මට දැනුනු එකම එක දවස"කියලා.

දෙදෙනා අතරේ මද නිහැඩියාවක් පැවතුනා තත්පර කීපයකට එත් නිමේෂයකින් දෙනෙනාම එකිනෙකා වැළදගෙන අඩන්න ගත්තා.අර බැංකු පොත ආයෙමත් ආරක්ෂිතව තැබුවා.දෙන්නගෙම ජිවිත ඉවර වෙනකන් හැමදාම එකට හිටියා.

ඔයගොල්ලෝ හිතනවද අන්තිමට ඒ දෙන්න කොච්චරක් මුදල් ඉතුරු කරන්න ඇතිද කියලා.එත් මම විශ්වාස කරන දෙය තමයි මෙච්චර කාලයක් දෙන්න එකට සතුටින් හිටියනම් ඒ දෙන්නට ඒ ඉතිරි කල මුදලින් කිසි වැඩක් වෙන්න ඇතිය කියලා.

මම මේවගේ කතාවක් කිව්වම කට්ටිය තර්ක කරන්න බැරි නැහැ ඒ ඇමරිකාවෙනේ ලංකාවේ ඔහොම වෙන්නේ නැහැයි කියලා.

කාලයක් ලංකාවේ තිබ්බා ගෙදර බත් හැලිය තැම්බෙනකන් විතරයි දෙන්න දෙමහල්ලන්ගේ අඩ දබර කියලා.එත් අද ලංකාවේ දවසකට වෙන දික්කසාද ගැන කොච්චරක්ද කියලා හොයල බලන්න.එතකොට මේකේ ඇත්ත නැත්ත තේරේවි.

බ්ලොග් ලියන්නේ ගොඩක් වෙලාවට දැනටම බෙල්ලට තොන්ඩුව දාගත්තු අපේ අය්යල අක්කල විත්තිය මන් දන්නවා.ඔයාලට හිතෙන විදියට මේ පොස්ට් ඒක කොහොමද කියලා වචනයකින් හරි කියලා යන්න පුලුවන්නම් ගොඩක් පින්.

මොකද අපි වගේ තාම බෙල්ලට තොන්ඩුව දාගන්න බලා සිටින අයටත් වැදගත් වේවි.

පසුව ලියමි:- කියන්න අමතක උනා.මම ඉංග්‍රීසි වලට අතිශය දක්ෂ කොල්ලෙක් කියලා.ඒක හින්ද සමහර විට මට ආපු මේල් එකේ අදහස මම පරිවර්තනය කරපු අදහසින් 99.99%ක් ම වෙනස් වීමේ ඉඩකඩක් තියෙන්න පුළුවන් හොදේ... හික්ස්....!!!

Friday, March 11, 2011

කොලු හරඹය


ගොඩ කාලෙකින් කතාවක් ලියන්න බැරි උනා කැම්පස් එකේ එක්සෑම් සීරිස් එකක්ම තිබ්බ නිසා.දැන්නම් ටිකක් ලියන්න පුළුවන්.මං නැති දවස් වල බ්ලොග් එකට ඇවිත් කොමෙන්ට් එකක් දාලා මාව හොයල බලපු අපේ "හිස් අහස" සහෝදරයට ස්තුති කරලම අද පොස්ට් එක ලියන්න පටන් ගන්නම්.

සදරුවෝ වැඩිකල් යන්න කලින් උඹේ "හිස් අහස" "නිල් අහස" වේවා කියල මන් එක හිතින්ම ප්‍රර්ථනා කරනවා.ඔන්න එහෙනම් අද කතාව."කොලු හරඹය" කියලා දැම්මට මේ කියන්න යන්නේ "ගේ" කතාවක් එහෙම නෙමෙයි හොදේ.

මම සාමාන්‍යයන් කැම්පස් යන්නේ කෝච්චියේ.එත් ඉදල හිටලා කොච්චි නැති වෙලාවක් සෙට් උනොත් වෙලාව නාස්ති කරන්න බැරි වෙලවකනම් ඉක්මනට ගෙදර එනවා බස් එකේ.

පහුගිය එක්සෑම් තිබ්බ දවස්වල මම හොස්ටල් නවතින්නේ නැතුව හැමදාම ගෙදර ආවා.ආවේ බස් එකේ. කෝච්චියේ නම් හැමදාම දකින්නේ එකම කට්ටියක් විතරයිනේ.එත් බස් එකේ එක එක දවසට එක එක අය.

මේ සිද්දිය උනේ 07 වෙනිදා.මම කොළඹ ස්ටෑන්ඩ් එකට ගිහින් හලාවත බස් එකක නැග්ගා.සාමාන්යෙන් ඒ බස් කොටන එව්වට වඩා ටිකක් විතර හයියෙන් යන හින්දයි ඒකකට නැග්ගේ.

බස් එකට නගින වෙලාවේ අව්ව වැටෙන්නේ නැති පැත්තේ ෂිට් වල විදුරු අයිනේ ඔක්කොම වගේ කට්ටිය හිටපු නිසා මම ගිහින් තවත් කොල්ලෙක් ඉදන් හිටපු තැනක ගිහින් ඉදගත්තා.

ඒ බස් එකේ මැද හරියේ විතර. මම ඉදගත්තු තැනට හරියටම අනික් පැත්තේ ෂීට් එකත් තව ෂිට් 2-3 කුත් එහෙම්මම හිස් වෙලා තිබ්බේ.

වැඩි වෙලා වැඩි වෙලාවක් යන්න කලින් මට අනික් පැත්තේ තිබ්බ ෂිට් එකේ වාඩි උනා කපල් එකක් මගේ වයසටම වගේ ඉන්න.කෙල්ලනම් ඉතින් ටිකක් විතර ලස්සනයි.මාත්  ඉතින් කුපාඩිකමට ටිකක් එහෙන් මෙහෙන් බැලුවා.

හැබැයි වාඩි උන වෙලාවේ ඉදන්ම කෙල්ල හිටියෙ වීදුරුවෙන් එලිය බලාගෙන කොල්ල කෙල්ල දිහා බලාගෙන මොනාද නන්-ස්ටොප් කියෝනවා.කොල්ලගේ අතේ "එංගලන්ත කවුන්සිලේ(British Council)" නම ගහපු පොතක් තිබ්බා.කෙල්ලගේ ගාව බෑග් එකක් තිබ්බේ.

ඉතින් අනු මානය හරි ඩබලම එක්කෝ කොහේ හරි කොටුවක් පැනලා නැත්නම් පන්ති ඇරිලා ගෙදර යන ගමන්.මොකද සමහර උන් තියෙන පඩත්තල කමට ටොයිලට් එකට ගියත් ඔය එංගලන්ත කවුන්සිලේ නම ගහපු ෆයිල් කවර උස්සගෙන යනවනේ අනිත් උන්ට ඇඩ් එක දාන්න.

ඔන්න ඉතින් බස් එක ඇද්දුවා.මාත් එක්ක ෂිට් එකේ ඉදන් හිටපු එකත් සැරෙන් සැරේ එබී එබී ඒ පැත්ත බැලුවා.උගේ ටී ෂර්ට් එක සුදුපාට එකක් කොලර් එකයි අතේ වටේ දාර වලයි දම්පාට තිරයක් ගිහින් තිබ්බා.හරියටම හරි පොර සයන්ස් එකේ බුවෙක් වෙන්න ඕන කියල මම අනුමාන කලා.

කොහොම හරි ටෙක්නිකල් හන්දියේ බස් එක නැවත්තුවම අනිත් පැත්තේ හිටපු කපල් එකේ කොල්ල බස් එකට වතුරයි කඩලයි විකුනන්න ආපු බුවෙකුගෙන් පැණි කජු පැකට් එකක් ගත්ත වතුර බෝතලයකුත් එක්ක.

කෙල්ල පැණි කජු එක ඒකිගේ බෑග් එකේ දාගන්නවා වගේ යන්තමට දැක්කා.වතුර බෝතලේනම් කඩලා බිව්වා.ටිකට් කඩන්න කොන්දා ලගට ආවම මම ****ට ටිකට් එකක් ගත්තා.මාත් එක්ක හිටපු බුවා වෙන්නප්පුවට ටිකට් එකක් ගත්තා.

අර කපල් එකේ කොල්ල තමයි ඉතින් කෙල්ලටත් එක්ක ටිකට් ගත්තේ ඌ කිව්වේ කදාන එකයි මාරවිල එකයි කියලා(මාරවිල තියෙන්නේ වෙන්නප්පුවට ටිකක් එහායින්).

පව් ඉතින් අහිංසක කොල්ල ලව් කරන කලේ ඉතින් කොල්ලෝ තණකොළ කන්නේ නැති ටික විතරනේ. මාත් ඉතින් කාලයක් රට තනකොළම කෑවනේ ලෝකල් එව්වා එපයි කියලා.ඌ ඉතින් කෙල්ලටත් එක්ක ටිකක් ගත්තා.

කොහොම හරි දිගටම කෙල්ල එලිය බලාගෙන කොල්ලා ඒකිගේ මුණ දිහා බලාගෙන කියෝනවා.කදාන ලංවෙද්දි කොල්ලා නැගිටලා ගියා.ඒවෙලේ බස් එකේ හිටන් හිටියේ ටික දෙනයි කොහොම හරි ඔය දෙන්න හිටපු ෂිට් එකට ටිකක් ඉස්සරහින් තව කෙල්ලෙක් හිටියා.

අරු නැගිටලා ගිය ගමන් මේකි තමයි පැනලා එතන ඉදගත්තේ.ටිකදුරක් යන කොට මාත් එක්ක එකට ඉගෙන හිටපු බුවා මට ඇගිල්ලෙන් අනිනවා.මන් ඒ වෙලේ හිටියේ අත් නිදහස (හෑන්ඩ් ෆ්‍රී) එක කනේ ගහන් ෆෝන් එකෙන් සින්දුවක් අහ අහ.

ඉතින් මම අරු අනින එක දිහා බලලා අත් නිදහසත් ගලෝල ඇයි කියලා ඇහුවා.එතකොට මු කියපි

"මචන් එහා පැත්තේ ෂිට් එකේ මගේ කෙල්ල ඉන්නවා.උබට පුලුවන්ද එයාගේ තැනට ගිහින් එයාට මෙතන දෙන්න" කියලා.

මාත් ඉතින් කාලයක් ලව් කලානේ එක හින්ද ඉතින් ආදරේ කරන එකෙක්ට කරන උදාවක් කියලා හිතන් "අයියෝ හරි මචන් කලින් කියන්න එපාය" කියලා නැගිට්ටා.

සිරාවට මන් හිතුවේ අර කොල්ලා නැගිටලා ගියාම එතන ඉදගත්ත කෙල්ල මුගේ කෑල්ල වෙන්න ඇති කියලා. මෙන්න යකෝ මම නැගිට්ටා විතරයි කොල්ලා මන් හිටපු තැනට ඇවිත් කෙල්ලට වාඩි වෙන්න වීදුරුව අයිනේ ඉඩ හදා ගත්තා.

එත් එක්කම අර වීදුරුව අයිනේ ඉදගෙන කදාන වෙනකන් අර කොල්ලත් එක්ක ආපු ආදරණිය කපල් එකේ කෙල්ල ෂිට් එකෙන් නැගිටලා මාවත් පෙරලගෙන ඇවිත් වාඩි උනේ නැතැයි අරුත් එක්ක එක ෂිට් එකේ.

මාව නිකන් අඤ්ඤ කොරොස් වෙලා ආයෙත් අඤ්ඤ කොරොස් උනා.මොකක්ද යකෝ මේ උන විලංබීතේ කියලා.කොහොම හරි වැඩි දුරක් යන්න කලින්ම කෙල්ලගේ පිටට කොල්ල උගේ  අත දාගත්ත.

අතේ මූලේ කොහෙට බැස්සද කියන්නනම් මම දැක්කේ නැහැ.බලන්න ගියෙත් නැහැ ඉල්ලගෙන පෝරියල් කන්න ඕනේ නැති හින්ද.එත් යකෝ මෙහෙමත් වැඩ වෙනවද කියලා මන් කල්පනා කලා.

ඒ විතරක්නම් මදැයි අර ගස් මී  හරකා අරන්දුන්න පැණි කජු පැකට් එක මෙන්න මේකි අරුත් එක්ක කඩාගෙන කනවා හොදට කයිය ගගහා.අනේ මන්ද මෙහෙම දේවලුත් වෙනවයි කියද්දී.

කෙල්ල හොද දත් දොස්තරලගේ පරම්පරාවකින් පැවත එන කෙල්ලෙක් කියලනම් තේරුණා අරූට කරපු වැඩෙන්.එක අතකින් නැගිටලා ෂිට් එක දුන්නු මටත් හෙන ගහවිද මන්දා.

වැස්ස වෙලවකනම් ආයේ වැරදිලාවත් එලියට බහින්නේ නැහැ.ඒ වගේ වෙලෙකට අයිඩින්ටි කාර්ඩ් එකවත් දන්නා ඕන එළියට.පව් අර කොල්ල.

ඌ හිතන්නේ උගේ කෙල්ල ඌට ලව් කියලනේ.ඌ දත ගලවන් කෙල්ලට ලව් කරනවා.කදානෙන් බැහැල ගියාට පස්සේ මේකි බස් එකේ නටන සමයම දන්නේ ඉතින් බස් එකේ ඇතුලේ ඉන්න උන් විතරයි.

අන්තිමට මං  බහින තැන ලං උන  හින්දා මං බහින්න ගියා.සමහර විට මේකි වෙන්නප්පුවෙන් අනික් කොල්ල බැස්සට පස්සේ මාරවිලට යනකන් තව එකෙක් එක්ක ලැගලා ගියාද කියලා ඉතින් දෙයියෝ තමයි දන්නේ.

අනේ ලංකාවට වාසනාවන් ඒ වගේ කෙල්ලෝ ඉන්නේ එක.කොහොම හරි මාත් හොයල ඒ වගේ එකක්ම ආයේ දාගන්න ඕනා එතකොට මටත් බැරිය පැණි කජු කන්න.

මේ වෙච්ච සිද්දිය ගැන ඔයාලට හිතෙන්නේ කොහොමද කියලා කැමතිනම් විතරක් පහලින් කොටලා යන්න.මං  කැමති හැමෝම මං  වගේම පැණි කජු කන්න කැමැත්තෙන් ඉන්න අයද ඉන්නේ කියලා දැනගන්න.