Sunday, January 30, 2011

අසරණ වූදා.........

බ්ලොග් ලියන කියෝන අපි කවදාම හරි අපි ගැන පොඩ්ඩක් හිතල තියෙනවද...?? අපිට කතා කරන්න කටක් බලන්න ඇස් දෙකක් අහන්න කන් දෙකක් දීල තියනවා නේද.ඒත් අපිට ඒ දේවල් කොච්චර වටිනවද කියල දවසක් හරි හිතල බලල තියනවද...???

අන්ධ මනුස්සයෙකුට ඇස් දෙකක් කියන්නේ ලෝකේ තියෙන වටිනාම දේ කියල ඔයාල දන්නවද....??ඇස් දෙකට පෙන්නේ නැති දෙයක් වෙන කෙනෙක් විස්තර කරන කොට ඒ මිනිස්සුන්ගේ හැගීම් වලට කතා කරලා තියෙනවද..??අම්ම කෙනෙකුගෙන් කිරි බිලා හැදුනු හදවතේ බින්දුවක හරි තෙතමනයක් තියෙන කව්රුම හරිනම් ඒ දේ හොදට තේරෙනවා.

මේ ලෝකේ හැමදාම දුකවත් හැමදාම සතුටවත් තියෙන්නේ.නැහැ.අපි හැමෝම මිනිස්සු.හැම දේම කරන්නේ ජිවත් වෙන්න, හිත සතුටින් ඉන්න නේද..??දහස් ගානන් වියදම් කරලා ලබා ගන්න තව කාලික සතුට පසු පස ගියාට ඒ දෙයින් ලැබෙන දුක සදාකාලිකයි.මේ ලෝකේ මාර අමුතුයි.කෙනෙක්ට සතුට දෙනකොට තවත් කෙනෙක්ට දුකක් දෙනවා.ඒ තමයි හැටි.

ඒත් කෙනෙක් දුකට පත් උනහම ඒ කෙනාට පොඩි හරි ශක්තියක් වෙන්න පුලුවන්නම් මනුස්සයෝ හැටියට අපිට එදාට ගොඩාරියක් සතුටු වෙන්න පුළුවන් නේද..?? මේ ඇවිල්ලත් තියෙන්නේ ඒ වගේම අවස්ථාවක්.

අපේම රටේ මේ මහා පොළවත් එක්ක හැප්පෙන අපි වගේම මස්,ලේ,නහර වලින් හැදුනු හුස්මගන්න තවත් ජිවිතයක් අද අසරණ වෙලා.මේ ලෝකේ ස්වාභාදහම තවත් අපේම සහුර්දයෙක්ට එරෙහි වෙලා.අපි හැමෝම එකතු උනොත් අපිට ඒ අපේ සහෝදරයට නැවත ජීවිතය ලබා දෙන්න පුළුවන්.

මේ හැමෝටම මුදල් අපහසුතාවයක් තියෙන කාලයක්.ඒත් එකම එක රුපියලකින් හරි ඔයාලට පොඩි උදව්වක් කරන්න පුලුවන්නම් අඩුම තරමින් එක වචනයකින් හරි එයාට හයියක් වෙන්න පුලුවන්නම් ඔයාලට ජිවිතයේ හැමදාටම සතුටු වෙන්න පුළුවන් වේවි.හිතේ තෙතමනයක් තියෙන කව්රු හරි මේ පොස්ට් එක කියෝලා උදව්වක් කලොත් එදාට ඔයාලට ගොඩක් සතුටු වෙන්න පුළුවන් වේවි.

වැඩි විස්තර පහල ලින්ක් එකට ගිහින් ගන්න.....
    http://ilandhariaya.blogspot.com/2011/01/blog-post_26.html

Saturday, January 29, 2011

වතුර නැතුව......


අද කියන්න යන්නේ අපේ සෙට් එකේ ඉන්න කොල්ලෙක්ට වෙච්ච පොඩි සීන් එකක්.ඇත්ත නම කියන්න බැරි හින්දා අපි ඩයල් එකට "ඉසුරු" කියල කියමු.

හැමෝම දන්නවනේ ඉස්කෝලේ ගිහිල්ල 9 වසරට විතර වෙනකන් පන්තියේ ඉන්නේ මීයාට පිම්බා වගේ තමයි.ඒත් 10-11 වසර වලට ආපු ගමන් ඉස්කෝලේ කියන්නේ ආතල් විමානයක්.අපේ ඉස්කෝලෙත් 9 වසරින් පන්ති කැඩුනා.කැඩුනට පස්සේ තමයි ඉසුරුල අපි එකට සෙට් උනේ.ඉතින් ඒ කලේ අපි හිටියේ මුළු පන්ති සෙට් එකම හොල්ලගෙන තමයි.

O/L පාස් වෙලා මම ගියා Bio කරන්න, මු ගියා  Maths කරන්න.ඒත් Chemistry & Physics දෙකට අපි ගියේ ගම්පහ එකම පන්ති වලට.ඒත් Maths වලට මූ ගියේ මීගමුවේ පන්තියකට.ඒ  ආයතනයේ නම උනේ "Surds" කියල එකක්.මූ ගියේ හුගක් කට්ටිය දන්නා ගුරුවරයෙක් ගාවට.සර් නමින් "දුෂ්‍යන්ත මහබදුගේ".

ගුරුවරයෙක් හැටියටනම් සර් කොහොම කෙනෙක්ද කියන්න මම දන්නේ නම් නැහැ.එත් අපේ සෙට් එකේ උන් කියන විදිහටනම් සර් නිසා හුඟක් එවුන් කැම්පස් ගිහිල්ල තියනවලු.මනුස්සයෙක් හැටියටනම් ගොඩක් උගත් කෙනෙක් කියල මම දන්නවා.

අපේ උන් කියන විදිහට පන්තියේ ඉන්න කොල්ලෝ මොකක් හරි මගුලක් කරලා සර්ව මල පැන්නුවොතින් එහෙම එදාට මුළු පන්තියටම ලුණු ඇඹුල් ඇතිව සුද්ද සිංහල වාග් මාලාවක්  නන්-ස්ටොප් අහගන්න පුළුවන්ලු.

ඔන්න මේ කියන සිද්දියත් වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක් වෙච්ච දවසක.කට්ටියම දන්නවනේ ඔය O/L වගේ නෙමෙයිනේ A/L පන්ති කෙරුවාව එක දිගට පැය  3-4 පන්ති කරනවනේ.ඒක හින්දා අතර මැද්දෙන් පොඩි විවේක කාලයක් දෙනවා කඩේට ගිහින් ගල් බනිසක් කාලා  ප්ලේන් ටී එකක් ගහල එන්න.

කොහොමත් විවේක කාලය ලං වෙද්දී ලං වෙද්දී ඇතුලේ ඉන්න එවුන් නලියන්න ගන්නවනේ ඉඳල ඉඳල එපා වෙලාම.ඔන්න දවසක් ඔහොම පන්තිය කරගෙන යද්දී විවෙකෙට ලං වෙන්න ගත්තම පන්තියේ කොල්ලෝ ඕනවට වැඩියෙන් සද්දේ දාලා.සර්ට ඕකට මල පැනලා බනින්න ගත්තලු.

"අ"යන්නෙන් පටන් ගත්ත බැනිල්ල ඉංග්‍රීසි හෝඩියේ "Z" වෙනකන්ම නැගලා යනවලු.ඔන්න ඔය අතරේ පන්තියේ කොනකට වෙලා වාඩි  වෙලා හිටපු අපේ ඉසුරුට පොඩි ශාරීරික අවශ්‍යතාවයක් පැන නැගෙන්න ගත්තලු.

මු ඉතින් හූල්ල හූල්ල බලන් ඉන්නවලු දැන් එලියට යන්න දේවි දැන් එලියට යන්න දේවි කියලා.සර් නවත්තන්නෙත් නැතිලු.මුට ඉතින් නැගිටලා යන්නත් මොකක්ද මොකක්ද වගේලු.මොකද පන්තියේ කෙල්ලොත් ඉන්නවනේ.

ඉවසල ඉවසල බැරිම තැන පුරුෂ දහිරිය අරන් නැගිටලා කොර ගගහ පන්තියේ ඉස්සරහට ගිහින් සර්ට කියලා එලියට ගියාලු මොකද තවත් බලන් හිටියොත් පන්තිදීම නොන්ඩි වෙන්න උනොත් කියලා හිතල.ඊට පස්සේ තමයි හොදම හරිය වෙලා තියෙන්නේ.තිබිච්ච තදියමට මූ දුවල ගිහින් වැසිකිලිය අස්සට රින්ගුවලු.

ඔන්න ඉතින් ඊට පස්සේ වක්කඩේ කැඩුවා වගේ මූ මුගේ වැඩේ කරනවලු.කරලා ඉවර වෙලාලු මුට මතක් උනේ හදිස්සියට ඇතුලට රින්ගුවට මොකද හෝද ගන්න වතුර එකක්වත්  පුරවා ගත්තේ නැහැනේ කියලා.

ඉතින් වැඩේ ඉවර වෙලා සාමකාමිව ලොකු සටනක් ජයගත්තු වීර සෙබලක් වගේ වතුර එකක් පුරවගන්න මු වැසිකිලියේ තිබ්බ ටැප් එකට බාල්දිය ලංකරලා කරමේ කරකවන්න ගත්තලු.

හුටා මූ කරකනවා කරකනවා වතුර එන්නේ නැතිලු.මිගමුව ගැන දන්න අය දන්නා දෙයක් තමයි මීගමුවේ වෝටර්  බෝඩ් එකට වතුර කපන නොකපන වෙලාවල් ගැන එච්චර පාලනයක් නැති විත්තිය.මුගේ මොකක්ද පෙර පිනකට එදා ඒ වෙලේම හරියට වතුර කපපු වේලවක්ලු.

මු ඉතින් වෝටර් බෝඩ් එකේ එවුන්ගේ අම්ම මුත්තත් සිහි කරගෙන ඇතුලට වෙලා කර කියා ගන්න දෙයක් නැතිව අසරණ ලෙස කල්පනා කර කර ඉන්නවලු නන්නත්තාර වෙලා.

ඉසුරු කියන්නේ ටිකක් උස මහත ඩයල් එකක්.මූ ටිකක් වෙලා කල්පනා කර කර  ඉදලා කකුල් දෙකේ ඇගිලි වලින් ඉස්සිලා බැලුවාලු වැසිකිලියේ පසුපස තියෙන කව්ලුවෙන්.මුට පෙනුනලු ඔය වතු පාලු වගේ  වැල් වගයක් එල්ලී එල්ලී තියනවා එහා පැත්තේ.

මු ටික වෙලාවක් ඉදලා ෆුල්  වැර දාලා උඩ පැනලා අත එලියට දාලා වැල් ටිකක් ගලෝල අරගෙන පස්ස පැත්ත පිහා ගත්තලු හිමිහිට.පස්සේ කලිසමත් ඇදගෙනම එලියට බහින කොට සර් ඉන්ටෙර්වෙල් ඒක දීල කොල්ලෝ එලියට බැහැගෙන ඉන්නවලු.මු පන්තියට කෙලින්ම ගියාලු පොත්ටික අතට ගත්තලු හිමීට පන්තියෙන් මාරු වෙලා ගෙදර ගියාලු.

යන ගමන් පාර දිගට මූ ගියේ  ඉතින් කිරි පණු ගාය හැදුනු එකෙක් වගේ ඇඹරි ඇඹරි කියලා ඔය සීන් ඒක ආරංචි වෙච්ච උන් හැමෝම පස්සේ කියන්න ගත්තා.අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ ඔය නොදන්න වැල් Toilet Paper කියලා හිතන් පිහලා යන කොට මූට  වෙන්න ඇති දේ.

අන්තිමට වතුර නැතිව Toilet එකේ හිටපු ඒක සැපයි කියලා හිතෙන්න ඇති කියලනම් ෂුවර්....

Friday, January 21, 2011

හිමි නොවූ ආදරය.....


මුලින්ම බ්ලොග් එක පටන්ගන්න කියල හිතුවේ මට මුලින්ම කෙල්ලෙක් ගැන හැඟීමක් කියල දෙයක් ඇති උන කාලේ ගැන පොඩ්ඩක් මතක් කරලා.

අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ පොඩි එවුන් වගේ ඉන්න කාලේ කොල්ලන්ට මේ ලෝකේ පෙන්නන්නම බැරි සත්තු ජාතිය තමයි ගැහැණු ළමයි.මගෙත් මොකක් හරි වාසනාවකට හරි අවාසනාවකට හරි මම O/L වෙනකන් ගියේ ම්ශ්‍ර පාසලකට.ඉතින් හැම එකාටම වෙනවා වගේ 1 වසර කාලේදී පන්තියේ කව්රුත් එකයි.කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම යාලුවෝ තමයි.

එත් ක්‍රමානුකුලව ටික ටික දේහ පරිමාව වැඩි වෙද්දී ඉන්න යාලුවෝ ගාන ටික ටික අඩු වෙනවා.බොහෝ විට ඔක්කොම යාලුවෝ කොල්ලෝ.කෙල්ලන්ව පෙන්නන්නවත් බැහැ.ඒකාලේ තයි මරු;කොණ්ඩයක් පීරන්නේ නැහැ,සපත්තුවක් පොලිෂ් කරන්නේ නැහැ.අනික කලිසම් ෂර්ට් හපුටු පාට වෙනකන් දාඩිය පෙරාගෙන හඬු ගඳ ගගහා ඉන්නවා ෆුල්  ආතල් එකේ.

එත් කර දඬු ටිකක් උස්මහත් වෙලා කුරුලෑවක් දෙකක් මතු වෙන්න ගත්ත ගමන් කොහෙද හැංගිලා තිබිච්ච මනමාල කමක් ඔලුවට දිෂ්ටි වෙනවා. ඔන්න ඔය අතරේ තමයි එහෙන් මෙහෙන් දසුනට අහුවෙන කෙල්ලෙක්ව මීටරේට වැටෙන්න  පටන්  ගන්නේ.ඒ වෙනකොට එක බත් පත බෙදන් කාපු එකට හිටිය යාලුවන්ටත් වඩා කෙල්ලව ලොකු වෙන්න ගන්නවා.

සමහර වෙලාවට ඔය වගේ ලව් කේස් වලට බොක්කෙන්ම උදව් කරන යාලුවෝ සෙට් එකකුත් සෙට් වෙනවා තම තමන්ගේ පව් පින් පල දීලා.එත් සමහර වෙලාවට එකම කෙල්ලට එකම සෙට් එකේ දෙන්නෙක්  විතරත් බහිනවා ගේමට.ඒවගේ වෙලාවට යාලුකම ඉවර වෙන්නේ සෙට් එකත් දෙකට බෙදිලා හෙන ගාල ගෝට්ටියකින්.

මම 9 වසරදී මට ස්කුල් එකේ ශිෂ්‍ය නායකයෙක් වෙන්න පොඩි පොටක් පාත් උනා.එක නිසා කාපු කටුත් එමටයි වෙලාව තියෙන තියෙන විදිහට ඒවත් ටික ටික දාන්නම්.කාලයත් ගෙවී ගියා මම 11 වසරටත් සැපත් උනා.11 වසරදී මට ඩියුටි සෙට් උනේ 10 වසර පන්ති වල.පන්ති 6ක් තිබ්බා.11 වසරින් මායි තව  එකෙකුයි තමයි ඩියුටි වලට සෙට් උනේ.ඉදල හිටලා තමයි ජේෂ්ටයෙක් ඒ පැත්තට සැපත් උනේ ඒක නිසා අපි දෙන්න තමයි මුළු 10 වසරම  රන් කලේ මුළු අවුරුද්දම.පට්ට ආතල් ඇයි දෙයියනේ ලස්සන ලස්සන නංගිලා ඉන්නවනේ.

මම නම් ගිය වෙලේ ඉදන් කරන්නේ 10 වසර කොල්ලෝ එක්ක බිත්තියකට හේත්තු වෙලා කයිය ගහන එක.අරුත් ඒවගේ තමයි.ජෙෂ්ටයෙක් ඒ පැත්තට සැපත් වෙනවනම් තමයි අපිත් සද්දේ දාලා වැඩ එහෙම බලන්නේ.ඔන්න ඔය ඩියුටි කරන අතර තුරේ තමයි මට එයාව ඉස්සෙල්ලම නෙත ගැටුනේ.

ඇත්ත නම කියන්න බැහැනේ එයට අපි "මධුෂිකා" කියල කියමු.ඊට පස්සේ ඉදන් මම ඩියුටි කලේ වැඩිපුර ඒ පන්තියේම තමයි ඉතින්. මුණ පේන්න සපත්තු එහෙම මැදලා හොරෙන් ජෙල් ගාලා එයට උඩින් පොල්තෙල් ගාලා තමයි ඒ කාලේ ඩියුටි ගියෙත්.පොල්තෙල් ගාන්න හේතුව තමයි ඉතින් මුළු 10 වසරේම සෙට් එකේ කොල්ලෝ ආගම අදහලා  පෝලිමේ පන්ති වලට යද්දී උන්ගේ කොන්ඩෙ චෙක් කොරලා ජෙල් ගාලා තියෙන උන්ව නාවන පෝරියල් එක සෙට් වෙලා තිබ්බේ මට නිසයි.

ඔන්න ඔහොම කාලය ගෙවිල ගියා ඔය අතර තුරේ මම ෆුල් ට්‍රයි කලේ ඒ මධුෂිකාගෙන් ලකුණු දාගන්න තමයි.ඒත් ලකුණු දාගත්තට  වඩා උනේ මම කරපු ගොන් වැඩ වලින්,10 කොල්ලෝ එක්ක එකතු වෙලා ශිෂ්‍ය නායක කමත් තියන් පිස්සු කෙලපු එකෙන් මගේ තිබුණු ලකුණුත් කැපුණු එක.

ශිෂ්‍ය නායක කමත් තියන් කෙල්ලෙක්ට ලයින් දාන එක කව්රුත් දැනගත්තොත් මට චා වගේ නිසා ලඟම යාලුවෙක්ටවත් නොකිය තමයි මම තනියම ගේමට බැස්සේ.

ඔන්න ටික ටික මගේ සා.පෙ.ටත් කාලය ලං ලං උනා.මතක විදිහට 2005 නොවැම්බර් 24 වෙනිදා වගේ මතකයි.O/L ලග නිසා වෙන මගුලක් වෙන්නේ නැතැයි කියල මම ඒ ගෑනු ළමයාගෙන් යාලු වෙන්න ඇහුවා.අරම අහනවා මෙහෙම අහනවා කියලා දහස් පාරක් ගෙදර කන්නාඩිය ඉස්සරහ ප්‍රැක්ටිස් වෙලා ගියාට මොකෝ එයා ඉස්සරහදි සකල සර්වාන්ගේම හිරි වැටිලා ගොත ගැහිලා ගියා.

අනික ඒ කාලේ කෙල්ලෙක්ට දැනෙන්න නාඩියටම දෙන්න දන්නෙත් නැහැනේ.අන්තිමට එයාගේ උත්තරය උනේ එයාට තව ඉගෙන ගන්න ඕනි කියන එක තමයි.මම ඉතින් හිතා ගත්තා කමක් නැහැ එහෙනම් මෙයාගෙන් A/L ඉවර වෙලාවත් ඇවිත් යාලු වෙන්න අහනවා දැන් ඉගෙන ගන්න දීලා කියලා හිතන් මම වෙන් වෙලා ගියා.

ඔහොම කාලය ගෙවිල ගියා O/L පාස් වෙලා මම කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝලෙකට ගියා.ඉස්කෝලෙ වෙනස් කරන්න හේතු ගොඩක් තිබ්බා.ඒ හේතු ටිකෙන් ප්‍රධානම හේතුවක් උනේ මේ කෙල්ල තමයි.ඒක  අදටත් මගේ යාලුවෝ දන්නේ නැහැ.

ඔන්න ඉතින් මම A/L සුපුරුදු පරිදී කරගෙන ගියා.හැබැයි ගෙවෙන හැම තත්පරයක්ම මධුෂිකා ගැනම හිත හිතා.A/L වලට ඉතින් හැම එකාම වගේ පුද්ගලික පන්ති වලට යනවනේ මමත් ඉතින් ගියා.ගියේ ගම්පහ පන්ති 3 කට.හිතේ  මධුෂිකා ඒ කාලේ වෙන කොටත් පැල පදියම් වෙලා හිටපු නිසා වෙන කෙල්ලෝ දිහා බැලුවත් ඉතින් ලයින් දාන්න හිතුනේ නැහැ. ඔහොම අවුරුද්දක් විතර පන්ති ගියා.

O/L ඉවර වෙලා මගේ වෙලාවකටම  මධුෂිකාත් පන්ති ආවේ ගම්පහමයි. ඉතින් එයාව දවසක් දැක්කට පස්සේ කණාවට වගේ මම දවස් දෙකක් විතර පස්සෙන් ගියා.ඒත් වැඩේ හරි ගියේ නැහැ ඒත් මාත් අත ඇරියේ නැහැ එයා ගැන හිතේ තියන් හිටියා.

දවසක් මම පන්ති ඇරිලා හදිස්සියෙන් යද්දී  මධුෂිකා කොල්ලෙක් එක්ක එනවා අත් වැල් පටලාගෙන ගම්පහ පාරක් දිගේ.මගේ කකුල් දෙක හිරි වැටුනා වගේ උනා  එයා  යාලු වෙලා හිටිය කොල්ලා මම පස්සේ ගියපු ඉස්කෝලෙම අපිට බාල පන්තියේ හිටපු කොල්ලෙක්.

දැන් මේක මෙහෙම කිව්වට ඒ වෙලේ මට දැනුනු හැගීම කියන්න බැහැ  බොලව්.එදා මම ගෙදර ගියත් හිටියෙත් ෆුල් අප්සට් එකේ.එදායින් පස්සේ මධුෂිකාගේ ආදර කතාවේ චැප්ටර් ක්ලොස් උනා.

පසුව ලියමි :- එදාට පස්සේ කොච්චර දේවල් වෙනස් උනාද. ඒ කාලේ මට හරියට කෙල්ලෙක් එක්ක යාලු වෙන්නේ කොහොමද කියලවත් අවබෝධයක් තිබ්බේ නැහැ.ඊට පස්සේ ජීවිතේට ගොඩක් කට්ටිය අවා.මන් මේ ටික  කියන්නේ කිසිම ඊරිසියාවක් නිසා නම් නෙමෙයි.මධුෂිකා  ඒ වෙන කොටත් යාලු වෙලා හිටපු කොල්ලා කර්පට් වෙන්න ගහන සිගරට්  පවා ඒ කලේ බීපු කොල්ලෙක්.අනික මධුෂිකා  O/L කාලේ ගොඩක් හොදට හිටියා  හැමෝම හොද කිව්වා.

ඒත් A/L කරන්න ගම්පහ පන්ති ගියාට පස්සේ එයා  පන්ති යනවට වඩා කොල්ලා එක්ක ෆිල්ම් හෝල්  ගානේ රිංගුවා කියලා මට එහෙන් මෙහෙන් ආරංචි උනා.පව් කෙල්ල මාත් හිතින් හරි ආදරය කලානේ.අද එයා කොහේ මොනවා කරනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම ඒ කෙල්ලට ඉන්න තැනක හොදින් ඉන්න ලැබේව කියලා ප්‍රර්ථනා කරනවා.

අනික විශේෂයෙන්ම කියන්න තියෙන දෙයක් තියනවා.කෙල්ලෙක්ට වද දිදී කොච්චර පස්සෙන් ගියත් ලැබෙන්න නියමයක් නැත්නම් ලැබෙන්නේ නැහැම තමයි.අනික මේ ලෝකේ හොදම දේ ලැබෙන්නේ ඉවසන කෙනාට කියලා කියමනක් තියනවනේ.කෙල්ලෙක්ට හිත ගියාම ටිකක් විතර පස්සෙන් ගිහින් වද නොදී අපේ තත්වෙත් තියන් හදවතට දැනෙන විදිහට හිටියනම් හදවතට දැනෙන විදිහට කතා කලානම් වැඩේ ගොඩ දාගන්න පුළුවන් ෂුවර්  එකටම.

අනිත් එක තමයි කෙල්ලට කොල්ලෙක් ඉන්නවා කියලා දැන දැනත් ඒ කෙල්ලම පස්සෙන් යනවනම් ඒක මහා අමන වැඩක්.ඒ වගේ වැඩක් නිසා මටත් අමතක  නොවෙන මතකයක් එක් වෙලා තියනවා ඒක පස්සේ දවසක කියන්නනම් අදට මේ ඇති...  
            

Sunday, January 16, 2011

අරඹමු අප මෙසේ....!!!

හා හා පුරා කියල පටන් ගත්තු ගමන් ඉතින් දාලා යන්නත් බැහැනේ නිකන්ම මුකුත් නොලියා. ඒ නිසා පොඩ්ඩක් කොටලා යන්න හිතුනා.  බ්ලොග් අවකාශයට මම ආධුනිකයෙක් උනාට ගොඩක් කාලෙක ඉදන් බ්ලොග් නම් කියවන්න පුරුදු වෙලා  හිටියා.මේක ගැන ඉතින් දැන ගන්න කවුරුත් නැහැනේ. අනික ඉතින් "අපරාජිතයා" කියන්නේ කවුද කියල දන්නා කවුරුවක්වත් නැහැනේ බලමු ඉතින්. ඔය කනාවට වැරදිලා මේකට ගොඩ වැදුන කෙනෙක් හිටියොත් සෙට් වේවිනෙ. අනේ මන්ද බලමු ඉතින්.....!!!