Wednesday, February 16, 2011

හමුවීම සහ හැරයාම....

මම එච්චර කවි කාරයෙක් නම් නෙමෙයි.පොඩි කාලේ නම් මතක විදිහට එක එකාට මඩ කවි සම්පාදනය කරලා නම් තියනවා.එව්වා නිසා එක එක පෝරියල් කාලත් තියෙනවා.එව්වා වෙලාව ලැබෙන ලැබෙන විදිහට කොටන්න කියලයි හිතාගෙන ඉන්නේ.බලමුකෝ...

කලින් දවසක මම දාපු පෝස්ට් එකෙන් කිව්වනේ කෙල්ලෙක් කියල කෙනෙක්ට ආදරය ඇති වෙලා එයාව සෙට් කර ගන්න කලින්ම වෙන ගොබිලෙක් ඇවිත් එයාව ඩැහැගෙන ගියාය කියලා.කියෙව්ව නැති අය ඉන්නව නම් මෙන්න මෙතන කොටලා "හිමි නොවූ ආදරය" කියවන්නකෝ.

ඊට පස්සේ දවසක මං කිව්වනේ මගේ කාලකන්නි ආදරයෙන් ලැබුණු රාජකීය බූට් එක කාල හරියටම අවුරුද්දක් උන දවසේ ඒ ආදර සන්තාසියේ යට ගියාව. ඒක කියෙව්වේ නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතන කොටලා "මා හැර දමා ඈ ගියා" පෝස්ට් ඒක කියවන්නකෝ.

ඔන්න ඉතින් මං වගේ ජිවිතේ පරාජයන්ගෙන් විතරක්ම  අපරාජිත වුනු අපරාජිතයා ප්‍රී බූට් කාල තියෙනවා, කෑලි දාගෙනත් තියෙනවා,උන්ගෙන් බූට් කාලත් තියෙනවා.ඔය විදිහට ජිවිතේ ගලාගෙන යද්දී ඉස්සෙල්ලම හිතට ආදරේ දැනුනම කෙල්ලෙක් ගැන හිතුනම ලියපු මඩ කවි රීප්ලේස්  උනා නොවැ ආදර බර කවි කොටන්න අර ගත්තු එකෙන්.

ජිවිතේ කියන්නේ වෙලාවකට සතුට දෙන දෙයක් ආදරේ දැනෙන කොට ලියනවා ආදර බර කවි.මම පහලින් ලියන්නේ මම කෙල්ලෙක්ට කියලා ඉස්සෙල්ලම ලියපු කවිය.ඒක ලිව්වේ හිමිනොවූ ආදරයේ එන මධුෂිකාට නෙමෙයි.මා හැර දමා ඈ ගිය පෝස්ට් එකේ එන ශෂිනිට.

සමහට විට මේක කියෝන උබලට මෙලෝ රහක් නැති වෙන්න ඉඩක් නැත්තෙත් නැහැ.මෙන්න මේකයි මම ඉස්සෙල්ලම ලියපු එක.



"දැකුමට ඔබේ රුව 
නලියයි නෙත සෑම දින...
ඇසුමට ඔබේ නද 
දඟලයි සවන සැමවිට...
ගෙවන පැය ඔබ අසල 
ගෙනදෙ  මිහිරක් සිත තුලට...
ඔබ මගේම කර ගන්න
ලැබේනම් මතු දිනෙක.....
නෙතද,සවනද සිතත් සමගින්
සැනසේවි  එම දිනයේ නිසැකවම..."


ඊට පස්සේ ඉතින් දිගටම ලිව්වා ලව් කවි.ඊට පස්සේ ඉතින් මට ලොකුම වංශෙන් වැදුනානේ රාජකීය බූට් එකක්.ඊට පස්සේ ආයේ මූඩ් මාරු උනා.

හිතේ ගලපු දුකට ලියන්න ගත්තා බූට් කවි.එව්වත් ඉතින් මෙලෝ රහක් නැද්ද කියන්න නම් මම දන්නේ නැහැ.පහලින් දාන්නේ මම සශිනිගෙන් කාපු බූට් එකේ දුකට ඉස්සෙල්ලම ලියපු විරහ කවිය.(කවියක් කිව්වට කවියක් වගේ එකක් කිව්වට කමක් නැහැ බොලව්)


දුක් වේවි ඔබ දිනෙක
මා අතැර ගිය පවට
වැලපේවි නිසැකවම
වියෝ ආදර නදට
කිසිවෙකුත් නැත මෙලොව
මා තරම් ඔබේ හදට
යලි ඒවි නිසැකවම
එය පසක් වූ කලෙක....
දහසකුත් කදුළු පොදි
වගුරුවා සයන මත
දැඩි කලෙමි දිරි අරන්
බිඳී ගිය මගේ හද
සැනසීම අත ලගය
මා තැනූ ඔබ නැතිව 
එපා යලි පැමිණෙන්න
සසර සරනා තුරුම.... 

මිනිහෙක්ගේ හිතට කොච්චර බලපෑමක් කරන්න ආදරයට පුලුවන්ද කියලා  ආදරය කරලා තියෙන කරන ඔයාලත් හොදට දන්නවා ඇති නේද... 

ලියපු කවිනම් ගොඩක් තියෙනවා මෙව්වා කියවන අයට මෙලෝ රහක් නැත්නම් ඉතින් ආයේ බ්ලොග් එකේ එකම කවියක් වත් දාන්නේ නැහැ කියලා හිතා ගත්තා.කතා ලියන එක විතරක් කරනවා දිගටම එහෙම උනොත්.....

පසුව ලියමි :- ඒ කාලේ මම දුකට මේ කවිය ඇතුළුව තව කවි ගොඩාක් immages විදිහට හදලා  මගේ මුහුණු පොතේ අප්ලෝඩ් කලා.එක නිසා මේක මම ලියපු එකක්ම තමයි.නැත්නම් ආයේ හෙන ගේමක් දීලා රිංගපු 
සින්ඩියෙන්ම මාව පන්නල දාන්නත් ඉඩ නැත්තේ නැහැනේ.... හික්ස්....

Friday, February 11, 2011

මා හැර දමා ඈ ගියා....


අනේ මන්දා බොලව් මේ කතාව ලියනවද කියල ගොඩාරියක් වෙලා කල්පනා කරලා කරලා අන්තිමට ලියන්න කියල හිතුනා.කාලයක් ජිවිතේ සුන්දරම දෙයක් වෙලා තිබ්බ මේක මට මතක් කරද්දීත් ලොකු හිසරදයක් දැනෙනවා දැන් නම්. මේක මතක් වෙන්න,මතක් කරන්නත් හේතුවක් තියෙනවා.මගේ පළමු ආදරය හරියටම මගේ හිත පාරලා හදවත දෙකට පලා දාලා මාව තනිකරලා එයා වෙන් වෙලා ගියා.ඒ දැනට හරියටම අවුරුද්දකට කලින්.

මට එයාව හම්බ උනේ 2009 ජුනි මාසෙක දවසක යාලුවෙකුගේ ගෙදර පොඩි පාර්ටියක් තිබුනා.මගේ යාලුවට නංගී කෙනෙක් හිටියා.එයාගේ 16 වෙනි  උපන්දිනේට තමයි ඒක තිබුනේ ඒකට එයාගේ නංගිගේ යාලුවෝ වගයක් ඇවිත් තිබුනා.මගේ යාළුවා ඒ පාර්ටි එකට මටයි තව යාලුවෝ 4-5 දෙනෙකුටයිත් ආරාධනා කරලා තිබ්බා.

නංගිගේ හිටපු ඒ යාලුවෝ ගොඩේ දැක්කම ඇහැට ඒක පාර ගැටෙන ලස්සන රුපයක් තිබ්බා.ඒ එයා හරියටම අවුරුද්දකට කලින් මගේ වෙන් වෙලා ගිය,කාලයක් මගේ මුළු ජීවිතේම වෙලා හිටපු කෙනා.එයාට මම සශිනි කියන්නම්.ඒක ඇත්ත නම නොවුනට බොහෝදුරට ඇත්ත නම ලඟින්ම යනවා.

දිග කොන්ඩේ බුලක් දාලා ලස්සන සුදුයි රෝස පාටයි ටී ෂර්ට් එකක් ඇදගෙන කලුපාට ඩෙනිම් කලිසමක් ඇදගෙන තමයි හිටියේ.කොහොම හරි පාර්ටි එක වෙලාවේ එහෙන් මෙහෙන් එයත් එක්ක කතා කරලා යාන්තමට කොල්ලෙක් නැති බව හොයා ගත්තා.අන්තිමට යන්න කලින් බොහොම අමාරුවෙන් එයාගේ මොබයිල් ෆෝන් එකේ නම්බෙර් එකත් ඉල්ලා ගත්තා

.පස්සේ ඉතින් දහසක් සිහින ගොඩ ගහගෙන ගෙදර ගිහින් එයාට text කරන්න ගත්තා.මුලදී මුලදී text කලාට කිසිම රිප්ලයි එකක් තිබ්බෙත් නැහැ.එත් පහුවෙන කොට මාත් එක්ක හෙමින් හෙමින් රිප්ලයි කරන්න ගත්තා.ඔන්න ඔය විදිහට වැඩේ යද්දී මගේ යාළුවගේ නංගිගෙනුත් වැඩේට ටික ටික sub එකනම් ලැබුනා.

අන්තිමට ජුලි මාසේ එක්තරා දවසකදී මන් එයාගෙන් යාලු වෙන්න ඇහුවා.මේකී ගත් කටටම බෑ කිව්වා ප්‍රතිචාරයක් නැහැ.එත් මන් දිගටම text කරන එකනම් නැවැත්තුවේ නැහැ.ඔහොම ගිහින් අයෙමත් සති දෙකකට පස්සේ අයෙමත් ඇහුවා.ආයෙමත් ගත් කටටම බෑ කිව්වා.

මාත් ඉතින් අත ඇරියෙත් නැහැ.ඔහොම ගිහින් ආයෙමත් සතියකට පස්සේ කෙල්ලට හොද තෙලක් ගහලා හොදවයින් බොක්කට වදින්න මැසේජ් දෙක තුනක් දාලා ෆෝන් එක පැත්තකට තියෙන්න ඇරලා පාඩුවේ හිටියා.

මෙන්න යකෝ පැයකට විතර පස්සේ කෝල් එකක් එනවා කෙල්ලගෙන්.හරි නැති නිසා මං කට්  කරලා ආයේ ගත්තා.මෙන්න බොලේ මේකී එහා පැත්තෙන් ඉකි ගගහා අඬනවා.අඬන ගමන් කිව්වා
"මං කැමති කියලා".

ආදරේ කරලා තියෙන කරන කව්රු හරි මේක කියවනවානම් ඒ වෙලාවේ මට දැනුනු හැඟීම කොහොමද කියලා උඹලට අමුතුවෙන්ම කියන්න ඕනේ නැහැනේ බොලව්.එයා ගියේ ගම්පහ ප්‍රසිද්ද ගැහැණු ළමයි විතරක් හිටිය ඉස්කෝලෙකට. O/L කරන්න හිටියේ 2009 දෙසැම්බර් වල.මං එයට වඩා අවුරුදු 4 ක් වැඩිමල්.

ඉතින් අපි දෙන්නගේ ආදරේ ඔහොම ගලා ගියා.මම ඒකාලේ හැම සති අන්තයකම ගියා එයාව හම්බු වෙන්න.ක්ලාස් ඇරිලා එයා එක්ක එකට බස් එකේ අත්වැල් පටලාගෙන ගියා.ඒ කාලේ කොච්චර සුන්දර කාලයක් කියලා මට ඒ කාලේ හිතුනද ඒත්....

මම ඒ වෙන කොට කැම්පස් යන නිසා හම්බු වෙන්න පුළුවන් උනේ සති අන්තේ විතරයි.ටිකෙන් ටික අපේ ආදරේ ගලා ගියා.හරියටම නිසංසල ගඟක් ගලා යනවා වගේම.

දෙසැම්බර්  මාසේ එයා එයාගේ O/L විභාගෙට මුණ දීලා ගෙදරට වෙලා හිටියේ.පන්ති යැවෙන්නේ නැති නිසා හම්බු වෙන්න තියෙන ඉඩ කඩත් ටිකෙන් ටික අඩු වෙලා ගියා.එත් මම හැමදාම මැසේජෙස් 40ක් -50ක් කෙටුවා.දවසකට අඩුම පැය භාගයක් වත් කතා කළා.

O/L ඉවර නිසා ගෙදර ඉන්න හරි කම්මැලි කියලා මෙයා මට ඒ කාලේ හැමදාකම කිව්වා.ඒ වෙන කොටත් කොළබ තිබිච්ච ප්‍රධාන ඉංග්‍රීසි පාඨමාලා වල බදවා ගැනීම් විභාග ඉවර වෙලා තියෙන්නේ කියලා ඒවලට යන්න වෙන්නේ නැහැ කියා කියා හිටියා.

ඒක නිසාත්,කම්මැලිකම නිසාත් මම A/L ඉවර වෙලා කඩ්ඩ හදාගත්ත අපේ ප්‍රදේශයේ තිබ්බ ඉංග්‍රීසි පන්තියක කෝස් එකකට යන්න කියලා බැරිම තැන මම එයාට කිව්වා.එතන තමයි මට වැරදුනු,මම විහින් වරද්ද ගත්තු තැන.

ඒ පන්තිය සතියට දවස් පහම උදේ 8.00 ඉදන් හවස 4.30 වෙනකන් මාස දෙකක් පුර පන්ති පැවැත්වුන තැනක්.මෙයා ගියේ ජනවාරි මාසයේ එත් පුරුදු විදිහටම මට හැමදාමත් මැසේජ් කලා,කතා කලා.එත් මම හීනෙන්වත් හිතුවේ නැහැ ඒ ටිකෙන් ටික ලං උනේ අපේ ආදරේ අන්තිම දවස් කීපය විත්තිය.

මතක හැටියට පෙබරවාරි මාසේ 8,9,10 එයාගෙන් ලැබුනු මැසේජස් ගැන 10 කටත් වඩා අඩු උනා.කතා කරන්න බෑ තාත්ත ගෙදර කිව්වා.අන්තිමට 10 වෙනිදා මැසේජ වලට රිප්ලයි නැත්තේ ඇයි කියලා ඇහුවම එයා පාර්ටි එකක ඉන්නේ කිව්වා.පෙබරවාරි 11 මම මැසේජ් 10-15ක් යැව්වත් රිප්ලයි එකක් ආවේ නැහැ.

මතක විදියට එදා පෙබරවාරි 11 බ්‍රහස්පතින්දා රෑ 8.30 විතර ඇති.සශිනිගෙන් මැසේජ් එකක් අවා ඒකේ තිබ්බේ මෙහෙම දෙයක්
 "අයියේ ඔයා ගොඩක් හොඳ කෙනෙක් එත් මම එච්චර හොඳ කෙල්ලෙක් නෙමෙයි.එක නිසා මාව අමතක කරන්න අපි මේක මෙතනින් නවත්තමු.අදින් පස්සේ මට ආයේ කවදාවත් text කරන්න එපා" කියලයි.

ඕක කියෙව්වම මගේ බොක්ක කූල් උනා.අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ බොලව් දැනුනු හැඟීම; බූට් එකක් කාපු එකෙක්ට තේරෙනවා ඇතිනේ.මන් ඊට පස්සේ එයාට කොච්චර මැසේජ් යැව්වත් රිප්ලයි අවේනම් නැහැ.

මගේ මුළු ලෝකෙම කැරකිලා ගියා වගේ දැනුනා.හරියටම කියනවනම් ගිනියම් වෙනකන් රත්කරපු යකඩයක් ඔලුවේ ඉදන් දෙපතුල දක්කවාම ඇඟ හරහා යන විදියට පසාරු කරලා ඇතුලට බස්සල තියෙනවා වාගේ දැනුනා.මුළු ඇගෙන්ම සැර පිටවෙන්නම් වගේ දැනුනා.

මම හිටියේ එදා බෝඩිමේ.බැරිම තැන නිදාගන්න කියල ඇදට ගියත් මුළු රෑ පහන් වෙනකන්ම  නින්ද ගියේ නැහැ.පහුවෙනිදා මම උදේ කැම්පස්  ගියෙත් මුණ බේරී කරගෙන .එක දැකලා හුගක් කට්ටිය ඇහුවා වෙනදා තියෙන හිනා මූණ නැහැ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා.එත් සිද්දිය දැනගෙන හිටියේ මගේ බෝඩිමේ හිටපු අනිත් රූමලා 3න් දෙනා විතරයි.

ලෙක්චර්ස් ගියත් අහගෙන ඉන්නවත් හිතක් නැහැ.හොදට හිටපු එකීට මොකද උනේ කියලා කල්පනා කලා ඇරෙන්න.බැරිම තැන මම එදා කලින් ගෙදර ආවා.ඇවිත් ගෙදරටත් බොරුවක් කියලා එයා කෝස් එක කරපු පන්තිය ගාවට ගියා හවස එයාව හම්බු වෙන්න.මම ඒ ගමන නොගියානම් කොච්චර හොඳද කියලා හිතෙන්න මට වැඩි වෙලාවක් ගියේ නැහැ.

පන්ති ඇරුන ගමන් සශිනි පන්තියෙන් එලියට බැස්සා තවත් කොල්ලෙකුගේ අත්වැල් පටලෝගෙන.එයා පස්සේ තව ගැහැණු ළමයි 3න් දෙනෙක්.මට ඉතින් මොනවද හිතුනේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.ඒ වෙන කොට මගේ පුංචි කෙල්ලගේ හිතට හොරෙන් වෙන ගොබිලෙක් රිංගලා.ඌ මට පයින් ගහල කෙළවලා ඌ මගේ කෙල්ලව දාගෙන.

මුණ පොඩි කරන්න කියලා හිතුනත් මන් එහෙම කරන්න ගියේ නැහැ ඉවසනවා ඇරෙන්න.එත් මගේ තිබුණු පණ්ඩිතකමට මම ගියා එයත් එක්ක කතා කරන්න.එකී මොකද දන්නවද කලේ මගෙන් ඇහුවා
"ඔයා කව්ද...???" "මං ඔයාව අදමයි දැක්කේ" "ඔයාට වැරදීමක් වෙන්න ඇති" කියලා අර කොල්ලා ඉස්සරහ බබෙක් වගේ හැසිරුනා.

අර කෙල්ලෝ ටික ඉස්සරහ මම ඉපදුන නගරයේ...;මම අවුරුදු 11 ක් ඉස්කෝලේ ගිය නගරයේ....;අවුරුදු 20 ක් නිතර ආව ගිය නගරයේදී බල්ලෙකුට වගේ සලකන්න තරම් දරුණු වෙන්න එයාට පුළුවන් උනා.
උඹලටත් එහෙම උනානම් ඒ වෙලේ මොකක් කරාවිද..?? මං මොකක් කරන්න ඇතිද..??

මුළු ජීවිතේම කියලා හිතන් ආදරේ කරපු කෙල්ලට කනට ගහපන් කියලා උඹලා කිව්වත් එහෙම කරන්න තරම් දරුණු වෙන්න මට බැරි උනා බොලව්.මම බිම බලන් නොන්ඩි වෙලා ගෙදර ආවා.වේල් 3 ක් විතර  අප්සෙට් එකට කෑවේ නැහැ.ගිහින් එයාට මැසේජ් එකක් දාලා ෆෝන් එක පැත්තකට කරලා තිබ්බා.එයා ගියේ මගේ හිතේ එයාට තිබ්බ හැඟීම පිළිකුලක් බවට හරෝලයි බොලව්.

කොහොම හරි පහුවෙනිදා ෆෝන් එක ඕන් කරන කොට එයාගෙන් මැසේජ් එකක් තිබ්බා
"අයියේ ඊයේ මගේ අතින් වෙච්ච දේට සොරි මාව අමතක කරන්න ඔයාට වරදින්නේ නැහැ කියලා" මම රිප්ලයි කරන්නවත් මොනවත් කරන්න ගියේ නැහැ.එත් එයා වෙනුවෙන් තව දුරටත් අඬන්න ගියෙත් නැහැ.

සති දෙකක් විතර විරහ ගීත ලිය ලියා ඉඳලා අමාරුවෙන් හිත හදා ගත්තා.හරියටම එයා මාව දාලා ගිහින් අදට අවුරුද්දක් වෙනවා.එත් අදටත් මන් එයා වෙනුවෙන් අඩන්නේ නැහැ.එයාට වෛර කරන්නෙත් නැහැ.එයාව මට අදටත් පිළිකුල් හැමදාටම පිළිකුල්.උඹලට හිතෙන විදිහට මන් සමහර විට වැරදි ඇති.......

පසුව ලියමි :- හිමි නොවූ ආදරය පොස්ට් එකේ අන්තිමට මම කිව්වනේ "කෙල්ලෙක්ට වද දිදී කොච්චර පස්සෙන් ගියත් ලැබෙන්න නියමයක් නැත්නම් ලැබෙන්නේ නැහැම තමයි" කියලා.ඒ වගේම මොන ගේමක් දීල කෙල්ලෙක් දාගත්තත් හිමිකමක් නැත්නම් ඉක්මනින්ම අපෙන් ඈත් වෙලා දුර ඈතකට යනවා.

අනිත් එක තමයි කෙල්ලට කොල්ලෙක් ඉන්නවා කියලා දැන දැනත් ඒ කෙල්ලම පස්සෙන් යනවනම් ඒක මහා අමන වැඩක්.එහෙම අමන වැඩක් කරපු ගොබිලෙක් නිසා තමයි මටත් කෙළ උනේ.මොකද ඌත් දැනගෙන ඉඳලා තිබිල තියෙනවා එයාට කොල්ලෙක් ඉන්නවා කියලා.ඌ තමයි ඔලුවට විෂබීජ දාලා මාව ඈත් කරවලා ඌ ලකුණු දාගෙන තියෙන්නේ.කොහොම උනත් ඒ වගේ පහර වැඩක් කලොත් උබලටත් සහගහවි බොලව්.ඒ නිසා පුළුවන් තරම්  ඒ වගේ වැඩ නොකර හිටියොත් ගොඩක් කල් සතුටින් ඉන්න ලැබේවි.

මොනවා කිව්වත් උඹලට හිතෙන විදිහට මන් සමහර විට වැරදි ඇති.......                  

Thursday, February 03, 2011

අනේ මෙහෙමත් නෝන්ඩියක්...


අද කියන්න යන්නෙත් මගේ ජිවිතේ අමිහිරි වූ මතකයක්.ඒත් ඒකත් ජිවිතේට ලැබුණු අමුතු අත්දැකීමක්.මම කලින් දාපු හිමි නොවූ ආදරය පොස්ට් එකෙන් කිව්වනේ මම O/L වෙනකන් ගියේ මිශ්‍ර පාසලකට කියලා. ඒකේ ඉද්දි මම 11 වසරදී වෙච්ච දෙයක් තමයි  අද මතක් කරන්න යන්නේ.

අපේ 11 වසර පන්ති 6 ක් තිබ්බා.ඔය පන්ති සෙට් එකම තිබ්බේ එකට එකම හෝල් එකක.ඒක නිසා පන්ති ටික තිබ්බේ එක ගොඩේ.අනික ඒ හෝල් එක වෙනත් ලොකු ලොකු විභාග වලටත් ගන්න එකක් නිසා පන්ති එකින් ඒක වෙන් වෙලා තිබ්බෙත් නැහැ බිත්තියකින් තියා  බෝඩ් එකකින්වත්.

ඒක නිසා A පන්තියේ ඉදන් F වෙනකන් දිගට පෙනුනා.අනික තමයි A පන්තිය තිබ්බේ ඒ හෝල් එකේ stage එක වගේ කෑල්ලේ උඩ.ඒ නිසා A පන්තිය තිබ්බේ අනික් පන්ති සෙට් එකට උඩින්.මම හිටියේ B පන්තියේ.

අපේ පන්තියේ පන්ති බාර හිටියේ මම ජිවිතේ වැඩියෙන්ම ආදරය කරන,ගරු කරන ගුරුවරිය නමින් "පද්මා අභයවර්ධන" මැඩම්.10 -11 පන්ති දෙකේම අපේ පෙර පිනකට මැඩම් තමයි පන්ති බාර උනේ.අනික අද මම ඉන්නේ කොතනද එතන ඉන්න මගේ ජිවිතේට ලොකුම බලපෑමක් කල කෙනෙක් තමයි මැඩම්.මැඩම් නැත්නම් මම ඉවරෙටම ඉවරයි.අපේ පන්තියේ හිටපු හැම කෙනෙක්ම වගේ මැඩම්ට අම්මා කෙනෙක්ට වගේ ආදරේ කලා.

ඒ කලේ පොඩි හැදින්වීමක්.අපේ පන්තියේ හිටියා කෙල්ලෙක් නම "දමිතා" කියල කියමුකෝ මේ කෙල්ලට තිබ්බා පොඩි සම්බන්ධයක් එහා පන්තියේ; ඒකියන්නේ C එකේ හිටපු කොල්ලෙක් එක්ක.අපි ඌට "තිළිණ"කියලා කියමුකෝ.

ඒ කාලේ  හැටි ඔහොම තමයි ලව් කරන ඒක සාමාන්‍ය දෙයක්.ඒත් මුන් ප්‍රසිද්දියේ තැන තැන බොහොම නොසන්ඩාලා විදිහට හැසිරුනා හුගක් වෙලාවට.ඒ නිසාම මමයි අපේ පන්තියේ හිටපු අනික් වගකීමක් තියෙන ශිෂ්‍ය නායකයෙක් හැටියට හිටපු ඉසුරුයි දෙන්න ඔය සිද්දිය ගැන මැඩම් එක්ක කතා කරලා තිබ්බේ මේකි නිසා අපේ පන්තියට වෙන කැලැල්ල ගැන.ඉසුරු ගැන වතුර නැතිව පොස්ට් එකෙන් කිව්වා මතක ඇතිනේ අන්න ඌ තමයි.

මැඩම් නිකන් අම්මා කෙනෙක් වගේ නිසා තරහා නොගෙන කෙල්ලටයි කොල්ලටයි සිද්දිය තේරුම් කරලා දුන්නා ඒත් මුන් තේරුම් ගත්තේ නැහැ.පස්සේ මැඩම් අපි දෙන්නත් එක්ක කිව්වා සද්ද නැතුව ඉන්න "විජේසුරිය" සර්ට අහුවෙලා පාඩමක් ඉගෙන ගනීවි කියලා.විජේසුරිය කියන්නේ අපේ 11 වසර පන්ති සෙට් එකේ අංශබාර ඒ වගේම අපේ ශිෂ්‍යනායක සංගමේ බාර ඒ වගේම සහකාර  විදුහල්පති කෙනෙක්.පොර මාර සැර ඩයල් එකක් තමයි.

දැන් තමයි වෙච්ච කතාව කියන්න යන්නේ.දවස 2005-03-04 වෙනිදා.දවස මතක එදා මට අමතක කරන්න බැරි තරම් අමිහිරි නිසයි.අපි මේ Love එක ගැන දැනගෙන හිටියට මේකි දැනගෙන ඉඳල නැහැ අපි දන්නවා කියලා.

එකී දැනගෙන තියෙන්නේ අපි දන්නවයි කියලා මේ සිද්දිය වෙච්ච දවසෙම තමයි.දැනගත්ත ගමන් මේකි බය වෙලා අපි විජේසුරිය සර්ට කියාවි කියලා ෂනික කොල්ලට ලියුමක් ලියලා.ඒ ලියුමේ කොහොම හරි තිබිල තියනවා මගේ නමත් දාලා අපි ඔය සිද්දිය ගැන දන්නවා පරිස්සම් වෙන්න කියලා.මේකි මේ ලියුම ලියලා තියෙන්නේ සෞන්දර්ය විෂය තිබ්බා වෙලාවේ.

මම කලේ සංගීත ඒ නිසා A එකයි B එකයි ඒ වෙලේ සංගීත කාමරේට ගිහින් සරිගම වළදා වළදා තමයි හිටියේ.මේකි කලේ චිත්‍ර A එකයි B එකයි පන්ති දෙක එකට දාලා උගන්නන නිසා A පන්තියට ගිහින්තමයි කට්ටිය ඉගෙන ගන්නේ.ඒ කියන්නේ ස්ටේජ් ඒක උඩ තිබ්බ පන්තියේ.

මේකි ලියුම ලියලා කොල්ලට කතා කරලා C පන්තියේ හිටපු.A පන්තියේ පිටිපස්සේ හිටපු කෙලෙක්ට කියලා කොල්ල පහලින් ආවම හිමීට ලියුම දෙන්න කියලා.මේකිත් පස්සවත් හැරෙන්නේ නැතිව ලියුම B එකේ පැත්තට දික් කරලා කොල්ල ගනීවි කියලා හිතන්.

ඒ වෙලේම මගේම පිනකටද කොහෙද; කොහේද  ඉඳන් කඩා  පාත් වෙලා තිබ්බා ධර්මසේන"සර්.ධර්මසේන කියන්නේ කලින් ශිෂ්‍ය නායකයෝ භාරව හිටපු අපිට සමාජ අධයයනය කරපු තවත් සහකාර විදුහල්පතිවරයෙක්.පොර විජේසුරිය සර් එක්ක පොඩි අවුලකින් හිටියේ අපේ ඉසුරුයි තව එකෙකුයි ආතල් එකට කරපු වැඩක් නිසා.ඒක පස්සේ දවසක කියන්නම්.

පොර ලියුම අතට අරගෙන කියෝලා වැඩේ ඔක්කොම ලීක් වෙලා.මූත් අනිත් සර් එක්ක වලි නිසාත් එකේ මගේ නම තිබ්බ නිසාත් මිනිහට වැඩක් දෙන්න පුළුවන් නිසා කේළම ගිහින් සද්දේ දාලා විජේසුරිය සර්ට කියලා.

අනේ ඔය කිසි දෙයක් දන්නැතුව සංගීතය  ඉවර වෙලා මම පන්තියට එනකොට පොඩි කොල්ලෙක් දුවල ඇවිත් මට කිව්වා "අයියේ අන්න විජයසුරිය සර් ඔයාට කතා කලා කියලා office එකට"කියලා.ඉතින් මම එහෙම්මම ගියා.

මම office එකට ඇතුල් වෙන කොටම තිළිණයා  ඉන්නවා කම්මුලත් ඉදිමෝගෙන බිම බලාගෙන.මට මීටර් උනා වැඩේ හරියටම හරි තමයි කියලා.ඒත් කව්ද යකෝ දන්නේ මේකි මටත් කෙලෝලයි කියලා.එතකොටම සර් මගෙන් අහපි තිළිණයා යාලු කාත් එක්කද කියලා.

දැන් වැඩේ ලීක් වෙලානේ ඉතින් මමත් කිව්වා "දමිතා  එක්ක සර්" කියලා.ඒ වෙලේම වැඩේට පෝර දාන්න ධර්මසේන කාරයත් එතැනට සෙට් උනා."තමුසෙලා දැන්ද ඕක කියන්නේ ශිෂ්‍ය නායකයෝ වෙලා" කියලා මු මට දෙක තුනක් නෙළුව අරුටත් වැඩ පෙන්නන්න වගේ.

එහෙම කියලා මු මට ලියුම පෙන්නුවා.අම්මට සිරි මේකේ මේකි මගේ නමත් ලියලා මේකිව දිවියම කාපියව් කියලා මට ලොකු තරහකුත් අවා.ඒත් පරක්කු වැඩිනේ."තමුසෙලට ශිෂ්‍ය නායක කම ගැලපෙන්නේ නැහැ" කියලා මු අර ධර්මසේන සර්ට පෙන්න වැඩර් වගේ මගේ ශිෂ්‍ය නායක බැජ්  ඒකත්  ගැලෙව්වා.

ගලෝල අපි දෙන්නට සර්ගේ office එකට වෙලා ඉන්න කියලා මු ඒ වෙලේම ගියා 11 වසරට ළමයිව එලියට දාලා රැස්වීමක් කැදෙව්වා.මුගේ රූම් එකේ ඉඳන් බැලුවම 11 වසර ඉස්සරහා රැස්වීම් ගන්න තැන හොදට පේනවා.

මු රැස්වීම අරන් අරකිටයි මූටයි පලු යන්න බැනලා  බැනලා  මගේ ගලෝපු  බැජ්  ඒකත් පෙන්න පෙන්න මගෙත් පලු යවනවා මට ඈතින් පෙනුනා. නවනින්ගිරාවයි මොනවා කරන්නද.තිළිණයා ඒ දිහා  බලන් මට සොරිත් කියනවා මට මල පැනල හිටියෙත් එවෙලේ.

කොහොම හරි මගේ බැජ් ඒක ගලෝපු සීන් එක අපේ මැඩම්ට ආරංචි වෙලා මැඩම් ඇවිල්ල විජේසුරිය සර්ට කියලා අපි ඔයගැන මැඩම්ට කලින් කියලා තිබ්බේ කියලා වැඩේ ශේපේ කරලා.කොහොම හරි රැස්වීමත් ඉවර වෙලා සර් ආයේ මුගේ රූම් එකට ඇවිත් අරුට දෙමව්පියෝ එක්කන් එන්න කියලා යවෝලා  මට කතා කලා.

කතා කරලා මු කියනවා "ඔයා වැරද්දක් කරලා නැහැ.මැඩම් එක්ක කියලනේ.ඒ නිසා මන් බැජ් ඒක දෙනවා.ඒත් මම බැජ් එක ගැලෙව්වේ අර මිනිහ ඉස්සරහනේ.ඒ නිසා බැජ් ඒක තියාගන්න මම සතියකින් විතර බැජ් ඒක ගහන්නම්"කියලා.

නොදකින් කියලා මට හිතුනා.ඇයි යකෝ මුළු 11 වසරම ඉස්සරහා මාව නොන්ඩි කරලා බැජ් ඒක සතියකින් ගහන්නම් කිව්වම.තව මු කියනවා බැජ් ඒක නැතුව ඩියුටිත් යන්න කියලා පෙරේතයා.මාත් ඉතින් කට වහගෙන බැජ් ඒක අරගෙන පන්තියට ගියා මොකද ඒ කාලේ ගැලෙව්වනම්  තියාගනින් මට එපා කියල කියන්න තරම් කටට පනක් තිබ්බ නැති නිසා.

හොදම වැඩේ උනේ පහු වෙනිදා.අපේ ඉස්කෝලේ ශිෂ්‍ය නායකයන්ගේ ටයි එකේ Prefect කියලා ගහල තියනවා.මන් ටයි එකත් දාගෙන බෑග් එකත් එල්ලගෙන 7.25 ට විතර 11 වසර හෝල් එක ඉස්සරහා මිදුල දිගේ පන්තියට යනකොට පන්ති වල හිටපු කොල්ලොයි බල්ලොයි කෙල්ලොයි ඔක්කොම එලියට බැහැගෙන මං දිහායි ටයි එක දිහායි බලනවා.

මොකෝ office එක ඇතුලේ සර් මට කියපු ඒක උන් දන්නේ නැහැනේ.තවත් සමහර උන් මට කින්ඩිත් දානවා.මට මල පැනල පන්තියෙන් බෑග් එක තියලා  සමුපකාරෙට ගිහින් normal ටයි එකක් අරගෙන දාගත්තා.මොකද ඉස්කෝලේ කොල්ලෝ ඔක්කොම ටයි දාන එක අනිවාර්ය කරලා තිබ්බ නිසා.

පස්සේ සර් උදේ 11 වසරට ආපු වෙලේක මම normal ටයි එකකුත් දාගෙන පන්තිය ඇතුලේ ඉන්නවා දැකලා මට බැනලා පන්ති සෙට් එකටම ඇහෙන්න මට අනන් මනං කියලා අහු වෙන්න එපායි කියලා සද්දෙත් දාලා මාව ඩියුටිත් එලෙව්වා prefect ටයි එක දම්මවලා.

සතියකට විතර පස්සේ කට්ටිය ඉස්සරහා මට බැජ් ඒක ගැහුවා.ඒත් මට උනු නෝන්ඩිය එදා අද වගේ මතකයි.ඒ වගේම අපරාදේ normal ටයි එකට ගිය රුපියල් 110 ය.කතාව ලියන්න ගිහින් දිග වැඩි උනා.කියෝන කව්රුම හරි එක්කෙනෙක් ඉන්නවනම් සමාව ඉල්ලනවා ඒකට.