Friday, July 22, 2011

ගුරුවරියක් වෙනුවෙන්...


ගොඩ දවසකින් මොකුත් ලියන්න හම්බුනේ නැහැ නොවැ.මොනවා කරන්ද මම අන්තිම පොස්ට් එක දාපු දවසට පහුවෙනි සතියේ සෙනසුරාදා ඉස්කෝලේ අතිජාති මිත්‍රයොත්එක්ක සෙට් උනා නොවැ.

එදා පොඩි යාලුවෙකුගේ වැඩකට මගේ ඩොන්ගල් එක අර ගෙනයි ගියේ.ඒකට හේතුව මගේ කනෙක්ෂන් එක Airtel වල ටිකක් වාසි දායක කැම්පස් Pakage එකක් නිසා.

ගියේ මගේ හොඳම යාලුවා අයේෂ් එක්ක උගෙ අතිජාත Zuzuki වර්ගයේ බයික් එකෙන්.කොහොම හරි එදා වැඩෙත් කරගෙන ආපහු එද්දි වැස්සට අහු උනා.

ඩොන්ගල් එක තිබ්බේ මගේ සාක්කුවේ.මට ඒක එච්චර ගානක් නැති උනා.

ඒත් කරුමෙ කියන්නේ කොහොම හරි ඩොන්ගල් එක ගෙදර ගෙනල්ලා බ්ලොග් එක ලියන්න හිතන් නෙට් කනෙක්ට් වෙන්න කියලා ගහලා බලන කොට වෙනදා පත්තු වෙන කොළපාට ලයිට් එක පත්තු උනේ නැහැ.

කම්පුටර් එකෙන් detect කරගන්නෙත් නැහැ.කොහොම හරි කලිසම තෙත් උන නිසා මේක ඇතුලටත් වතුර යන්න ඇති.

අපරාදේ තිබ්බේ Huwawei Safaricom ජාතියේ එකක්.බොහොම අමාරුවෙන් ඉතුරු කරලා තියෙන එව්වත් හූරලා අරන් ගත්තා අලුතින් එකක්.

ගත්තා කිව්වට ගෙන්නුවා e-bay වලින් Huawei E1750 USB 3G WCDMA adaptor Dongle Modem 7.2Mbps තමයි අලුත් එකේ වර්ගේ එල කිරි වගේ වැඩ.

මොනවා කරන්නද ලංකාවේ නිදහස් අධ්‍යාපනයට මේ දවස්වල කණ කොකා අඬලනවනේ.විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැ‍ටුප් විෂමතා ඉවත් කරන්න කියලා මාරාන්තික වැඩවර්ජනයක් තියන එක අපිටත් තදින්ම බලපාලනේ.

අනේ අපි වයසට යනවා.ඩිග්‍රිය ගනිද්දි කටේ දත් තිබුනොත් ඒ ඇති.ඒ උනාට ගෙදර නම් හිටියේම නැහැ.

යාලුවො එක්ක සෙට් වෙලා රට වටේ රවුම් ගැහුවා.කරුමෙට ඩොන්ගල් එකටත් කෙලියෙ මේ දවස් වලමයිනේ.මොනා කරන්නද Internet නොමැති ලොවක මිහිර නියමෙට වින්දා.

හොඳ වෙලාවට පෝන් එකෙන් Facebook යන්න පුලුවන් කම තිබ්බ නිසා ටිකක් විතර ශෙප් උනා.කාලෙකින් ආපු එකේ ඔන්න බ්ලොග් එකට අලුතින් තීන්ත ටිකකුත් ගාලම අලුතින් වැඩ අල්ලන්න හිතුවා.

ගොඩ දවසකින් මොකුත්ම ලිව්වේ නැති නිසා පට්ට කම්මැලියි ලියන්නත්.ඒත් ලියන එකනම් නවත්තන්නේ නැහැ.

මම නැති වෙලාවේ හොයලා බලපු දෙන්නෙක් ඉන්නවා ඉස්සෙල්ල උන් දෙන්නට ස්තුතියි කරනවා. එකෙක් අපේ රත්තරන් මාලුවා (රත්තරන් කිව්වට මූ නම් යකඩ තරම්වත් වටින එකෙක් නෙමෙයි)

අනිකා සරත් ලංකාප්‍රිය අයියා(අයියා කිව්වට මූට මගේ වයසෙ දුවෙකුත් ඉන්නවලු.අන්කල් කියලා තමයි කියන්න වටින්නේ)

උබලා වගේ යාලුවෝ ලබන්න මම ගොඩාක් පින් කරලා ඇති බං.නැත්නම් දැකලවත් නැති එකෙක් ගැන මොකටද වද වෙන්නේ උඹලා මේ තරමටම...

ඔන්න එහෙනම් අද කතාව.මේක වෙන්නේ මම 10 වසර කාලේ.මට දැන්නම් තරමක් කවි ලියන්න පුලුවන් මොකක් හරි සුන්දර දෙයක් අගයලා.

ඒක පුරුදු උනේ මිහිරි බූට් එකක් කෑවට පස්සේ හුදාකලාව තනිකමේ මිහිර විඳිද්දී.ඒත් ඔය කියන කාලේ මට කවියක් තියා රචනයක් වත් ලියන්න බැහැ.

හැබැයි එක එකාට මඩ කවිනම් නියමෙට හදන්න පුලුවන් කම තිබ්බා.අපේ පන්තියේ හිටියා එල කිරි කොල්ලෙක්.

මූට මෙතන ඉදන් අශාන් කියමු.මූ ඒ කාලේ වැඩ කලේ ඉස්කොලේ සන්නිවේදන අංශයේ.අර මතක ඇතිනේ මගේ බැජ් එක ගලවපු සිද්දියේ හිටපු විජේසූරිය සර්.

මිනිහා තමයි ඉතින් ඔය කෙහෙම්මල් අංශයෙත් ප්‍රධානියා.ඌත් නිකන් හිටියේ All rounder වගෙයි හැම මගුලක්ම බදාගෙන.

ඉතින් ඔය කියපු මගුල් අංශෙත් අපිට දුන්නේ පුදුම වදයක්.උදේ පාන්දර ඉදන් ඉස්කොලේ පටන් ගන්නකන් එක එක රටේ නැති වැල් බයිලයි,මෙලෝ රහක් නැති සින්දුයි දානවා.

කනක් ඇහිලා පාඩුවේ ඉන්න මුන් දුන්නේම නැහැ.

ඔය කියපු මගුල් අංශයේ හිටපු ශිෂ්‍යය උප ප්‍රධානියා උනේ ඔය මම කියපු අශානයා.

උගේ වැඩේම අතේ voice recorder එකක් තියාගෙන.දෙන්න ඕනා නිවේදනයි අනම් මනම් වල් බයිලයි රෙකෝඩ් කරකර ලොකුවට කෙල්ලන්ට පේන්න ඇඩ් එක දාන එක තමයි.

කොහොම හරි අපේ 10 වසර B එකේ හිටපු අපේ කොල්ලෝ සෙට් එකට මුගේ කල් ක්‍රියාව ඇල්ලුවේ නැහැ.

අපි සෙට් එක ප්ලෑන් කලා පොඩි ගේමක් දෙන්න.ඒ කාලේ අපෙ පන්තියේ මම තමයි මඩ ගහන ඒවා වලට, කෙල්ලන්ව අඬවන ඒවා වලට නම ගිය අලගිය මුලගිය එකා.

ඉතින් අපේ උන් සෙට් එකේ plane එක උනේ හෙමිහිට මූට මඩ කවි ටිකක් හදලා එවා විරිඳු විදිහට කියන ගමන් මුගේ අර රාජකීය voice recorder එකට පටිගත කරලා ශේප් එකේ තියන එක.

කවි ලියන වැඩේ මම බාර අරගෙන විරිඳු කවි 20ක් විතර ලියලා අපේ සෙට් එකට දුන්නා.ඔතන හිටියා ප්‍රසාන්,අයේෂ්,මොහොමඩ්,රුස්ඩි... වගේ මගේ අති ජාතී සෙට් එකක්.

කොහොම හරි විරිඳු කියන්න එක එකා ඉදිරි පත් උනත් අන්තිමට අපේ උන් කිව්වා මම උන්ට වඩා එලට කියනවා ඒ නිසා උන් ගහන්නම් ඩ්‍රම් එක මට ලස්සනට කියපන් කියලා.

අපි ප්ලෑන් කර ගත්තු විදිහට අශානයා පන්තියෙ නැති වෙලාවක් අල්ලලා වැඩේට බැස්සා.

ඔන්න මම දැන් අපි කලින් කතා කරගත්තු විදිහට විරිඳු කියනවා අරුන් ඩ්‍රම් ගහනවා ප්‍රසානයා රෙකෝඩර් එක අල්ලන් ඉන්නවා.

කොහොම හරි ශේප් එකේ අපි වැඩේ කරලා රෙකෝඩර් එක මොකුත් නොවුනු ගානට ඔතලා තිබ්බා අශානයාගේම බැග් එකේ දාලා.

කොහොම හරි මරුම වැඩේ උනේ පහුවෙනිදා උදේ පාන්දර.මම මොන ගස් බලු වැඩේ කලත් මට 9 වසරදි ශිෂ්‍යයනායක පට්ටමක් ලැබුනනේ කරුමෙට.

ඒක නිසා උදේ පාන්දර අපි ඩියුටි යන්න ඕනා.පාන්දර කිව්වට මම නම් ඒකාලේ ගියේ 7.25 ට විතර ඒ 8.00 ට ඉස්කෝලේ පටන් ගන්න කාලෙනේ.

කොහොම හරි අශානයා අර මගුල් සන්නිවේදන අංශයේ මයික් එක ඔන් කරලා පටන් ගත්තා ඉස්කෝලෙටම ඇහෙන්න අදෝනාව..

"සුබ උදෑසනක් ඔබ සැමට.මේ **** විද්‍යාලයේ සන්නිවේදන අංශයයි.ප්‍රථමයෙන්ම දවසේ වැඩසටහන".

ඔන්න ඔච්චරයි ගියේ ටිකකින් මට ඇහෙනවා එදා අපි රෙකෝඩ් කරපු විරිඳු කවියක් මුලු ඉස්කෝලෙම තැන් තැන් වල තියෙන ස්පීකර් වලින්.

වැඩි වෙලා යන්න උනේ නැහැ එකපාර ඔක්කොම නැවතිලා එකපාරටම මෙලෝ රහක් නැති සින්දුවක් වැ‍ටුනා.

මෙන්න ටික වෙලාවකින් අපේ පන්තියේ මගේ සෙට් එකේ එකෙක් මම ඩියුටි කල පන්තියට මාව හොයන් එනවා.
ප්‍රසාන්:- අඩෝ **** මාර සීන් එක බං.අන්න අශානයට මල පැනලා මූනත් රතු කරන් උඹව මරන්න හොයනවා. 
මම:- ඔව් බං ඊයේ අපි කල ආතල් වැඩේ සෑහෙන බර පතලයි.මේ යකා රෙකෝඩ් එක අහලා බලන්නෙවත් නැතුව හරක වගේ දැම්මනේ බං.


ප්‍රසාන්:-හොඳ වෙලාවට පිනා තවම ඇවිල්ලා නැත්තේ.වර පන්තියට අරුව ශේප් කරගන්න බලමු.
මම:- දැන් වැඩක් නැහැ බං බලමු වෙන දෙයක් වෙද්දේන්.

කොහොම හරි අශානයට මල පැනලා.රෙකෝඩර් එකේ Voice එක මගේ කියලත් අඳුරගෙන.කොහොම හරි එදා මගේ වෙලාවටද කොහෙද විජේසූරියකාරයා ඉස්කෝලේ ආවේ නැහැ.

කොහොම හරි ඩියුටි කල පන්තියේ ඩියුටි කරලා ඉවර වෙලා මම පන්තියට ගිහින් ටික වෙලාවකින් මෙන්න අශානයා පන්තියට ඇවිල්ලා මට කතා කලා


අශාන්:-*** අඩෝ පරයා අන්න තොට ඩඩ්ලි සර් කතා කලා
(ඒ කාලේ අපෙ 10 වසර පන්ති වල අංශ ප්‍රදානියා.ගොඩක් හොඳ සර් කෙනෙක්.අදටත් මම ගරු කරන කෙනෙක්)
මම:-කොහෙටද..? 
අශාන්:-10 වසර පන්ති ‍රැස්වීම් ගන්න තැනට.

මම අරුත් එක්ක ඔන්න එතනට ගියා.හුටා එතන පන්ති ඔක්කගේම ගුරුවරු සෙට් එක ඉන්නවා.

පද්මා මැඩම්(මම ජිවිතේ අම්මට පස්සේ ආදරය කරන ගුරුතුමිය.අපේ 10-11 පන්ති දෙකේම පන්ති භාර මැඩම් තමයි)

වන්නිආරච්චි මැඩම් (මගේ ලොකුම මුට්ටියක්.9 වසරෙදි අපිට සමාජ අධ්‍යයනය කලා.මගේ සිතියම් ඇඳීමේ හැකියාව හොඳයි කියලා මැඩම් මා එක්ක මාර ‍ෆිට් එකේ උන්නේ)

මොරින් මැඩම්(මගේ අම්මගෙයි තාත්තගෙයි හොඳ ලඟම යාලුවෙක්)

මාලනි මැඩම්(අපේ අක්කගේ ලොකු මුට්ටියක්.මල්ලි නිසා මාවත් දන්නවා.මහත්තයා අපේ තාත්තගේ යාලුවෙක්)

ෆ්‍රැන්කා මැඩම්, ඩඩ්ලි සර්.. මගේ පටි අම්බානෙකට රෝල් වෙන්න යන්න කියලා මට සෙට් එක දැක්කම චූ බර හැදුනා.

දැන් ඩඩ්ලි සර් මගෙන් ප්‍රශ්න කරනවා.අශානයා කේලම් අගිස්සනවා.මැඩම්ලා සෙට් එකත් කම්මුල් වලට අත තියාගෙන මන් දිහා බලාගෙන.

එයිට හපන් ඔක්කොම මගේ පැත්ත හැරිලා මට පිටි පස්සෙන් පේනවා අපේ සෙට් එකේ උන් එකා දෙන්නා එතනින් මං දිහා බල බල එහා මෙහා යනවා.

අන්තිමට මගෙන් ඇහුවා "වැ‍රැද්ද පිලිගන්නවාද" කියලා.මොනා කියන්නද මම කිව්ව "ඔව් මම පිලිගන්නවා" කියලා.

පස්සෙ මගෙන් ඇහුවා සර් "කව්ද මේකට වෙන සම්බන්ධ" කියලා.මම මොකක් කලත් කවදාවත් කාවවත් පාවලා දෙන්න කැමති නැහැ.

මම කිව්වා "කවුරුත් නැහැ මම විතරයි කලේ" කියලා.

පස්සේ සර් මට කිව්වා "මට තමුසෙට දඬුවම් කරන්න බැහැ තමුසේ ශිෂ්‍යය නායකයෙක් නිසා ආයේ මේ වගේ වැඩ කරලා අහු වෙන්න එපා" කියලා.මම "හා" කිව්වා.

ඒ අස්සෙ මට ඇහෙනවා

"අයියෝ මේ ළමයා හොඳ ළමයෙක් 9 වසරෙදි මම දෙන වැඩ සිතියම් ලස්සනට අඳින හොඳම ලමයා.නරක යාලුවන්ගේ ආශ්‍රයට වැටිලා" ඒ වන්නිආරච්චි මැඩම්.

"මේ ළමයගේ මුලු පවුලම මම දන්නවා.අනිකා ඉංග්‍රීසි ඉගෙන ගන්න 4 වසරේ ඉඳන් ගෙදරින් එවන්නේ මං ලඟටනේ.**** ඇයි මේ වගේ දෙයක් කලේ..??" ඒ මොරින් මැඩම්.


"මේ ළමයගේ අක්කා හරී හොඳයි.අම්මා තාත්තත් හරි හොඳයි.ගිය අවුරුද්දේ මගේ පන්තියේනේ හිටියේ.ඒ කාලේ හොඳට හිටියනේ".ඒ මාලනී මැඩම්".

"ළමයින්ගේ වැරදි වලට වග කියන්න ඕනේ ඉතින් අම්මලා තාත්තලා තමයි" ඒ ෆ්‍රැන්කා මැඩම්.

ඔය ඔක්කොම ඇනුම් පද කියද්දි කිසිම සද්දයක් නැතුව අහගෙන හිටපු එක්කෙනෙක් හිටියා.. ඒ මගේ පන්තිභාර පද්මා මැඩම්.කොහොම හරි කට්ටිය විසිරිලා ගියා.

මායි අශානයයිත් පන්තියට ගියා.මෙන්න ටිකකින් පද්මා මැඩම් පන්තියට ආවා.අපිට මුල් පීරියඩ් දෙක තිබ්බේ ගණිතය.මැඩම් කණ්නාඩි දානවා.

ඒත් මැඩම්ගේ සුදු කම්මුල් දෙක දිගේ කඳුලු කැට වැක්කෙරෙනවා මට පෙනුනා.විමසිල්ලෙන් බලද්දි මැඩම්ගේ ඇස් දෙක කඳුලු වලින් පිරිලා.

මැඩම් මන් දිහා බලලා මට කතා කලා.මම ඉදන් හිටි එකෙන් නැගිටලා හිටගත්තා.මැඩම් කිව්ව වචන ටික අදටත් මගේ පපුවේ කෙටිලා තියනවා.

" **** මම ඔයා ගැන කවදාවත් අනුන්ගෙන් මෙහෙම දේවල් අහන්න බලාපොරොත්තු උනේ නැහැ දරුවෝ".

මැඩම් එහෙම කියන ගමන් ඇස් දෙකෙන් කඳුලු කැට වැක්කෙරෙනවා.පන්තියේ කෙල්ලො මට ඔරවනවා.

මොනවා කරන්නද ඇත්ත කියන්න එපාය මමත් මැඩම්ට කියපු වචන ටික අදටත් ආරක්ශා කරනවා.

"මැඩම් මැඩම් මගේම මගේ අම්ම වගේ.මම මගේ අම්මට පොරොන්ඩු වෙනවා කියලා හිතන් පොරොන්දු වෙන්නම්.ආයෙ ජීවිතේ කවදාකවත්ම මම නිසා මැඩම්ට කාගෙන්වත් එක එක දේවල් අහන්න මම ඉඩ තියන්නේ නැහැ මැඩම්" 

ඔච්චරයි මට කියාගන්න පුලුවන් උනේ මම මුලු පන්තියටම ඇහෙන්න ඉකි ගගහා ඇඬුවා.ඒ වගේම අදටත් මම නිසා මැඩම්ට කාගෙන්වත් බැනුම් අස්සවන්න ඉඩ තියලත් නැහැ.

අද මම ඉන්නෙ කොතනද... ඒ ඉන්න තැන ඉන්න මට අද කකුල් දෙකට හයිය ලැබිලා තියෙන මගේ මුලු ජීවිතේම වෙනස් කල ඒ දවස එදායි...

පද්මා අභයවර්දන මැඩම් වගේ ගුරුවරියක් නොහිටින්න අද මම අමුම අමු රස්තියාදුකාරයෙක් වෙන්න තිබ්බා..

ඒත් අද මම ඉන්න තැන ඉන්න එකේ සම්පූර්ණ ගෞරවය අම්මා තාත්තා ඇරුනහම ලැබෙන්න ඕනා එකම එක්කෙනා මගේ දෙවනි අම්ම කියලා මන් සලකන මැඩම්ට විතරමයි.

මැඩම් මම දන්නවා ඔබතුමිය මේ බ්ලොග් එක කියවන්නේ නැති විත්තිය.

ඒත් මගේ මුලු ජිවිතේ තියනකන්ම මම මැඩම්ට ගොඩාක් ණයගැතියි..මගේ ආයුෂත් අරන් මැඩම් බොහෝ කාලයක් ජිවත් වෙන්න ඕනා....     

17 comments:

  1. ඔය වගේ හොඳ ගුරුවරු ඉන්නවා බං.

    ReplyDelete
  2. ඔව් බං.ඇත්තම ගුරුවරුත් ඉන්නව මේ ලෝකේ.උඹට හොඳ ගුරුතුමියක් ලැබිල තියෙනව.

    ReplyDelete
  3. මාලු අයියා කිව්වත් වගේ ඉස්කෝලවල හොද ගුරුවරුත් ඉන්නවා. නමුත් වැඩිපුරම ඉන්නේ ප්‍රින්සිපල්ට මුට්ටි අල්ලන කත් අඳින සෙට් එකක් !!!!

    අර කිව්වත් වගේ අපරාජිතයව දැක්කේ ගොඩ දවසකට පස්සේ. කමක් නෑ එහෙම හරි ආවනේ. ඒ ඇති. සති අන්තයේ අප්ඩේට් වෙන බ්ලොග් අඩවියට මොකද උනේ කියලා බැලුවා.

    ReplyDelete
  4. මම හිතන්නේ හැම කෙනෙකුටම ඔහොම තමන්ගෙ ජීවිතය හදා ගන්න උදවු කරලා තියෙන්නේ ගුරුවරු.මොනතරම් බැන්නත් මොනතරම් ගැහුවත් අපි අද මෙතන ඉන්නේ ගුරුවරු නිසා නේ.

    ReplyDelete
  5. @prasanna86k :- ඔව් බං ඉන්නවා ඒත් ගොඩාක් අඩුයි.හුගක් අය දන්නේ වේවැල් පාර දීලා බනින්න විතරයි.සැර පරුෂ වචන 100 කට කරන්න පුලුවන් දේ එක කාරුණික වචනයකට කරන්න පුලුවන් මචං......

    ......................................................................................................................................................................

    @beleka:- අනිවා මචං මගේ ජිවිතේ මම කරපු ලොකුම පිනක් වෙන්න ඇති බං ඒ වගේ ගුරුවරයෙක් මට ලැබෙන්න....

    .....................................................................................................................................................................

    @මධුරංග:- ඩොන්ගල් එකට කෙල උනා බං බලපන් දැන් ආයෙ කැම්පස් පටන් ගන්නවලු... ශික් මට වෙන්නෙම ඔහොම වැඩ තමයි බං...

    .....................................................................................................................................................................

    @μ:- ගොද වැදිලා කමෙන්‍ටුවක් දාලා ගියාට ස්තුතියි යාලුවා... ගුරුවරයෙක් කියන්නේ උත්තම පුරුෂයෙක් බං.... එක නිසා වෙන්න ඇති එක පාසලක් අරිමෙන් සිරගෙවල් දස දහසක් වැසිය හැක කියලා කියමනක් තියෙන්නේ...

    ReplyDelete
  6. අම්මටසිරි මන් මේක දැක්කේ දැන්නේ. සිරාවට අපේ ඉස්කොලේ එකෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් ඔක්කොම නියම ගුරුවරු. ඩඩ්ලි සර් නියම පොර බන්. ජීවිතේට ඩබල් පීරියඩ් දවසට එන්නේ නැ. හැබැයි එහෙමයි කියල නෑ උගන්නන එක සුපිරි. . . . .

    ReplyDelete
  7. අපේ ඉස්කෝලේ නම් ඔහොම ආදරණීය ගුරුවරු හිටියෙම නැති තරම් කවදාකවත් මගේ ජීවිතේටම ගුරුවරියක් හෝ ගුරුවරයෙක් මගේ පැත්තට කතා කරලාවත් මගේ හොඳක් කියලාවත් නෑ . සමහර විට ඒ මම හැසිරිච්ච විදිහ නිසාද මන්දා

    එක දෙයක් කියන්නම් බං තරහා වෙන්න එපා ..මම දන්නවා උඹ එහෙම මල පයින එකෙක් නෙවේ කියලා

    උඹ කැම්පස් එකෙක් .. ඒ කියන්නේ උඹ ඉස්කෝලේදී හොඳට ඉගන ගත්තා ..ඒ නිසා උඹට ගුරුවරු ආදරෙයි ..

    මම පන්තියේ විසි තිස් ගනං බං හැමදාමත්.. ඕකයි මම ගුරුවරුන්ගෙන් ආදරක් ලැබුවේ නැත්තේ !

    උඹ මචං දක්‍ෂයා ..ලබන ආත්මේ වත් උඹ වගේ මමත් වාසනාවන්ත වෙවා !!

    ReplyDelete
  8. @Y2K:-හා හා කට කට... ඉස්කොලේ නම එහෙම කියන්න එපා යකෝ.....

    එලනේ බං සිරාවට එකෙක් දෙන්නෙක් ඇරුනම ගොඩාක් අය හොඳයි.... ඩඩ්ලි සර් අපිටත් ඉගැන්නුව 8 වසරදි... අයිස් පප්පා... ඒ උනාට පාඩම් ටිකත් වෙලාවට කලාවට කලා මචෝ

    .....................................................................................................................................................................

    @හිස් අහස:- ඔන්න ඔන්න ඉතින් උඹ මට මළ පන්නව ගන්න හදනවා... මචෝ උඹ දැන් කියන්න හදන්නේ මම දක්ශයි උඹ අදක්ශයි කියලා නම් අම්මපා මම ලඟ හිටියනම් අනිනවා බොට හිල් වෙන්න ටොක්කක්...

    ඈ බොල යකෝ එකෙක් කැම්පස් ගියා කිව්ව පමනින් ඌ දක්ශයෙක් වෙන්නේ කොහොමද බං.උඹේ තක්සේරුව ඉතාමත් ම වැරදි...

    යකෝ මිනිහෙක්ට ජිවත් වෙන්න තියෙන්න ඕනා මනුස්සකම මිසක් උගත් කම නෙමෙයි.ඒකයි උගත් මෝඩයෝ අද ලංකාවේ ගොඩාක් ඉන්නේ.

    උඹ අදක්ශයි කියල උඹ කියාගත්තාට මම අද එකක් කියන්නම් මගේ පපුවෙන්ම කියන එකක් මේක "මම බ්ලොග් අවකාශයේ දැක්ක ලස්සනම අව්‍යාජම ඒවගේම විශිෂ්ඨම බ්ලොග් එක උඹේ.

    "හිස් අහසට" ගහන්න පුලුවන් එකෙක් මේ මුලු බ්ලොග් අවකාශයේම නැහැ.ආයේ එන්නේත් නැහැ.කොහොමද එහෙම උනේ.උඹේ මුලු බ්ලොග් එක පුරාවටම තියන හැම වචනයක් ගානෙම තියෙන්නේ උඹෙ අව්‍යාජකමයි, මනුස්සකමයි..

    එහෙව් එකේ තව මොනාඩ බං මනුස්සයෙක්ට තියෙන්න ඕනා.. මනුස්සයෙක් කියන්නේ මිනිස්සු දින්න කෙනෙක්... අපි හැමෝටම වඩා උඹ ඒ දෙය කරලා ඉවරයි.. එහෙව් එකේ කොහෙද උඹේ අදක්ශ...

    මචෝ තමන් තමන්වම අවතක්සේරු කරගන්න එපා.මේ ලෝකේ හොඳට ජීවත්වෙන කිසිම මිනිහෙක්ට කවදාවත් අසාධාරනයක් කරන්නේ නැහැ.

    බොට කියන්න ගුරුවරු 2-3න් දෙනෙක් ඇරුනහම අනික් ඔක්කොම මුලු ඉස්කොලේම හිටියේ මටත් හිනා වෙන්න බලාගෙන අන්තිමට උන් උන්ටම හිනා උනා මම හොඳට හිටි නිසා... මචෝ යුතුකම් ඉ‍ටු කරලා කොච්චර පජාත උනත් දවසක අපිට ඒකෙන් සැනසුමක් ලැබෙනවා.

    උඹේ වයස තාම 21.යකෝ අවුරුදු 21ට කොහොමද බං එකෙක් අසාර්ථක වෙන්නේ.මේ අහපන් මමයි ප්‍රාර්තනා කරන්න ඕනේ ලබන ආත්මේ උඹ වගේ මිනිස්සුන්ගේ හිත් දිනාගන්න පුලුවන් එකෙක් වෙන්න මට වාසනාව ලැබේවා කියලා....

    මේක හොඳට මතක තියාගනින්.. "කුසගිනි හැදුනට ඉඳුල් නොකව් - තණ කොල නුබුදිති සිංහ පැටව්" උඹ සිංහයෙක් සිංහයෝ කවදාවත් ජීවිතේ පරාජය බාරගන්නේ නැහැ...

    ReplyDelete
  9. ඒ ගුරුවරියත් මලයා අනිත් උන් වගේ උඹට බැන්නනම් හරි කට කැඩිච්ච කතාවක් කිව්වනං හරි මේ පෝස්ට් එක මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුනා .........

    ඇත්තටම හොඳ ගුරුවරියක් .......

    අශාන් කියන එකා මහ පී ඩයල් එකක්නෙ, මම එහෙම නම් කරපු එකාගේ කන පැලෙන්න දෙකක් දෙනවා මිසක් මිස්ලා, සර්ලට කියන්න යන්නෙ නැහැ ..........

    ReplyDelete
  10. @පන්සල් හංදිය:- ඒ ගුරුවරියක් නෙමෙයි අයියා මගේ මොකක්ද ලොකු පිනකට පහල උනු දෙවි කෙනෙක් මට නම්...

    මම ගොඩාක් මුරණ්ඩු කෙනෙක් අයියා.. ඒ ගුරුවරියත් මට එදා බැන්නා නම් අද බ්ලොග් ලියන්නවත් එකෙක් නැති වෙන්න තිබ්බා බං......

    අශානයා කලේ ඔය වගේ කොන්ද පන නැති වැඩම තමයි බං.....

    ReplyDelete
  11. මේක කියෙවුවාම මටත් ඇඩෙන්න වගේ බං.. මගෙත් හිටියා මේ වගේ මැඩම්ලා දෙන්නෙක්. ජීවිතේම වෙනස් කරපු...

    ReplyDelete
  12. මචන් හැම ඉස්කෝලෙකම පෙන්නන්න බැරි ගුරු හොරු වගෙම. රත්තරන් වටින ගුරුවරු ඉන්නව... අනිවා.. ඒ වගෙ ගුරුවරුන්ට මල් තියල වදින්න ඕනෙ .. ජය...

    ReplyDelete
  13. ගුරු භක්තිය බොහොම අගේ කලයුතු ගුණයක්.. ඒ වගේම පවා නොදීමත් හොඳ ගතියක්.. ඒ වෙලාවේ එලියට ඇවිත් වගකීම බෙදා නොගත් උන් නම් හොඳ යාළුවො කොඉයල කියන්න බහ.
    එයි.. මම උඹට කීපාරක් කිවුවද අය්ය කියන්න එපා කියල ? මට අන්කල් කිවුවත් අය්ය කිවුවත් නිකම්ම ජයය කිවුවත් සරත් කිවුවත් එකයි.. හරිද ? සීය කිවුවොත් මගේ පොඩි එක උඹව හොයන් ඇවිත් දඬුවමක් දෙයි..

    ReplyDelete
  14. ඇත්තට ඔය වගේ ගුරුවරු ලබන්නනම් පින් කරල තියෙන්නේ ඕනේ.

    මචං ඩොන්ගල් එක මස් කරල, දවස් 2ක් 3ක් විතර හොඳට වේලපන්. ඕක වැඩ කරන්න පුලුවන්. මම ඕක පෙන් එකකට සහ මොබයිල් දෙකකට කරල තියෙනවා..

    ReplyDelete
  15. @චතුවා (ළමයා) :- එහෙම තමයි බං..ගොඩාක් උන්ගේ ජිවිත හදලා තියෙන්නේ දෙවිවරු වගේ ගුරුවරු....

    ...........................................................................................................................................................................

    @Gayan Rupasinghe:- අනිවා මල් තියලා වදින්න නෙමෙයි බං අපේ පණ උනත් දෙන්න වටිනවා ඒ වගේ ගුරුවරු වෙනුවෙන්....

    ........................................................................................................................................................................

    @සරත් ලංකාප්‍රිය:- ඔව් එතනදි උන් පැත්තකට වෙලා හිටියා.ඔය වගේ පෝරියල් නිසා මම දැන් වැඩිපුර මම කියන චරිතය මුල් කරගෙනයි වැඩ කරන්නේ...

    හරි හරි අයියා තමයි බං පොඩි ආතල් එකක් දුන්නේ.. අයියා කියන්න වයස ප්‍රශ්නයක් නැහැ....

    .......................................................................................................................................................................

    @තාරක Dilsh@n:- ඔව් බං ඒ වගේ ගුරු වරියක් ලබන්න මම ගොඩාක් පින් කරන්න ඇති... වැඩක් නැහැ බං මම මැශින් එකට ගහපු නිසා තෙතත් එක්ක සර්කිට් පිච්චෙන්න ඇති... :(

    තවම තියනවා ට්‍රයි කරලා බලමු තැන්කූ මචෝ....

    ReplyDelete
  16. ගුරුවරු කියන්නෙ අපේ දෙවැනි දෙමව්පියෝ වගේ බං! පඩියට ඉගැන්නුවට තමන්ගෙ ළමය ගැනවත් බලන්නෙ නැතුව ඉස්කෝලෙක ඉන්න ළමයින්ගෙ ජීවිත ගැන හිතනවා වෙලාවකට. ඇත්තටම ගුරුවරු විශිෂ්ටයි බං!

    ReplyDelete
  17. අපරාජිතයා ඇත්තටම අපරාජිතයෙක් වෙලා තියෙන්නේ මේ ගුරුවරිය හින්දයි එහෙනම් :) මෙහෙම කෙනක් ගෙන් ඉගන ගන්නත් පින් කරන්න ඕන කියලයි මට හිතෙන්නේ...මටත් මේ වගේ ගුරුවරු දෙතුන් දෙනෙක්ම උගන්නල තියනවා...

    ReplyDelete

වචනයක් හරි ලියන්න හිතෙන්නේ ඔය ගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හරි දිරිමත් කිරීමක් හින්දයි.....
කරදරයක් නැතිනම් විතරක් සවියක් වෙලා යන්න.........