Friday, April 22, 2011

අවුරුද්දට අහස්‌ කූරු යවපු හැටියක්


ඔන්න පොරොන්දු උන විදිහටම කලින් පොස්ට් එකෙන් කිව්වා වගේ මම රතිඤ්ඤා, අහස්කුරු එව්වා එක්ක තියනවයි කියපු ජන්මාන්තර වෛරෙට හේතු පාදක වෙච්ච සිද්දියයි අද කියන්න යන්නේ.

මුලින්ම මෙහෙම කියන්නම්.ගිනි කෙලි ගත්තම ඕක ඇතුලේ තියනවා රතිඤ්ඤා, බට්ටා, අහස්කූරු, බඹර චක්‍ර, නිලා, චීන පටස්, වෙඩි මල් ... ඔන්න ඔච්චරයි මම දන්න එව්වට තියෙන්නේ.මට මොකක් හරි මග ඇරුනනම් දාමු බලන්න යටින්.

පොඩි කාලේ අවුරුදු වලදී අපේ ගෙදරත් රතිඤ්ඤා පත්තු කෙරෙනවා. ඒ කාලේ  අපරාජිතයා පොඩි කොල්ලනේ (තොපි මං ලොකු එකා කියල හිතන් හිටියට මං තාමත් පොඩි කොල්ලෙක් තමයි බොලව්).ඉතින් අපේ තාත්තා තමයි රතිඤ්ඤා පත්තු කරන්නේ.

එක්කෝ ගහක අත්තක බැඳලා හුළු අත්තක් පත්තු කරලා රතිඤ්ඤා වැලේ කෙලවරට ගිනි තියල දුවන් එනවා.ගහට බඳින වෙලේට මාව වැඩේට හවුල් කරගත්තට පත්තු කරන කොට මට අහලකටවත් එන්න තහනම්.නැත්නම් එක්කෝ ලාම්පු තෙල් දාල පත්තු කරපු කුප්පි ලම්පුවකට රතිඤ්ඤා එක ගානේ අල්ලලා පත්තු කරලා ඈතට විසික් කරනවා.

ඒ කාලේ මට ඔය වැඩේ කරන්න දෙන්නෙම නැහැ.ඒ මටම තිබ්බ ආදරේට තමයි.ඒ උනාට නිලා නම් ගෙනත් දෙනවා.එව්වා පත්තු කරලා කරකොන කොට පට්ටම ආතල්.ඒ උනාට අපේ ගෙදරට අහස කුරු ගෙනල්ල පත්තු කරලා තියෙන්නේ එකම එක පාරක් විතරයි.

මෙන්න මේ කියන්න යන සිද්දිය වෙන්නේ 2002 අවුරුද්දේ එතකොට අපරාජිතයා ඉස්කෝලේ 8 වසර සුට්ටි කොල්ලා.අපේ තාත්තාගේ ගම මාතර, අම්මගේ ගම *****. අපි ඉන්නෙත් ***** ට ආසන්න නිසා හැම අලුත් අවුරුදු දවසකම අනිවා අම්මලාගේ මහ ගෙදරට කට්ටියම එකතු වෙනවා.

එහෙ ඉන්නේ අම්මගේ ලොකු අයියා.අපේ ලොකු මාමා (එයා දැන් ජිවතුන් අතර නැහැ). එයිට අමතරව එදාට අම්මගේ පොඩි අයියයි, මල්ලී; දෙන්නත් පවුල් එක්කම එනවා.ලොකු මාමගේ පුතයි, දෙවැනි මාමගේ පුත්තු දෙන්නයි, පොඩි මාමගේ පුතයි එදාට සෙට් වෙලා එකට පිස්සු කෙලින නිසා අපිට නම් ඒ කාලේ  පට්ටම ආතල්.

කාලය කොහොම වෙනස් වෙලාද කියල දැන් හිතෙනවා.දැනුත් සිරිතට අනුව අලුත් අවුරුදු දවසේ කට්ටියම මහ ගෙදරට එකතු උනාට දැන් එක එකා එක එකාගේ වැඩ ෆෝන් වලින් කොට කොටා.මං මගේ ලෝකේ(රංග අයියගේ බ්ලොග් එක ගැන නෙමෙයි කිව්වේ හොදේ) උන් උන්ගේ ලෝක වල.ඔක්කොටම මුල
කොහෙවත් යන ගෑණු පරාන.

ආයේ කතාවට එමු පිට පනිනවා වැඩිද මන්දා.ඔය අලුත් අවුරුදු දවසේ රෑට අපේ කොල්ලෝ සෙට් එකට පත්තු කරන්න අපේ ලොකු මාමා හැමදාම නිලා කුරුයි, අහස්කූරුයි ගෙනල්ල තියනවා.අහස්‌කූරු නම් තනියම පත්තු කරන්න බැහැ ඒකට දෙවැනි මාමාත් සෙට් වෙනවා.නැත්නම් ලොකු මාමාගෙන්ම  කන්න පුළුවන් හැමෝටම.

කොහොම හරි කට්ටිය දවල්ට කාලා, හවස ***** බීච් එකට ගිහින් පොඩි ජොලියක් දාලා, හවස ඇවිත් සෙට් එකම ඇඟ හෝදලා රෑට කන්න කලින් දුවන්නේ නිලා කූරුයි, අහස්කූරුයි පත්තු කරන්න තමයි.

ඔන්න මේ සිද්දිය වෙච්ච 2002 අප්‍රේල් 14 වෙනිදත් ඔය කියපු දේවල් ඒ විදිහටම උනා.එදා එකාට දෙක ගානේ අහස්කුරු පත්තු කරන්න හම්බුනා.හැබැයි පත්තු කරන්නේ දෙවැනි මාමා අපිට තියෙන්නේ අතේ තියාගෙන පත්තු කරන්න දෙන එක තමයි.

අහස්කූර කියන්නේ නිකන් රතිඤ්ඤා වගේ එක තැන පුපුරන එකක් නෙමෙයිනේ ඕක යවන්නේ අහසට; ගොහින් පුපුරන්න.ඉතින් මුලින්ම මම දුන්න මගේ අහස්කූරු දෙක පත්තු කරන්න කියලා.මාමා දෙකම මහගෙදර ගේට්ටුවේ යන්තම් හිර කොරලා පත්තු කළා.

අපි පත්තු කල සැනින් උඩ බලන් ඉන්නවා (ෆෝන් එකේ සල්ලි නැති වෙලා නෙමෙයි අහස්‌ කුර උඩ යනකන්) කෝ නැහැ.එත් එක පාර ඩෝන් ගෑවා බලද්දී උඩ යන්න බැහැ අනේ මෙහෙම හොදයි කියලා අහස්කුරු දෙක ඔන්ද ස්පොට් කලුරිය කොරලා.

ඊට පස්සේ අපේ එක මලයෙකුගේ එකක් අරගෙන එකක් විතරක් ගේට්ටුවේ හිර කළා.හිර කොරලා පත්තු කළා.ඔය ගේට්ටුව ගාවම තියනවා තඩි පොල් අඹ ගහක්.පත්තු වෙලා උඩ ගිය අහස්කූර අඹ අත්තක වැදිලා බිමට හැරුනා හරියටම ආවේ අපි හිටපු හරියට සෙට් එකම දිව්වා කාටවත් ආබාදයක් නැහැ.

වෙලාවටද මන්දා පිපිරුවෙත් නැහැ.ඒක පුස් එකක්.පිපිරුවනම් බඩු බනිස් තමයි.ඊට පස්සේ තමයි හොදම සිද්දිය වෙන්නේ.ඔය වැඩේ වෙච්ච වෙලාවේම අපේ දෙවැනි මාමාට ගේ ඇතුලෙන් කව්රු හරි කතා කරනවා.ඒක නිසා මාමා යනවා.

ඊට පස්සේ අපේ ලොකු මාමගේ පුතයි ( ඌ ඒකාලේ 6 වසර) දෙවැනි මාමගේ ලොකු පුතයි( ඌ ඒකාලේ 11 වසර) යන්නේ මෙහෙම දෙබසක්.ලේසියට මම ගයානුයි ඉසුරුයි කියන්නම්.

ගයාන්:- අඩෝ ඉසුරු අයියේ.මේ ගේට්ටුවේ හිරකරලා යවලා හරියනේ නැහැ බන්.දැක්කනේ දැන් වෙච්ච වැඩේ.
ඉසුරු:- ඔව් බං.මේ අපේ තාත්තට පිස්සු.වෙන තැනක් නැද්ද බං.?
ගයාන්:-අඩෝ අර අතන තියන කනේරු ගහේ අත්තේ එල්ලලා යවමුද.කෙලින්ම උඩ යනවා.ගසුත් නැහැනේ එතන.
ඉසුරු:-එල එල.අඩෝ මේ තොපි ඔතන හිටු මායි මූයි ගිහින් පත්තු කරන්නම්.
මම:- යකෝ මාමා නැතුව පත්තු කරලා තොපි අපිටත් කෙලවන්නද හදන්නේ.
ඉසුරු:-හරි හරි බං අවුලක් නැහැ.

ඔන්න මුන් දෙන්න ගිහින් අහස්‌ කුරක් පොඩි කනේරු පදුරක පොඩි අත්තක එල්ලනවා. අත්ත තියෙන්නේ කෙලින් නිසා ඉසුරු අයියා අත්ත නමලා අල්ලන් ඉන්නවා.ඒ  අතරේ ගයාන්කාරයට තියෙන්නේ ගිනිකූර වෙඩි නූලට අල්ලන එක.

අපි සෙට් එකම ඒ කියන්නේ අපේ අක්ක කාරයා පොඩි මාමගේ පොඩි එකීව අතේ වඩාගෙන මට ඉස්සරහින්, අක්ක ඉන්න තැනම පැත්තෙන් පොඩි මාමගේ පුතා, අපේ අක්කට හරියටම පිටි පස්සෙන් වගේ මම, මටත් පිටි පස්සෙන් අපේ දෙවැනි මාමගේ පුතා ඉන්නවා(ඌට අපි කසුන් කියමු)  අරුන්ගේ මල් අතු අහස්කුරු වික්‍රමය බලාගෙන එයිට මීටර් 8 ක් විතර එහායින්.

ඔන්න දැන් ජවනිකාව මවා ගනිල්ලා ගයානයා අහස්‌ කුරේ වෙඩි නූලට ගිනිතියනවා ඉසුරු අයියා මල් ගගේ අත්ත නමාගෙන.අරූ ගිනි තියලා හරි කියපු ගමන් ඉසුරු අයියා මල් ගහේ අත්ත අත අරිනවා.අහස්‌ කුර ඒත් තවම අත්තේ.හැබැයි අතහැරිය නිසා අත්ත පැද්දෙනවා.

එකපාර උඩ යන්න හදපු අහස්‌ කුර මොකක හරි වැදිලා හරියටම අපේ පැත්තට හැරුනා.හරියටම පොලවට සමාන්තරව කැරකි කැරකි අපේ පැත්තට එනවා.අපේ අක්කා කාරයා කෑගහගෙන  පැත්තට පනිනවා පොඩි ඒකිව බෙර ගන්නත් එක්ක වඩාගෙන ඉන්න. හුටා මෙන්න අහස්‌කුර හරියටම මගේ ඇස් මට්ටමට කෙලින් කැරකි කැරකි එනවා.

මට හිතා ගන්න බැරි උනා කරන්නේ මොකක්ද කියලා.මගේ වෙලවටමද මන්දා මට මීටර් එකක් විතර ළඟ ළඟ තියෙද්දී මම ඔලුව අත්දෙකෙන් බදාගෙන කඳ නමනවා පහතට.මට උඩින් අහස්‌ කුර ගෑවී නොගෑවී යනවා කියලා තේරුනා.

ඒත් කරුමෙටම මට පිටිපස්සෙන් හිටපු කසුන් මලයා(ඌ මට වඩා අවුරුද්දයි බාල.ඒ නිසා අපි දෙන්නගේ උසවල් ඒ කාලේ  සමානයි).ඕකට මොකුත් රිඇක්ෂන් එකක් දක්වන්න කලින්ම අහස්කුර ගිහින් උගේ මුණේ වදිනවා.

උඹලා දන්නවද කොතනද වදින්නේ කියලා.. කලබලේට ඌ මුණ හරවන්න යන හින්දා අහස්කූර උගේ නහයයි, දකුණු ඇසයි අතර තියෙන සියුම් තැන වදිනවා.ඕක අපි දන්නේ අහස්‌කූර බිම වැටිලා අපි සැනසුම් සුසුම් හෙලුවටත් පස්සේ ඌ අඬපු ඇඩිල්ල නිසා.

අපේ වෙලාවටමද මන්දා බොලව් ඒකත් පුස් අහස්‌ කුරක්.පිපිරුවේ නැතුව අරුගේ ඇහේ වැදුණු ගමන්ම බිම වැටෙනවා විතරයි.

කොහොම හරි මම කලින් කිව්වනේ අහස්කූර මොකක හරි වැදිලයි අපේ පැත්තට හැරුනේ කියලා.ඒක වැදිලා තියෙන්නේ අපේ ඉසුරු අයියගේ දකුණු ඇහි බෑමේ නහය පැත්තට වෙන්න කොටසේ.ඌ ඕක මාත් එක්ක කිව්වේ අරුගේ ඇහේ වැදිලා කියලා දෙවැනි මාමා දැනගෙන හොදවයින් කනේ පාරකුත් කෑවාට පස්සෙයි.

කසුන් කාරයව කට්ටිය එකතුවෙලා ලොකු මාමගේ වාහනේ දොස්තර කෙනෙක් ගාවට එක්ක යනවා. කොහොම හරි උගෙත් වාසනාව අහස්කුරෙන් ඇසට කිසිම හානියක් නැහැ ඒත් ඇහි පිහාටු වල තියෙන බැම ටිකක් පිච්චිලා විතරයි තිබුනේ.

ඉසුරු අයියගේ වම් ඇහි බෑමේ ඇතුල් බාගෙම නැහැ පිච්චිලා.අනික එතනින් ලේත් ගලනවා.අන්තිමට උගේ තුවාලෙටත් අපේ අම්මලා නැන්දලා එකතුවෙලා බේත් දානවා අරුව එක්ක ගිය අතරතුරේ.

හිතපන් ඒක වෙලාවට පුස් උනේ.අරුගේ ඇහේ වැදුණු ගමන් පිපිරුවනම් උගේ ඇස් දෙකම ඉවරයි අද.සමහර විට මට නැමෙන්න බැරි උනානම් කම්පියුටරේ දිහා බලන් දැන් ටයිප් කොරන මගේ දුප්පත් ඇස්දෙක අද නැහැ සමහර විට.

නැත්නම් මගේ උඩින් යනවෙලේ පිපිරුවනම් මේ ටයිප් කරන අතේ ඇගිලි නැහැ.ඉසුරු අයියගේ ඇහි බෑමේ වදින්නේ නැතුව උගේ ඇහේ වැදුනානම් අද උගේ ඇහැත් නැහැ.

අනේ මන්දා අපි ඔක්කොම මොනා නැතත් ලොකුම ලොකු පිනක් කරලා තියනවා ඒ වගේ දරුණුම සිද්දියකින් ජිවිත කාලෙටම ඉතුරුවෙන ආබාදිත තත්වෙකින් බේරෙන්න තරම්.සමහර ගොබිලෝ අහස්‌ කුරු පාරේ   බිම දිගේ යවනවා මං දැකල තියනවා.ඔව්වා කරුමෙට ඇවිත් පාරේ යන එකෙකුගේ ඇහේ වැදුනානම් පොඩ්ඩක් හිතපියව්.ලේසි නැහැ වැඩේ.

මම දැන් කියන ටික කියන්නේ කිසිම ලැජ්ජාවක් නැතිව.හිනා වෙනවනම් හිනවෙයව්.ඒ සිද්දිය වෙන්නේ මම 8 වසරේදී ඒ කියන්නේ 2002 දී.එදා ඉදන් මම අහස්‌ කූරක් අතින්වත් අල්ලලා නැහැ, නිලා කුරක් කරකවලා නැහැ, කොටින්ම අපේ ගෙදරට රතිඤ්ඤාවක් ගෙනල්ලත් නැහැ.

අපේ අනික් ගෙවල් වලත් එහෙමයි.අදටත් මේ අපරාජිතයා රතිඤ්ඤාවක් ගිනි කූරකට අල්ලලා පත්තු කරලා විසික් කරලා නැහැ.පොඩි කාලේදී එපා උන රතිඤ්ඤා වලට දැන් මගේ කිසිම ආසාවක් නැහැ.එව්වා වලට තියෙන්නේ දැන්නම් ජන්මාන්තර වෛරයක් විතරයි.

මම දන්නා තරමින් මේ ලෝකේ ඉපදෙන හැම කෙනෙක්ම මේ ලෝකෙට වටිනවා. පියාගෙන් පිටවුනු ශුක්‍ර ධාතුවල තියන මිලියන 100 ක ශුක්‍රානු වලින් වේගවත්ම එක ගිහිල්ලා සංසේචනය වෙලයි අපි මේ ලෝකෙට එලිය දකින්න වාසනාවක් ඇති කරගන්නේ.ඒ  999,999,999 ක ශුක්‍රානු ප්‍රමාණයක් පරද්දලා.එහෙව් තරගෙකින් ජය අරන් උපදින අපි හැමෝම වටිනවා මේ ලොකෙට අසීමිතව.

ඒක නිසා මොනා ඉලව්වකටද අපේ තියෙන කෑලි බෑලි කෙම්මල් මගුල් නිසා නැති කොරගන්නේ.අන්න එහෙම හිතෙන වාරයක් ගානේ මට ඔය ගිනි කෙලි එක්ක පුදුම වෛරයක් තමයි ඇති වෙන්නේ...

ඔයාලටත් මෙහෙම දේවල් වෙලා තියෙනවද..... අපිත් දැනගන්නවට කැමති නැද්ද... කැමති නම් විතරක් විනාඩියක් අරන් පහලින් කොටලා යමුද...??

හැමෝටම ජය.....!!!
    

20 comments:

  1. මම නම් රතිඤ්ඤා පත්තු කරන්නේ බිම තියල . පත්තු කරල දුවනව . සැහෙන්න ආරක්ෂිතයි කියන්න පුලුවන් . අහස් කූරු නම් යවන්නෙ නැ . ඔය අහස් කුරු බිම දිගේ යවන එක ගැන කිව්වාම පොඩි සිද්දියක් මතක් උනා . මේක උනේ මම පොඩි කාලේ නැදැ ගෙදරක ගිය වෙලාවක . ඒ පැත්තේ කොල්ලො සෙට් එකක් පාර දීගේ අහස් කුරු යවනව වැඩිය වාහන එන්නේ නැති පාරක්. මාත් ගේට්ටුවෙ එල්ලිලා බලාන ඉන්නව මම පොඩි එකා නිසා වැඩෙ බරපතල කමක් දැක්කේ නැ එදා ..

    ඔන්න එක පාරටම වැන් එකක් ආවා . අවුරුදු කාලෙ නිසා සැහෙන්න වේගෙන් ආවේ . අර කොල්ලො වැන් එක දකින කොට අහස් කූර පත්තු කරල ඉවරයි . වැන් කාරයගේ වාසනාවට අහස් කූර වැන් එක යටින් පහු කරගෙන ගිහින් තමයි පිපිරුවේ , බැරිවෙලාවත් වැන් එක යටදි පිපිරුව නම් එහේම..... දැන් තමයි භයානක කම තේරෙන්නේ .

    වැන් එක එලවගෙන ආපු මනුස්ස්ය වාහනේ නතර කරල බැස්සෙම හොඳ කුණුහරුපයක් කියාගෙන( ඒ වචනෙ කුණු හරුපයක් ය කියල මම ඒ කාලෙ දන්නෙ ත් නැ ) . හැබැයි මම බය වෙලා ගෙට දිව්ව නිසා එතනින් එහාට උනෙ මොකක්ද කියල දන්නෙ නැ

    ReplyDelete
  2. මට නම් ඔය වගේ සීන් වෙලා නෑ... මොකද අපේ ගෙදරට සතිඤ්ඤා, අහස් කූරු ගේනනෙම් නෑ....

    නිලා කූරුයි බඹර චක්කරයි විතරයි.. ඒවෑනුත් අපේ අතට දෙන්නේ නිලා විතරයි...

    ReplyDelete
  3. @buwa:- අපේ ගෙවල් පැත්තෙත් ඔහොම බිම දිගේ යවල වන එකක වැදුන ඒ වංගුවක් තියෙන තැනක අපේ ගොබිලෝ ටිකක් යවලා.වෙලාවට වෑන් එකේ වයිඩ් ස්ක්‍රීන් එකේ වැදුනේ.කිව්වත් වගේ වෑන් එක යටට ගොහින් පිපිරුවනම් විනාසයි තමයි බං.දැන්නම් පොඩි බට්ටෝ පවා ඔව්වා පත්තු කරනවා.මටක් වෙද්දීත් ඇඟේ මයිල් කෙලින් වෙනවා බං....

    ReplyDelete
  4. @prasanna86k:- අනේ උඹ බබා එතකොට ඉස්කෝලේ වැසිකිලි වලේ දැම්මේ මොනවද කියලා දන්නෝ දනිති එව්වා ගැන මොන කතාද.....

    ReplyDelete
  5. අවුල තියෙන්නෙ රතිඤ්ඤා වල නෙමේ. ඒව පාවිච්චි කරන විදියෙ. අපෙ ගෙදර ඔහොම වැඩක් උනා.රතිඤ්ඤා පත්තු කරන්න ගිහිල්ල නෙමේ.පත්තු නොකර ඉඳල. අවුරුද්දට හම්බවුන රතිඤ්ඤා වගයක් අල්මාරිය උඩ තිබුනා මාස ගානක්. මහ පාන්දරක අපේ මල්ලි මොකක් හරි මගුලක් හොයන්න අල්මාරිය අදිනකොට රතිඤ්ඤා උරේ බිම වැ‍ටුනා. වැටිච්ච ගමන් ඒකෙ තිබ්බ චීන පටස් පිපිරිලා ඒවත් එක්කම තියන අනිත් සබ්බ සකලමනාවම පුපුරන්න ගත්තා. විනාඩි 5න් මුලු ගමම අපේ ගෙදර....වහලෙ උලු මැද්දෙන් දුම් දානව ලස්සනේ බෑ.

    ReplyDelete
  6. @හපා :- අහ් අලුත් යාලුවෙක් මෙන්න අපරාජිතයගේ බ්ලොග් එකට ඇවිල්ලා.. සාදරයෙන් පිළිගත්තා එහෙනම්. පට්ට සීන් එක නොවැ බොටත් වෙලා තියෙන්නේ.යකෝ රතිඤ්ඤායි,චීන පටසුයි එකට තියන රටක් තියනවද..

    කොහොම හරි ඔයින් ගියා ඇති කාටවත් කරදරයක් නොවී..... ඔය මදි මොකද සම්පුර්ණයෙන්ම සිද්දිය කියලා බ්ලොග් එකේ දැම්මනම්.ඔන්න එහෙනම් දාපන් හොදේ..එලටම ජය වේවා....!!

    ReplyDelete
  7. ලිපිය හොදය , ඔය වගේ අනතුරු 2 ක් මේ අලුත් අවුරුදෙ වෙන්න ගිහින් නුලෙන් බේරුනා, ඒකත් අහස් කුරු යවන්න ගිහින් , එක අහස් කුරක් කාර් 1ක් ලග පිපිරුනා අනිත් 1ක් ජනෙලෙ වෑදිලා පිපිරුනා ටව පොඩෙඔ ගේ ඈතුලෙ

    ReplyDelete
  8. නම නොකී යාලුවා:- හප්පට සිරි ඔයින් ගියා ඇති.එකනේ බං කියන්නේ අහස කුරු කියන ජාතිය බොහොම පරිස්සමින් තමයි පාවිච්චි කරන්න ඕනේ.... ස්තුති ගොඩවැදිලා කමෙන්ටුවක් කොටලා ගියාට....

    ReplyDelete
  9. මට මතකයි මම එක වසරේ ඉන්නකොට අපේ තාත්තා අහස් කූරු ගෙනල්ලා පත්තු කරනවා .එදා එක අහස් කූරක ඉරට්ටේ කැඩුනා මගේ අතින් .. තාත්තා ඒක පත්තු කරා ඒක බිම වැටිලා බිම දෙගේ ගිහිං අල්ලපු ගෙදර බිම වාඩි වෙලා ඇන තියාගෙන උන්න ලංසි අංකල් කෙනෙකුගේ කලිසම අස්සට ගියා ! .. අංකල් නැගිටලා දුවනකොට

    ඩෝං ! ගෑවා ...

    හැබැයි එයාලට මීටර් නෑ ඒක ආවේ අපේ ගෙදරින් කියලා .. නැත්තම් එතන ගිනි කෙලියෙයි . අපිත් නොදන්න ගානට හිටියා ..

    ReplyDelete
  10. @හිස් අහස:- අම්මට බොල සිරාවට කියහන්.අඩෝ අන්කල්ට මොනාද උනේ.අයියෝ බන් අන්කලයාගේ පරම්පරාවම නැති බංගස්තාන වෙන්න ඇති මයේ හිතේ.. හික් හික් සිරාවට හිනා ගියා බන් උඹේ කොමෙන්ටුව දැකලා.....

    ReplyDelete
  11. මමත් රතිඤ්ඤා බිම තියල පත්තු කරන්නෙ...
    මේ පාර අවුරුද්දට අපේ මිදුලෙ රතිඤ්ඤා දාල පත්තු කරා ලොවෙත් නැති වෙන්න.
    ටික වෙලාවකින් අපේ අම්ම එලියට බැහැල කිව්ව...
    තමුසෙ ඔය ටික පත්තු කරා වගේ කොල කෑලි ටිකත් අස් කරන්න කියල.
    මට මාර නෝන්ඩිය....මම ඉතින් බල්ල වගේ ඔක්කොම කොල ටික අස් කරා....මොනව කරන්නද ඉතින්.......

    ReplyDelete
  12. මමනම් පොඩි බබා නිසා ඕව ගැන දන්නෙ නෑ

    ReplyDelete
  13. මම අහස්කූරු යවන්නෙ කම්බි වැටේ.. උඩම එකේ රදවලා දෙපෙත්තට යන්නේ නැතිවෙන්න යට පොටවල් අතරින් ඉරට්ට අමුනනවා.... ගිනි කුර තිබ්බ ගමන් කිසිම ඇදයක් නැතිව කෙලින්ම උඩ. මේ සම්බන්ධව මම දන්න අනතුර අවුරුදු එකක් නෙවෙයි.. ඉස්සර මාළු අල්ලන ක්‍රමයක් තියෙනවා ඩයිනමයිට් දාලා... ඩයිනමයිට් එක ගගට දාපුවාම ඒක පුපුරන කම්පනයට මාළු මැරිලා උඩා පාවෙනවා.. මිනිස්සු උන් අරන් ඇවිත් විකුනනවා.... ඔහොම එකෙක් දවසක් නප්පියට ගහලා ඩයිනමයිට් දාන්න ගිහින්.... මූ ඩයිනමයිට් එක පත්තු කරලා ගිනි පෙට්ටිය ගඟට දාලා ඩයිනමයිට් එක ඉනේ ගහගෙන.... ඉතිරි ටික මම කියන්න ඕන නැහැනේ මචන්....

    ReplyDelete
  14. @ගජං මල්ලි :- අපොයි අපොයි කිව්වත් වගේ ඔව්වා පත්තු කලත් හරි කොළ අයින් කරන්න උනහම තමයි දෙලොව පොල් පෙන්නේ නේද... ඇයි බන් කොළ සී සී කඩනේ.කුරුන් මල්ලිනම් ඔයිට කලින් ඇවිත් තියනවා අද තමයි ගජන් මල්ලි ඉස්සොරෝම වෙලා ආවේ.ඔන්න එහෙනම් සාදරයෙන් පිළිගත්තා....

    ReplyDelete
  15. @සුදු මහත්තයා :- අහ් අලුත් යාලුවෙක් මගේ බ්ලොග් එකට පැත්තේ ඇවිත් නොව ඔන්න එහෙනම් කිව්වා සාදරයෙන් පිළිගත්තා.උඹ පොඩි එකාද දැනගත්තු එක හොඳයි අලි අලි..හික්ස් ... ජය වේවා....!

    ReplyDelete
  16. @අභීත:- බලන් යද්දී අපේ අබේපාල මාමාත් අහස්කුරු කප්පිත්තෙක් නොවැ. මොනවා කලත් කමක් නැහැ අනතුරක් කරගන්නේ නැතුව ජිවිතවලට.. පට්ට සීන් එක නොවැ සිරාවටම.. පොරගේ කෑලිවත් හොයාගන්න බැරිවෙන්න අම්බ්‍රෙල්ලා පවුඩර් වෙන්න ඇති නේද... ජය වේවා....!!

    ReplyDelete
  17. ජීවිතේ කියන්නේ ගින්දරත් එක්ක කරන සෙල්ලමක් තමයි.. හැබැයි ගින්දර පාලනය කරගන්න ඕන.. ගින්දර එපා කියල හරියන්නේ නැහැ.. දෙකට බය උනාම එක හරියට පාවිච්චි කරලා ජය ගන්න ඕන පුතා..

    ReplyDelete
  18. @සරත් ලංකාප්‍රිය :- ඔව් සහෝ ඔබ කියන කතාව හරියටම හරි..... ගොඩ වැදුනට ගොඩක් පින්....

    ReplyDelete
  19. අම්මෝ මේක මාර සීන් එකක් නේ. කිව්වත් වගේ අහස් කූර පිපුරුවේ නැති එක නම් හොදයි. පිපුරුවා නම් බලාගන්න තිබ්බා වෙන දේ.

    ReplyDelete
  20. @මධුරංග:- ඔව් මචෝ ඒ වෙලාවේ අපි බේරුනේ අපි ඔක්කොම කලින් ආත්මෙක එකට එකතුවෙලා කරපු ලොකුම ලොකු පිනක් නිසා..........

    ReplyDelete

වචනයක් හරි ලියන්න හිතෙන්නේ ඔය ගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හරි දිරිමත් කිරීමක් හින්දයි.....
කරදරයක් නැතිනම් විතරක් සවියක් වෙලා යන්න.........