Friday, July 29, 2011

රෝස පාටට චූ කරලා තියනවාද..??


මාතෘකාව කියවල වල් මොනා හරි වෙන්න ඇති කියලා මේ පැත්තට දුවන් ආපු එවුන්ටයි මේ කියන්නේ මේකේ කිසිම කුනු හරුපයක් නැ‍තෝ.

ඒ නිසා කැමතිනම් විතරක් කියවහල්ලා පස්සේ අපේ අම්මාට කිමුහුම් යවවන්නේ නැතිව..

මේක කියවන බොලාට මතකද බොම්බයි මොටයි සහ නයිස්.සිලිං සිලිං ගගා පොඩි බෙල් එකකුත් එක අතක
තියන් වන වනා පාරක් පාරක් ගානේ පොඩි යකඩ තහඩු වලින් හදපු පෙට්ටියකුත් අතින් එල්ලගෙන යන බුවාලා හිටපු කාලයක් තිබ්බා.බොලාට මතකද.?

තහඩු පෙට්ටිය වටේට ලොකු ශොපින් බෑග් එකක පත්තර කොළයි,පොඩි සිලි මලුයි, තව එකක පපඩම් වගේ ලොකු රවුම් වගේකුයි විකුන විකුන යන උන්දලා හිටපු කාලයක් තිබ්බා..

බුවාලට තමයි අපි බොම්බයි මොටයි වෙළෙන්දෝ කියලා කිව්වේ.මම නම් මතක ඇති කාලෙකින් එහෙම බුවෙක්ව දැක්කේ නැහැ අපේ ගෙවල් පාරෙන් යනවා.

බුවාලා ලඟ තියන යකඩ තහඩු පෙට්ටිය ඇතුලේ තියනවා පුලුන් වගේ රෝස පාටට කෙඳි කෙඳි වගේ එව්වා වගයක්.

එව්වා පැණිම පැණි රසයි.ඒ කෙඳි කෙඳි අතරේ ටිකක් මහත කූරු කූරූ වගේ කෑලිත් තියනවා. මම නම් වැඩියෙන් ආසා කලේ බොම්බයි මොටයි වල ඔය කූරූ කන්න.

එව්වා ඉස්සර රුපියලට,දෙකටත් දුන්නා.පහට දහයට විස්සට වගේ ගනන් වලටත් දුන්නා.රුපියලට දෙකට දෙන කොට නම් දුන්නේ පොඩි පත්තර කෑල්ලක ඔතලා.

පහට දහයට විස්සට වගේ දෙනකොට නම් පොඩි සිලි උරේක දාලා දෙනවා.ඉතින් ගත්තු වෙලාවේ ඉඳන් අක්කයි මායි හෙන වලි බොම්බයි මොටයි බෙදාගන්න.

පස්ස කස කසා, හො‍ටු හූර හූරා,කබ කඩ කඩා, පාරෙ තියන කුණු ඇහිඳ ඇහිඳ ආපු අතින්ම අල්ලලා බොම්බයි මොටයි දෙන නිසා වෙන්න ඇති එව්ව එච්චර රස කියලා මට ඒ කාලේ තේරුනේ නැහැ නොවෑ.

කොහොම හරි බුවාලා ගාව තව තියනවනේ රවුම් ලොකු කඩදාසි වගේ නිකන් පපඩම් ස්වරූපයේ ජාතියක්.

මෙලෝ රහක් නැති කඩදාසි කනව වගේ කටෙ තිබ්බ ගමන් දිය වෙලා යන ජාතියක්.එවා වලට තමයි නයිස් කිව්වේ.

ඉතින් බොම්බයි මොටයි විකුනන වෙළෙන්දෙක් ගහන බෙල් එක ඇහුනොත් තියන මල පෙරේත කමට අම්මටත් වද දීලා රුපියල් පහක් විතර අරන් එලියට බහිනවා.

මේ කිව්වේ රුපියල් පහටත් ලන්කාවේ තැනක් තිබ්බ කාලේ ගැනයි.දැන් ඉන්න එව්වෝ රුපියල් පහක් කියන එක පඩේකට ගනන් ගන්නේ නැහැනේ.

හිඟන්නෙකුටත් රුපියල් පහක් දුන්නෝත් ඌත් ඔරවලා පහ වෙනුවට අපිට රුපියල් දහයක් අපේ අතට දීලා මහත්තයා මේකත් අරන් ටිපිටිප් එකක් කන්න කියාවි.

ඔන්න ඔහොමයි පුල්මුඩේ තත්වේ.කොහොම හරි මේ කියන්න යන සිද්දිය උනේ අපරාජිතය පොඩි එකා කාලේ.

ඔන්න දවසක් ඔහොම බොම්බයි මොටයි විකුනන මනුස්සයෙක් එනවා.බෙල් එකේ සද්දේ බොම්බයි මොටයි පෙරේත අපරාජිතයට හීනෙන් වගේ ඇහුනා.

දැන් ඉතින් මාව නලියනවා.කරුමෙට අම්මා ගෙදර නැහැ සල්ලි ඉල්ලගන්න.එදා මම විතරයි ගෙදර.අක්කත් පන්ති ගිහිල්ලද කොහෙද හරියට මතක නැහැ කොහොම හරි මං විතරයි ගෙදර.

දැන් සල්ලි ඉල්ලගන්නවත් කවුරුවත් ගෙදර නැහැ.මොනවා කරන්නද.ඔය අතරේ තමයි මට මගේ කැටේ මතක් උනේ.

මම පොඩිකාලේ ඉදන්ම තිබ්බ මගේ ප්ලාස්ටික් සල්ලි කැටේ සල්ලි දාන කට ටිකක් රත්කරපු යකඩෙකින් පුච්චලා තියාගෙන හිටියේ.

මොකෑ මට පොඩි කාලේ ඉඳන්ම පීනස තිබ්බ නිසා ගෙදරින් අයිස් පැකට් කන්න වගේ වැඩ කරන්න ප්‍රතිපාදන ලැබුනේ නැහැ.

එච්චරට මාව පරිස්සම් කොරන්නමයි ට්‍රයි කොලේ.එව්වා කොහෙද මාත් එක්ක.ඉතින් ඕනා ප්‍රතිපාදන සකස් කරලා අයිස් කන්න වගේ ගෙදරින් අනුමැතිය නොලැබුනු හොරාට කරන වැඩ කොරන්න සල්ලි සකස් කර ගත්තේ කැටේ කටින්ම ආයේ සල්ලි අරන්.

ඇත්ත කියන්න එපාය.මොකෑ මම ජිවිතේ මේ වෙනකන් කවදාවත් අපේ අම්මගේ වත් තාත්තගේ වත් පර්ස් වලින් හොරෙන් සල්ලි අරගෙන නැහැ මගේ ඇස් දෙක පල්ලා ඇත්ත.

තාත්තම සමහර දවස් වලට මට ඕනා සල්ලි පර්ස් එකෙන් ගන්න කියල තියනවා.අම්මත් එහෙමයි.එහෙම කිව්වම මට ඕනෑ ගානට වඩා සතයක් වැඩිපුර අරන් නැහැ.

හැබැයි ඉස්කොලේ යන කාලේ තාත්තට හොරෙන් සීසන් එක අරගෙන හැමදාම බස් එකේ යන්න එන්න සල්ලි නම් ඉල්ලගෙන තියනවා.

පැය ගනන් තැප තැප C.T.B බස් එකක් එනකන් ඉඳලා එහෙම කලේ හැම දාම යන්නයි එන්නයි රුපියල් 20 ක් ඉතුරු කරගන්න.

ඒකත් මට වැදගත් දෙයක් ගන්න ඕනෑ තාත්තට කරදර කරන්න බැරි එව්ව වලට සල්ලි හොයා ගන්න.දැන්නම් ඒ රුපියල් 10 යේ දුර රුපියල් 20ක් වෙලා.

කොහොම හරි මම රුපියල් පහේ කාසි 2කක්ම අරගත්තා රුපියල් 10කම අද ඇති වෙන්න තනියම කනවා කියලා.

කොහොම හරි ගිහින් මම බුවාට සල්ලි දිලා ගත්තා බොම්බයි මොටයි.පස්සෙ මල්ල අරන් ඇවිත් කන්න ගත්ත හෙමිහිට.

කන ගමන් ඉස්සෙල්ල කලේ තිබ්බ කූරු කූරූ කෑලි ‍තෝරපු එක.අම්මට බොල සිලි උරේ අස්සෙ මෙන්න හෙන පත පැන්සලක් තරම් මහත මොටයි කූරක් තියනවා මෙන්න.

රතුම රතු පාටයි.මටත් හෙන මැජික් ඇයි කන්න ආසාම කූරුනේ.දැක්ක ගමන් පැනලා අරන් කූර කෙලවරක ඉදන් කන්න ගත්තා.

ඒක දිගත් සෙන්ටිමීටර් 10 විතර තිබ්බා.. කාපු ගමන් ආවෙ මහ එපාම කරපු ලුණු රසයක්.ඒත් මගේ තිබ්බ පෙරේත කමටම ඒක ඉවසන් කෑවා.

මොකෑ ඉතින් රෝස පාට පූසෝ වඩා ගත්තමත් කට සෝස පාට උනත් දත් බුරුසුව අතට දෙන්න දැන් කාලේ වගේම අම්මිලා හිටියනේ(ලන්කාවේ මේ දවස් වල යන දත් බෙහෙත් ඇඩ් එකක් ගැන කිව්වේ).

ඒක එතනින් ඉවරයි හොඳම සෙල්ලම පටන් ගත්තේ පහුවෙනිදා උදේ ඉඳන්.හුටා මම ඉතින් පුරුදු විදිහට ගියා චූ කරන්න.

ගිහින් ඔන්න අල්ලන් ඉන්නවා මෙන්න යකෝ ටිකකින් යන්න ගත්තා කියහන්කෝ තද රෝස පාටට.

මාව දැක්ක ගමන් අම්බානෙකට බය උනා.ඇයි බොලේ වෙනදට එක්කො සුදු පාටට,නැත්නම් කහ පාටට යන එක අඩ තද රෝස පාටට යනකොට කොහොමද ආතල් එක.

බය උන පාරට මම ගිහින් අම්මටයි තාත්තටයි කිව්වා.එයාලත් අම්බානෙකට බය වෙලා එසැනින් මාව ගෙවල් ලඟ ඩොකී නෝනා ගාවට එක්ක ගියේ නැතැයි.

අම්මට බොල එයත් බය වෙලා මට මොනාදෝ මන්දා බෙහෙත් වගයක් දුන්න බීපන් කියලා.කොහොම හරි මමත් ගිහින් බිව්වා.

අඩුවක් නැහැ යන යන සැරයක් ඇත්නම් යන්නෙම තද රෝස පාටට.කොහොම හරි ඒ ඉස්කොලේ වාර නිවාඩු කාලයක් මතක හැටියට.

බැරිම තැන අම්මලා ****වේ විශේෂඥවෛද්‍යය වරයෙක්ව අල්ලලා එක්ක ගියා.පොර විස්තර අහලා කිව්වා මුත්‍රා සාම්පලයක් අරගෙන රිපෝර්ට් එක අරගෙන එන්න කියලා.

කිව්ව වගේම හෙන පොඩි කුප්පියක් දුන්න මේකට චූ කරන්න කියලා.කටත් පොඩී.චූ කරන ගිහින් අස්සේ හිර උනානම් මගේ අනාගතෙත් අඳුරුයිනේ.

අනික ඒ පොඩි එකා කාලේනේ :පී. ඉතින් බොහොම අමාරුවෙන් චූ කරලා දුන්න.පස්සේ ආපු රිපෝර්ට් එකත් අරන් ගියා ඩොකා ගාවට.

ඒක බලලා ඩොකා කියනවා රිපෝර්ට් එකේ නම් කිසි අවුල නැහැ පුතා මොන හරි කලරින් දාපු දෙයක් ඊයේ පෙරේදා දවසක කෑවද කියලා.

අම්මට බොල මට එතකොටයි මීටර් උනේ මම ගෙදරට හොරා බොම්බයි මොටයි කෑවනේ කියලා.අනික අර කාපු පට්ට ලුනු රසයක් තිබ්බ කෝ‍ටුව වගේ ලොකු කූර.

මට ඒක ඒ වෙනකන් මතක් උනේ නැහැ.කව්ද යකෝ ඕවා හිතන්නේ පොඩි කාලෙ ඉදන්ම ගිය එව්ව වල පාට එක පාරටම මාරු වෙලා තද රෝස පාටට යන කොට.

පස්සේ මම එතනදි සිද්දිය කිව්වා.කිව්වම ඩොකා හිනා වෙලා ආහ් පොඩි කමට කොරන එව්වනේ.මේ එහෙනම් ඒක නිසා තමයි හොඳට වතුර බොන්න දවසකින් විතර අඩු වේවි කිව්වා.

කොහොම හරි ඒ දෙවනි දවස.පස්සෙ ඉතින් ගෙදර ආවා.මම චූ කරනවා එක්කො අම්ම නැත්නම් තාත්තා
බලන් ඉන්නවා පාට මොකක්ද කියලා.

බොම්බයි මොටයි කැවනම් විඳෝපන් බළලෝ කියල හිතන් මාත් විලි ලැජ්ජාවේ චූ කරනවා.අන්තිමට තුවෙනි දවසේ හවස් වෙද්දී ටිකක් පාට අඩු වෙලා ලා රෝස පාටට ගියා.

පහුවෙනිදා වෙන කොට ඒ කිව්වේ හතර වෙනි දවසෙ හවස් වෙන කොට නැවත පුරුදු පාටට හැරුනා.අන්න ඒ වෙලාවේ තමයි මට සැනසිල්ලක් ආවේ.

ඇයි යකෝ මොකක් හරි වෙන අසනීපයක් කියලා ඕක කැපුවොත් එහෙම මං විනාසයිනේ ඒකයි.

අන්තිමට කාලයක් යනකන් බොම්බයි මොටයි වෙලෙන්දෙක් ගියත් ඒ පැත්තවත් බලාගේන බත් කෑවෙ නැහැ මම.

හැබැයි අපේ අක්ක මට පට්ට කින්ඩි දදා පෙන්න පෙන්න කැවනේ බොලව්.මතක ඇති කාලෙකින් බොම්බයි මොටයි කෑවෙ නැහැ නොවෑ.හොයාගෙන කන්න ඕනා.

හම්බුනේ නැත්නම් Candy Floss එකක් වත් කන්න ඕනා.පිටරට ඉන්න අයියලට අක්කලට බොම්බයි මොටයි
මතක් කලාය කියලා මට බනින්න එපා.

Candy Floss එකක් අර කන්න ආසා හිතුනනම්.ඒත් කන්න නැත්නම් මම පහලින් දාලා තියන පින්තුර දිහා බලලා කෙල ටිකක් ගිලලා යන්න :ඩී.

ඔන්න ඔහොමයි අපරාජිතයා රෝස පාටට චූ කලේ.ඔයාලට මෙහෙම සීන් එහෙම වෙලා නැද්ද..තියෙනම් කියමුකො බලන්න පහලින් පොඩි කමෙන්‍ටු පාරක් දාලා.

 

Friday, July 22, 2011

ගුරුවරියක් වෙනුවෙන්...


ගොඩ දවසකින් මොකුත් ලියන්න හම්බුනේ නැහැ නොවැ.මොනවා කරන්ද මම අන්තිම පොස්ට් එක දාපු දවසට පහුවෙනි සතියේ සෙනසුරාදා ඉස්කෝලේ අතිජාති මිත්‍රයොත්එක්ක සෙට් උනා නොවැ.

එදා පොඩි යාලුවෙකුගේ වැඩකට මගේ ඩොන්ගල් එක අර ගෙනයි ගියේ.ඒකට හේතුව මගේ කනෙක්ෂන් එක Airtel වල ටිකක් වාසි දායක කැම්පස් Pakage එකක් නිසා.

ගියේ මගේ හොඳම යාලුවා අයේෂ් එක්ක උගෙ අතිජාත Zuzuki වර්ගයේ බයික් එකෙන්.කොහොම හරි එදා වැඩෙත් කරගෙන ආපහු එද්දි වැස්සට අහු උනා.

ඩොන්ගල් එක තිබ්බේ මගේ සාක්කුවේ.මට ඒක එච්චර ගානක් නැති උනා.

ඒත් කරුමෙ කියන්නේ කොහොම හරි ඩොන්ගල් එක ගෙදර ගෙනල්ලා බ්ලොග් එක ලියන්න හිතන් නෙට් කනෙක්ට් වෙන්න කියලා ගහලා බලන කොට වෙනදා පත්තු වෙන කොළපාට ලයිට් එක පත්තු උනේ නැහැ.

කම්පුටර් එකෙන් detect කරගන්නෙත් නැහැ.කොහොම හරි කලිසම තෙත් උන නිසා මේක ඇතුලටත් වතුර යන්න ඇති.

අපරාදේ තිබ්බේ Huwawei Safaricom ජාතියේ එකක්.බොහොම අමාරුවෙන් ඉතුරු කරලා තියෙන එව්වත් හූරලා අරන් ගත්තා අලුතින් එකක්.

ගත්තා කිව්වට ගෙන්නුවා e-bay වලින් Huawei E1750 USB 3G WCDMA adaptor Dongle Modem 7.2Mbps තමයි අලුත් එකේ වර්ගේ එල කිරි වගේ වැඩ.

මොනවා කරන්නද ලංකාවේ නිදහස් අධ්‍යාපනයට මේ දවස්වල කණ කොකා අඬලනවනේ.විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැ‍ටුප් විෂමතා ඉවත් කරන්න කියලා මාරාන්තික වැඩවර්ජනයක් තියන එක අපිටත් තදින්ම බලපාලනේ.

අනේ අපි වයසට යනවා.ඩිග්‍රිය ගනිද්දි කටේ දත් තිබුනොත් ඒ ඇති.ඒ උනාට ගෙදර නම් හිටියේම නැහැ.

යාලුවො එක්ක සෙට් වෙලා රට වටේ රවුම් ගැහුවා.කරුමෙට ඩොන්ගල් එකටත් කෙලියෙ මේ දවස් වලමයිනේ.මොනා කරන්නද Internet නොමැති ලොවක මිහිර නියමෙට වින්දා.

හොඳ වෙලාවට පෝන් එකෙන් Facebook යන්න පුලුවන් කම තිබ්බ නිසා ටිකක් විතර ශෙප් උනා.කාලෙකින් ආපු එකේ ඔන්න බ්ලොග් එකට අලුතින් තීන්ත ටිකකුත් ගාලම අලුතින් වැඩ අල්ලන්න හිතුවා.

ගොඩ දවසකින් මොකුත්ම ලිව්වේ නැති නිසා පට්ට කම්මැලියි ලියන්නත්.ඒත් ලියන එකනම් නවත්තන්නේ නැහැ.

මම නැති වෙලාවේ හොයලා බලපු දෙන්නෙක් ඉන්නවා ඉස්සෙල්ල උන් දෙන්නට ස්තුතියි කරනවා. එකෙක් අපේ රත්තරන් මාලුවා (රත්තරන් කිව්වට මූ නම් යකඩ තරම්වත් වටින එකෙක් නෙමෙයි)

අනිකා සරත් ලංකාප්‍රිය අයියා(අයියා කිව්වට මූට මගේ වයසෙ දුවෙකුත් ඉන්නවලු.අන්කල් කියලා තමයි කියන්න වටින්නේ)

උබලා වගේ යාලුවෝ ලබන්න මම ගොඩාක් පින් කරලා ඇති බං.නැත්නම් දැකලවත් නැති එකෙක් ගැන මොකටද වද වෙන්නේ උඹලා මේ තරමටම...

ඔන්න එහෙනම් අද කතාව.මේක වෙන්නේ මම 10 වසර කාලේ.මට දැන්නම් තරමක් කවි ලියන්න පුලුවන් මොකක් හරි සුන්දර දෙයක් අගයලා.

ඒක පුරුදු උනේ මිහිරි බූට් එකක් කෑවට පස්සේ හුදාකලාව තනිකමේ මිහිර විඳිද්දී.ඒත් ඔය කියන කාලේ මට කවියක් තියා රචනයක් වත් ලියන්න බැහැ.

හැබැයි එක එකාට මඩ කවිනම් නියමෙට හදන්න පුලුවන් කම තිබ්බා.අපේ පන්තියේ හිටියා එල කිරි කොල්ලෙක්.

මූට මෙතන ඉදන් අශාන් කියමු.මූ ඒ කාලේ වැඩ කලේ ඉස්කොලේ සන්නිවේදන අංශයේ.අර මතක ඇතිනේ මගේ බැජ් එක ගලවපු සිද්දියේ හිටපු විජේසූරිය සර්.

මිනිහා තමයි ඉතින් ඔය කෙහෙම්මල් අංශයෙත් ප්‍රධානියා.ඌත් නිකන් හිටියේ All rounder වගෙයි හැම මගුලක්ම බදාගෙන.

ඉතින් ඔය කියපු මගුල් අංශෙත් අපිට දුන්නේ පුදුම වදයක්.උදේ පාන්දර ඉදන් ඉස්කොලේ පටන් ගන්නකන් එක එක රටේ නැති වැල් බයිලයි,මෙලෝ රහක් නැති සින්දුයි දානවා.

කනක් ඇහිලා පාඩුවේ ඉන්න මුන් දුන්නේම නැහැ.

ඔය කියපු මගුල් අංශයේ හිටපු ශිෂ්‍යය උප ප්‍රධානියා උනේ ඔය මම කියපු අශානයා.

උගේ වැඩේම අතේ voice recorder එකක් තියාගෙන.දෙන්න ඕනා නිවේදනයි අනම් මනම් වල් බයිලයි රෙකෝඩ් කරකර ලොකුවට කෙල්ලන්ට පේන්න ඇඩ් එක දාන එක තමයි.

කොහොම හරි අපේ 10 වසර B එකේ හිටපු අපේ කොල්ලෝ සෙට් එකට මුගේ කල් ක්‍රියාව ඇල්ලුවේ නැහැ.

අපි සෙට් එක ප්ලෑන් කලා පොඩි ගේමක් දෙන්න.ඒ කාලේ අපෙ පන්තියේ මම තමයි මඩ ගහන ඒවා වලට, කෙල්ලන්ව අඬවන ඒවා වලට නම ගිය අලගිය මුලගිය එකා.

ඉතින් අපේ උන් සෙට් එකේ plane එක උනේ හෙමිහිට මූට මඩ කවි ටිකක් හදලා එවා විරිඳු විදිහට කියන ගමන් මුගේ අර රාජකීය voice recorder එකට පටිගත කරලා ශේප් එකේ තියන එක.

කවි ලියන වැඩේ මම බාර අරගෙන විරිඳු කවි 20ක් විතර ලියලා අපේ සෙට් එකට දුන්නා.ඔතන හිටියා ප්‍රසාන්,අයේෂ්,මොහොමඩ්,රුස්ඩි... වගේ මගේ අති ජාතී සෙට් එකක්.

කොහොම හරි විරිඳු කියන්න එක එකා ඉදිරි පත් උනත් අන්තිමට අපේ උන් කිව්වා මම උන්ට වඩා එලට කියනවා ඒ නිසා උන් ගහන්නම් ඩ්‍රම් එක මට ලස්සනට කියපන් කියලා.

අපි ප්ලෑන් කර ගත්තු විදිහට අශානයා පන්තියෙ නැති වෙලාවක් අල්ලලා වැඩේට බැස්සා.

ඔන්න මම දැන් අපි කලින් කතා කරගත්තු විදිහට විරිඳු කියනවා අරුන් ඩ්‍රම් ගහනවා ප්‍රසානයා රෙකෝඩර් එක අල්ලන් ඉන්නවා.

කොහොම හරි ශේප් එකේ අපි වැඩේ කරලා රෙකෝඩර් එක මොකුත් නොවුනු ගානට ඔතලා තිබ්බා අශානයාගේම බැග් එකේ දාලා.

කොහොම හරි මරුම වැඩේ උනේ පහුවෙනිදා උදේ පාන්දර.මම මොන ගස් බලු වැඩේ කලත් මට 9 වසරදි ශිෂ්‍යයනායක පට්ටමක් ලැබුනනේ කරුමෙට.

ඒක නිසා උදේ පාන්දර අපි ඩියුටි යන්න ඕනා.පාන්දර කිව්වට මම නම් ඒකාලේ ගියේ 7.25 ට විතර ඒ 8.00 ට ඉස්කෝලේ පටන් ගන්න කාලෙනේ.

කොහොම හරි අශානයා අර මගුල් සන්නිවේදන අංශයේ මයික් එක ඔන් කරලා පටන් ගත්තා ඉස්කෝලෙටම ඇහෙන්න අදෝනාව..

"සුබ උදෑසනක් ඔබ සැමට.මේ **** විද්‍යාලයේ සන්නිවේදන අංශයයි.ප්‍රථමයෙන්ම දවසේ වැඩසටහන".

ඔන්න ඔච්චරයි ගියේ ටිකකින් මට ඇහෙනවා එදා අපි රෙකෝඩ් කරපු විරිඳු කවියක් මුලු ඉස්කෝලෙම තැන් තැන් වල තියෙන ස්පීකර් වලින්.

වැඩි වෙලා යන්න උනේ නැහැ එකපාර ඔක්කොම නැවතිලා එකපාරටම මෙලෝ රහක් නැති සින්දුවක් වැ‍ටුනා.

මෙන්න ටික වෙලාවකින් අපේ පන්තියේ මගේ සෙට් එකේ එකෙක් මම ඩියුටි කල පන්තියට මාව හොයන් එනවා.
ප්‍රසාන්:- අඩෝ **** මාර සීන් එක බං.අන්න අශානයට මල පැනලා මූනත් රතු කරන් උඹව මරන්න හොයනවා. 
මම:- ඔව් බං ඊයේ අපි කල ආතල් වැඩේ සෑහෙන බර පතලයි.මේ යකා රෙකෝඩ් එක අහලා බලන්නෙවත් නැතුව හරක වගේ දැම්මනේ බං.


ප්‍රසාන්:-හොඳ වෙලාවට පිනා තවම ඇවිල්ලා නැත්තේ.වර පන්තියට අරුව ශේප් කරගන්න බලමු.
මම:- දැන් වැඩක් නැහැ බං බලමු වෙන දෙයක් වෙද්දේන්.

කොහොම හරි අශානයට මල පැනලා.රෙකෝඩර් එකේ Voice එක මගේ කියලත් අඳුරගෙන.කොහොම හරි එදා මගේ වෙලාවටද කොහෙද විජේසූරියකාරයා ඉස්කෝලේ ආවේ නැහැ.

කොහොම හරි ඩියුටි කල පන්තියේ ඩියුටි කරලා ඉවර වෙලා මම පන්තියට ගිහින් ටික වෙලාවකින් මෙන්න අශානයා පන්තියට ඇවිල්ලා මට කතා කලා


අශාන්:-*** අඩෝ පරයා අන්න තොට ඩඩ්ලි සර් කතා කලා
(ඒ කාලේ අපෙ 10 වසර පන්ති වල අංශ ප්‍රදානියා.ගොඩක් හොඳ සර් කෙනෙක්.අදටත් මම ගරු කරන කෙනෙක්)
මම:-කොහෙටද..? 
අශාන්:-10 වසර පන්ති ‍රැස්වීම් ගන්න තැනට.

මම අරුත් එක්ක ඔන්න එතනට ගියා.හුටා එතන පන්ති ඔක්කගේම ගුරුවරු සෙට් එක ඉන්නවා.

පද්මා මැඩම්(මම ජිවිතේ අම්මට පස්සේ ආදරය කරන ගුරුතුමිය.අපේ 10-11 පන්ති දෙකේම පන්ති භාර මැඩම් තමයි)

වන්නිආරච්චි මැඩම් (මගේ ලොකුම මුට්ටියක්.9 වසරෙදි අපිට සමාජ අධ්‍යයනය කලා.මගේ සිතියම් ඇඳීමේ හැකියාව හොඳයි කියලා මැඩම් මා එක්ක මාර ‍ෆිට් එකේ උන්නේ)

මොරින් මැඩම්(මගේ අම්මගෙයි තාත්තගෙයි හොඳ ලඟම යාලුවෙක්)

මාලනි මැඩම්(අපේ අක්කගේ ලොකු මුට්ටියක්.මල්ලි නිසා මාවත් දන්නවා.මහත්තයා අපේ තාත්තගේ යාලුවෙක්)

ෆ්‍රැන්කා මැඩම්, ඩඩ්ලි සර්.. මගේ පටි අම්බානෙකට රෝල් වෙන්න යන්න කියලා මට සෙට් එක දැක්කම චූ බර හැදුනා.

දැන් ඩඩ්ලි සර් මගෙන් ප්‍රශ්න කරනවා.අශානයා කේලම් අගිස්සනවා.මැඩම්ලා සෙට් එකත් කම්මුල් වලට අත තියාගෙන මන් දිහා බලාගෙන.

එයිට හපන් ඔක්කොම මගේ පැත්ත හැරිලා මට පිටි පස්සෙන් පේනවා අපේ සෙට් එකේ උන් එකා දෙන්නා එතනින් මං දිහා බල බල එහා මෙහා යනවා.

අන්තිමට මගෙන් ඇහුවා "වැ‍රැද්ද පිලිගන්නවාද" කියලා.මොනා කියන්නද මම කිව්ව "ඔව් මම පිලිගන්නවා" කියලා.

පස්සෙ මගෙන් ඇහුවා සර් "කව්ද මේකට වෙන සම්බන්ධ" කියලා.මම මොකක් කලත් කවදාවත් කාවවත් පාවලා දෙන්න කැමති නැහැ.

මම කිව්වා "කවුරුත් නැහැ මම විතරයි කලේ" කියලා.

පස්සේ සර් මට කිව්වා "මට තමුසෙට දඬුවම් කරන්න බැහැ තමුසේ ශිෂ්‍යය නායකයෙක් නිසා ආයේ මේ වගේ වැඩ කරලා අහු වෙන්න එපා" කියලා.මම "හා" කිව්වා.

ඒ අස්සෙ මට ඇහෙනවා

"අයියෝ මේ ළමයා හොඳ ළමයෙක් 9 වසරෙදි මම දෙන වැඩ සිතියම් ලස්සනට අඳින හොඳම ලමයා.නරක යාලුවන්ගේ ආශ්‍රයට වැටිලා" ඒ වන්නිආරච්චි මැඩම්.

"මේ ළමයගේ මුලු පවුලම මම දන්නවා.අනිකා ඉංග්‍රීසි ඉගෙන ගන්න 4 වසරේ ඉඳන් ගෙදරින් එවන්නේ මං ලඟටනේ.**** ඇයි මේ වගේ දෙයක් කලේ..??" ඒ මොරින් මැඩම්.


"මේ ළමයගේ අක්කා හරී හොඳයි.අම්මා තාත්තත් හරි හොඳයි.ගිය අවුරුද්දේ මගේ පන්තියේනේ හිටියේ.ඒ කාලේ හොඳට හිටියනේ".ඒ මාලනී මැඩම්".

"ළමයින්ගේ වැරදි වලට වග කියන්න ඕනේ ඉතින් අම්මලා තාත්තලා තමයි" ඒ ෆ්‍රැන්කා මැඩම්.

ඔය ඔක්කොම ඇනුම් පද කියද්දි කිසිම සද්දයක් නැතුව අහගෙන හිටපු එක්කෙනෙක් හිටියා.. ඒ මගේ පන්තිභාර පද්මා මැඩම්.කොහොම හරි කට්ටිය විසිරිලා ගියා.

මායි අශානයයිත් පන්තියට ගියා.මෙන්න ටිකකින් පද්මා මැඩම් පන්තියට ආවා.අපිට මුල් පීරියඩ් දෙක තිබ්බේ ගණිතය.මැඩම් කණ්නාඩි දානවා.

ඒත් මැඩම්ගේ සුදු කම්මුල් දෙක දිගේ කඳුලු කැට වැක්කෙරෙනවා මට පෙනුනා.විමසිල්ලෙන් බලද්දි මැඩම්ගේ ඇස් දෙක කඳුලු වලින් පිරිලා.

මැඩම් මන් දිහා බලලා මට කතා කලා.මම ඉදන් හිටි එකෙන් නැගිටලා හිටගත්තා.මැඩම් කිව්ව වචන ටික අදටත් මගේ පපුවේ කෙටිලා තියනවා.

" **** මම ඔයා ගැන කවදාවත් අනුන්ගෙන් මෙහෙම දේවල් අහන්න බලාපොරොත්තු උනේ නැහැ දරුවෝ".

මැඩම් එහෙම කියන ගමන් ඇස් දෙකෙන් කඳුලු කැට වැක්කෙරෙනවා.පන්තියේ කෙල්ලො මට ඔරවනවා.

මොනවා කරන්නද ඇත්ත කියන්න එපාය මමත් මැඩම්ට කියපු වචන ටික අදටත් ආරක්ශා කරනවා.

"මැඩම් මැඩම් මගේම මගේ අම්ම වගේ.මම මගේ අම්මට පොරොන්ඩු වෙනවා කියලා හිතන් පොරොන්දු වෙන්නම්.ආයෙ ජීවිතේ කවදාකවත්ම මම නිසා මැඩම්ට කාගෙන්වත් එක එක දේවල් අහන්න මම ඉඩ තියන්නේ නැහැ මැඩම්" 

ඔච්චරයි මට කියාගන්න පුලුවන් උනේ මම මුලු පන්තියටම ඇහෙන්න ඉකි ගගහා ඇඬුවා.ඒ වගේම අදටත් මම නිසා මැඩම්ට කාගෙන්වත් බැනුම් අස්සවන්න ඉඩ තියලත් නැහැ.

අද මම ඉන්නෙ කොතනද... ඒ ඉන්න තැන ඉන්න මට අද කකුල් දෙකට හයිය ලැබිලා තියෙන මගේ මුලු ජීවිතේම වෙනස් කල ඒ දවස එදායි...

පද්මා අභයවර්දන මැඩම් වගේ ගුරුවරියක් නොහිටින්න අද මම අමුම අමු රස්තියාදුකාරයෙක් වෙන්න තිබ්බා..

ඒත් අද මම ඉන්න තැන ඉන්න එකේ සම්පූර්ණ ගෞරවය අම්මා තාත්තා ඇරුනහම ලැබෙන්න ඕනා එකම එක්කෙනා මගේ දෙවනි අම්ම කියලා මන් සලකන මැඩම්ට විතරමයි.

මැඩම් මම දන්නවා ඔබතුමිය මේ බ්ලොග් එක කියවන්නේ නැති විත්තිය.

ඒත් මගේ මුලු ජිවිතේ තියනකන්ම මම මැඩම්ට ගොඩාක් ණයගැතියි..මගේ ආයුෂත් අරන් මැඩම් බොහෝ කාලයක් ජිවත් වෙන්න ඕනා....