Friday, March 18, 2011

ගුවන් බාලදක්ෂ මතක සටහන් 03 - දවසේ වැඩ සටහන II


වැඩි බයිලා ඕනේ නැහැ කලින් ලිපිය නවත්තපු තැනින් පටන් ගම්මු.කලින් කොටස් දෙක කියෙව්ව නැති කෙනෙක් ඉන්නව නම් මෙන්න පලවෙනි කොටස.මෙන්න දෙවෙනි කොටස ගිහින් කියවල එන්න නැත්නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැති වේවි.

ආරම්භක රැලිය පවත්වන්නේ 9.00 ට විතර.එතකොට ක්‍රීඩාවක් පවත්වන්නේ 9.15 ට විතර ඕක ඉවර වෙලා එද්දී 9.30 විතර වෙනවා.

ඊට පස්සේ 9.30 ඉදන් 10.00 වෙනකන් තියෙන්නේ එක්කෝ "සමත් කිරීම්" නැත්නම් "ලොග් පොත් පරික්ෂාව".

සමත් කිරීම් වලදී කොරන්නේ කලින් දවස් වල උගන්වපුවා පාඩම් දෙනවා තමුන්ගේ කණ්ඩායමේ PL ට සමහර එව්වා තියෙනවා ASL ට පාඩම් දෙන්න ඕන බාල දක්ෂ පාඩම්.

පාඩම් මතක නම් අන්තිමට පාඩම් ගත්තු ASL ට හරි PL ට හරි කියලා බාලදක්ෂ වාර්තා සටහන් කාඩ් පතේ ඒ පාඩම සම්පුර්ණයි කියලා අත්සන් කරගන්නවා.

සමහර දවස් වලට ඔය වෙලාවේ ASL අයියලා පෙට්‍රල් එකෙන් පෙට්‍රල් එකට ඇවිත් බාල දක්ෂයන්ගේ ලොග් පොත්(අර දින සටහන් වගේ එව්වා ලියන තඩි පොත) දිනපතා ලියලද, පාඩම් පිළිවෙලද, පොතේ හිස්තැන් නැද්ද වගේ එව්වා පරික්ෂා කොරල බලනවා.

හුගක් වෙලාවට අපිට කම්මැලි හිතිලා කලින් සතියේ වැඩසටහන ලියන්න අමතක වෙච්ච දවසකටම පෙර පිනක් පල දීලා ලොග් පොත් පරික්ෂා කලොත් බඩුම තමයි.

කන්න වෙනවා උණ පතුරකින් හරි එහෙමත් නැත්නම් බටයකින් හරි පස්ස පැත්ත රතු වෙන්න. ඕක ඉවර වෙද්දී 10.00 විතර වෙනවා.

10.00 ට තියෙන්නේ ඉගැන්වීම් කටයුතු.ඒ වෙලාවට SL හරි ASL කෙනෙක් හරි අපිට අලුත් බාලදක්ෂ පාඩමක් කියලා දීලා සටහන් දෙනවා.

ගැට වර්ග(කපන එව්වා නෙමෙයි හොදේ ගහන එව්වා) තියෙනව නම් එව්වා ලනුවක් අරන්ම කියලා කරවනවා.කොහොම හරි ඕක ඉවර වෙද්දී 11.00 විතර වෙනවා.

ඊට පස්සේ තියෙන්නේ "විවෘත සැසිය" කියලා එකක්.ඒක මෙහෙයවන්නේ බොහෝ වෙලාවට SL තමයි එකේදී ඔක්කොම බාලදක්ෂයෝ ටික බාලදක්ෂ කුටියේ හරි එළිමහන් තැනක් හරි එකතු වෙලා ළමයිගේ ප්‍රශ්න වගේ එව්වා සාකච්චා කරනවා.

පස්සේ අලුත් බාලදක්ෂ ගීතයක් එහෙම ඉගෙනගෙන ඒකත් 3 න් 4 පාරක් කියවලා 11.15 ට විතර පටන් ගත්තු එක 11.45 විතර වෙද්දී ඉවර කරනවා.

පස්සේ තියෙන්නේ "අවසාන රැලිය" ප.ව. 12.00 ට විතර තමයි.එකේදිත් අර ආරම්භක රැලියේදී කිව්වා වගේ කරත්ත රෝදෙක විදිහට කාණ්ඩ පහම ප්‍රදාන කුඹ ගහ වටේ එකතු වෙනවා.

පස්සේ අවසන් නිවේදන එහෙම කියලා ඉවර උනාට පස්සේ ඒ දවසේ ඩියුටි භාරව හිටපු කණ්ඩායම් නායකයා ගිහින් උදේ ඔසවපු ගුවන් බාලදක්ෂ කොඩිය හකුලනවා.

එතැනදී හැමෝම අයෙත් පාරක් ගුවන් බාලදක්ෂ ගීතය කියනවා.අවසානයේ පහත හෙලපු කොඩිය ඒ කණ්ඩායමේ PLවිසින්ම පොඩියට නමලා ආපසු හැරෙනවා කුඹ ගහට පිටු පාලා.

එතකොටම ඊලග දවසේ ඩියුටි බාර ගන්න තියෙන කණ්ඩායමේ නායකයා PL ඇවිත් ආචාර කරලා කොඩිය භාරගන්නවා. භාරගත්තු කොඩිය ඌ ගිහින් ASL මහතෙකුට භාර දෙනවා.

අන්තිමට ආරම්භක රැලියේදී කිව්වා වගේම කණ්ඩායම් පහ විසිරිලා යනවා.ඊට පස්සේ තියෙන්නේ පිහිනුම් පුහුණුව.කැමති උන්ට ගෙදර යන්න පුළුවන් කැමති එවුන්ට පිහිනන හැටි ඉගෙනගන්න යන්න පුළුවන්.

පීනන්න තියෙන්නේ ගුවන් හමුදා කදවුරේ පිහිනුම් තටාකේ තමයි.සමහර දවස් වලට පිහිනන්න යන ඒක නවත්තලා අපි හොකි ගහන ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහලා පිස්සු නටලා තමයි ගෙදර යන්නේ.

කොහොමත් කෑම්ප් එකෙන් එලියට එද්දී 2.30 විතර වෙනවා.ඔන්න ඕක තමයි හැමදාම වෙන වැඩසටහන ගුවන් බාලදක්ෂ කදවුර ඇතුලේ.

හප්පා යන්තම පොස්ට් 3 කින් වැඩේ ගොඩ දාගත්තා.ඊලගට කියන්න පුළුවන් මම මුලින් කියන්න තටමපු කතාව.ඒක මෙලෝ රහක් නැති කතාවක් වේවිද දන්නෙත් නැහැ.

හැබැයි අපේ රත්ගමයාගේ බාශාවෙන්ම කියනවනම් ටිකක් ඉකේයියා කතාවක් තමයි මට වෙච්ච.හැකි ඉක්මනින් ඒ කතාවත් අනිවා දාන්නම් එතකන් රැදී සිටින්න අපරාජිතයා සමගින්.

ජය වේවා....!!!  

ගුවන් බාලදක්ෂ මතක සටහන් 02 - දවසේ වැඩ සටහන I


මේ කතාව පටන් ගන්න හැදුවේ ගුවන් බාලදක්ෂ කරද්දී මට උනු අංජ බජල් සීන් එකක් කියන්න.එත් එකපාර පොල්ලෙන් ගැහුවා වගේ කිව්වම කියෝන කාට හරි නොතෙරේවි කියලා හිතුනු හින්දයි කෑලි වලට කඩලා විස්තර කරන්න ගත්තේ.

මෙන්න තියනවා පලවෙනි කෑල්ල.මේක කියවන්න කලින් එක කියෝලා එන්න කියෙව්වේ නැතිනම්.නැත්නම් මෙලෝ හසරක් තේරෙන්නේ නැති වේවි.... හරි කතාවට බහිමු..

කොහොම හරි බාල දක්ෂ පන්ති  තිබ්බේ සෙනසුරාද උදේ ඉදන් දවල් වෙනකන්. කණ්ඩායම් පහ මාරුවෙන් මාරුවට සතියෙන් සතිය මුළු කාණ්ඩ පහම මෙහෙය වන්න ඕන දවසේ වැඩ සටහනට අනුව.

ඒ කණ්ඩායමක් එදාට ඩියුටි කණ්ඩායම කියලා නම් කරනවා.එකේදී මුලින්ම කරන්න ඕනේ උදේ පාන්දර 7.30 ට විතර ප්‍රදාන මුර පොලෙන් ඇතුලට ගිහිල්ලා බාලදක්ෂ කුටියට එන්න ඕනා.

පාන්දර 7.30 වෙද්දීවත් ප්‍රදාන මුරපොල ගාවට එකතු වෙන්න ඕනේ.කටුනායක කැම්ප් එකට ඇතුල් වෙන තැන් මට මතක විදිහට ඒ කාලේ 3 ක් තිබ්බා. එකක් කටුනායකින්, අනික අක්කර පනහා පැත්තෙන්,අනික් තැන හරියට නිච්චි නැහැ.

මොකද මාත් බාල දක්ෂ වලට ටටා බායි කියලා දැනට අවුරුදු 7ක් විතර වෙන නිසා. අපි ඇතුලට ආවේ කටුනායක තිබ්බ ප්‍රධාන මුර පොලෙන්.තව සෙට් එකක් ආව අක්කර පනහා පැත්තෙන් තිබ්බ මුර පොලෙන්.

අපිට ඒ කාලේ ඕන වෙලාවක ඇතුලට යන්න පුළුවන් වෙන විදිහට හැදුනුම්පතකුත් තිබ්බා.පාන්දර 7.30 තමයි අන්තිම වෙලාව.කට්ටියම බලන් ඉදල එන එවුන්ව සෙට් කරගෙන ඇතුල් වෙනවා ප්‍රදාන මුර පොලෙන්.

ඇතුල් වෙලා කිලෝමීටර් 2 කක් විතර පයින් යන්න ඕනෑ බාලදක්ෂ කුටියට.බයිසිකල් වල ආපු එවුන් එක්ක අනික් උන් ඩබල් දාලා යනවා.මදි වෙන එවුන් ටික පයින් අදිනවා.පයින් යන්න වෙන්නේ අලුතෙන් එන පොඩි එවුන්ට තමයි.

එක අතකින් පයින් එන එක ටිකක් විතර සැපයි.මොකෝ ගිය ගමන් සුද්ද බුද්ද කරලා ගන්න වෙනවා.ඒ නිසා ඉක්මනට යන උන්ට ඉක්මනටම පෝරියල් එක ඇදෙනවා.

පයින් යන උන් යද්දී අරුන් ටික වැඩ කොටසක් කරලා ඉවරයි. ඒ නිසා මාත් හිටි ගමන් ඔය පයින් යන සෙට් එකට එකතු වෙනවා පොඩි එවුන්ව මෙහෙයවන් යන්න.

පොඩි උන් කිව්වේ මේ කිරි බොන උන් නෙමෙයි හොදේ නවකයෝ.අවම 6 වසරවත් වෙන්න ඕනේ.සමහර උන් අපිට වඩා වැඩිමල්.ඒත් උන් අපිට පොඩි උන් තමයි එතැනදී. හික් හික්.

කොහොම හරි පයින් කොටලා 7.50 වෙනකනුත් පයින් අදිනවා.ගිය ගමන් කරන්න තියෙන්නේ සුද්ද කරන එක කිව්වත් වගේ.මල් පැල වලට වතුර දාලා, කරුමක්කාර කොට්ටන් ගස් වලින් වැටෙන කොට්ටන් කොළ අතු ගාලා, බාල දක්ෂ කුටිය සුද්ද පවිත්‍ර කරලා ගන්නවා 8.30 වෙන්න කලින්.

වැඩ කරන්න ඕනේ කට්ටියව අදාළ  වැඩ වලට බෙදලා දාන්නේ එදාට කණ්ඩායම් පහම මෙහෙයවන PL කෙනා තමයි.ඌ තමයි එදාට ගුටි කෑමේ වැඩිම සම්බාවිතාවයෙන් ඉන්න එකා.

ඒ අතරතුරේ PL එදාට ආරම්භක රැස්වීම පවත්වන්න තියෙන තැන කොඩි කණුවට ගුවන් බාල දක්ෂ කොඩිය ගැට ගහලා ඒක සකසල තියනවා.

අපේ කොඩිය බිම ඉදන් ඉහලට ඔසවන්නේ නැහැ.කොඩිය නමන විදියක් තියනවා පුංචි වෙන්න.එහෙම කුඩාවට නමලා කොඩි කුඹ ගසේ ඉහලට වෙන්න ඔසවලා ගැට ගහලා තියනවා.

එතකොට ගුවන් බාලදක්ෂ කොඩිය ඔසවන්න ඕනා උනාම ලනුව ඇදපු ගමන් කොඩිය ගුවනේදීම දිග හැරිලා ලෙල දෙන්න ගන්නවා.ඕක ගුටි කන්න පුළුවන් තවත් හොද පොයින්ට් එකක් තමයි.

කොඩිය නමලා ගැට ගහද්දි උඩ යට මාරු උනොත් බඩුම තමයි.අම්මි ගහනවා බැට් එකෙන්.එතකොට ගුවන්  බාලදක්ෂ කොඩිය ගුවනේ ලෙලදෙනවා උකුස්සා ඔලුවෙන් හිටන්.හික් හික්.

ඒකට දඩුවම තමයි ආරම්භක රැස්වීම ඉවර උනහම කොඩිය දාලා තියෙන කනුව දිගේ උඩට බඩ ගාලා ගුවනේ ඉදන්ම කොඩියේ ගැට ලිහලා උඩ යට මාරු කොරලා උකුස්සව කකුල් දෙකෙන් හිටවන එක.

ඒක නිසා ගොඩක් වෙලාවට PL කාරයාම තනියම කොඩිය ගැට ගහන ඒක කරනවා වෙන මොනවා නොකලත්.සුද්ද කරලා ඉවර උණු ගමන්ම මුහුණ කට හෝදගෙන ලෑස්ති  වෙනවා ඊළගට තියෙන "කාණ්ඩ පරීක්ෂණයට".

ඕකෙදි ASL කෙනෙක් එනවා පෙට්‍රල් එකෙන් පෙට්‍රල් ඒකට ළමයින්ගේ කොණ්ඩා, නියපොතු, පිළිවෙලද; ඇදුම් පිළිවෙලට ඇඳලා කරලා, ස්කාෆ්(අර බෙල්ල වටේ ඔතන් ඉන්න ලේන්සුව වගේ එක) එක හරියට දාලා, බෙල්ට් එක තද වෙන්න දාලා තියෙනවද; පෙට්‍රල් එකක් තව එකකින් වෙන් වෙන තීරයට හිටවලා තියෙන ලුමිනෙස් ගස් වලට වතුර දාලද; බාල දක්ෂයන්ගේ ලොග් පොත් පිළිවෙලට පොත් තියන්න උණ බට වලින් හදපු අට්ටාල වගේ එව්වා වල තියලද වගේ එකී නොකී බොහෝ දේවල් බලනවා.

පොඩි හරි වැරද්දක් තිබ්බොත් ඉතින් PL සහ APL ඩබලට බඩුම තමයි. කාණ්ඩ පරීක්ෂණය ඉවර උන ගමන්ම පටන් ගන්නවා "ආරම්භක රැලිය".

එකේදී බාලදක්ෂ කණ්ඩායම් 5 හම කරත්ත රෝදෙක හැඩේට PL ඉස්සරහින් සහ APL පිටු පසින් ඉදලා කොඩි ගහ වටේට එක්රැස් වෙලා ඉන්නේ.

එදාට ඩියුටි තියෙන කණ්ඩායම තමයි දක්ෂිණාවර්තව ගත්තම මුලින්ම ඉන්නේ. ඊලග දවසේ වැඩ බාර ගන්න කණ්ඩායම තමයි  දක්ෂිණාවර්තව ගත්තම අන්තිමටම ඉන්නේ.

කොහොම හරි එතැනදී SL ගේ ASL ලගේ කතා එක්ක අර කිව්වා බාල දක්ෂ කොඩියත් ඔසවලා බාල දක්ෂ ගීතය කියලා.රැස්වීම ඉවර කරලා දානවා.

එකේදිත්  විසිර යන්නේ කණ්ඩායම් 5 හේම PL ලා අඩියක් ඉස්සරහට ඇවිත් සැලියුට් එක ගහලා ආපසු හැරිලා දක්ෂිණාවර්තව එක කණ්ඩායමකට පස්සේ අනික් කණ්ඩායම විදිහට දකුණට හැරිලා විසිරි යනවා PL ලගේ විදානේ අනුව.

ඊට පස්සේ තියෙන්නේ "ක්‍රීඩාවක් කිරීම".ඔය වෙලේට එක එක ෆන් ක්‍රීඩාවක් කරලා බාලදක්ෂ ක්‍රීඩා ජය ගෝෂා ගීතයකුත් කියලා  කොඩි අනික් පැත්තට හරොලා තිබ්බනම් ගුටි එහෙමත් කාලා  තවත් වැරදි තියනවනම් තවත්  කාලා හෙන වැඩ ගොඩක් වෙනවා.

මොකද SL ළමයින්ට එහෙම ගහන කෙනෙක් නෙමෙයි ASL ලට ඉන්න දෙන්නෙක්ම තරුණ කොල්ලෝ.උන් තමයි ඉතින් නෙලන්නේ වැරදි වලට හැබැයි SL ට හොරෙන්.

එක්කෙනෙක් නමින් අමල්,අනිකා චානක.කාගෙන් බේරුනත් මුන් දෙන්නගෙන්නම් බේරිලි බොරු.වැරද්දක් කලොත් විනාසයි.ක්‍රීඩාව කරන්නේ ගුවන් හමුදා කදවුරේ හොකී ගහන ග්‍රවුන්ඩ් එකේ.අපේ බාලදක්ෂ කුටිය ගාවම තමයි තියෙන්නේ.

ඔතනට SL එන්නේ නැති නිසා වැරදි වලට ඔක්කොටම අල්ලගන්නේ ඔතනදි තමයි.  හප්පා දවසේ වැඩ සටහන විස්තර කරලම පොස්ට් 4 ක් විතර ලියන්න වේවිද මන්දා.බලමු 3 කින් ඉවර කරගන්න උපරිම ගේමක් දෙන්නම්.

බැරි උනොත් නම් 4 කට යන්න වෙනවා.බලමු............ එතකන් රැදී ඉන්න අපරාජිතයා සමගින්.............
ජය වේවා......!!!

Thursday, March 17, 2011

ගුවන් බාලදක්ෂ මතක සටහන් 01 - හැදින්වීම


ඔන්න අද කියන්න යන්නෙත් මට උණු ඇබැද්දියක්ම තමයි.අපරාජිතයා කියෝන කට්ටිය දන්නේ නැහැනේ මේ අපරාජිතයත් කාලයක් බාල දක්ෂ කලයි කියලා.

බාල දක්ෂ කිව්වට ඒක නිකන් බාල දක්ෂ නෙමෙයි.මම කලේ ගුවන් බාල දක්ෂ.කළේ කටුනායක ගුවන් හමුදා කදවුරේ.ලංකාවේ ගුවන් බාලදක්ෂ මුලස්ථානය තිබ්බේ කටුනායක.

ඒ වගේම තවත් ඒකෙම කෑල්ලක් තිබ්බා ගුවන් පුර. ඒ කියන්නේ කොළඹ සිනමන් ලේක් හෝටලය ඉස්සරහ තියන ගුවන් හමුදා කදවුරේ.

බාලදක්ෂ සංගමයට බදවා ගත්තේ ඉස්කෝලෙන් උනාට එකේ වැඩ කටුතු කරගෙන ගියේ ඉස්කෝලෙන් පරිභාහිරවයි.බදවා ගැනීමේ සුදුසු කමක් විදියට ලග නෑයෙක් හරි  අදුරන කෙනෙක් හරි ගුවන් හමුදාවේ සේවය කලයුතුවත්  තිබුනා.

ඉතින් මටත් කොහොම හරි ඔය පිනා චාන්ස් එක ලැබුනා අපේ මාමා හිටපු හින්දා. අපේ සෙට් එක කණ්ඩායම් වලට බෙදලා තිබ්බේ.කණ්ඩායම් නම් කරලා තිබ්බේ ගුවන් යානා වල නම් වලින්.

කණ්ඩායම් 5 ක් තිබ්බා.ශාමාශෙට්ටි, මිග්, සෙස්නා, ඇව්රෝ, චිප්මන්ක්.ඔන්න කණ්ඩායම් වල නම් ටික. කොහොම හරි මම හිටියේ ශාමාශෙට්ටි වල.

මම බාල දක්ෂ කරන්න බැදුනේ 2000 මැද බාගයේ විතර.දැන් කියන්න යන සිද්දිය වෙන්නේ 2003 මුල බාගයේ විතර.

බාල දක්ෂ ප්‍රධාන නායක මහතාට කිව්වේ "ස්කවුට් ලීඩර්" කියන එක කෙටිකරලා SL කියලා.උප ප්‍රධාන නායක මහතලා හිටියා 3 න් දෙනෙක් ඒ අයට කිව්වේ ASL කියලා.ඒ "ඇසිස්ටන් ස්කවුට් ලීඩර්" කියන ඒක කෙටි කරලා.

අපේ ගෘප් එකේ කණ්ඩායමකට කිව්වේ "පෙට්‍රල්" එක කියලා.කණ්ඩායමේ නායකයාට කිව්වේ ඒ නිසා "පෙට්‍රල් ලීඩර්" කියලා.ඔය කෑල්ල කෙටි කරලා ලේසියට කිව්වේ PL කියලා.උප ප්‍රධානියාට කිව්වේ APLකියලා.ඒ "ඇසිස්ටන් පෙට්‍රල් ලීඩර්" කියන නම කෙටි කරලා.

මම කොහොම හරි මේ සිදිය වෙන කොට අපේ කණ්ඩායමේ APL.ඒ අපේ කණ්ඩායමේ හිටපු නිත්‍ය PL A/L විභාගය හින්දා බාලදක්ෂ වලට ටටා බායි කිව්ව හින්දා හිටපු APL එකා PL උනා.

මම තමයි ඊට පස්සේ හිටපු ජෙෂ්ටයා අපේ කණ්ඩායමේ.ඒක නිසා මට APL පෝරියල් එක ලැබුනා.පෝරියල් එක කිව්වේ ඔය පොස්ට් දෙක හෙනම කට්ටක්.

ගෘප් එකේ මොකෙක් හරි එකෙක් නියපොතු වවල හරි, බෙල්ට් එක හරියට දාලා නැත්නම් හරි, නැත්නම් විනය විරෝදී ලෙස හැසිරිලා හරි මාට්ටු උනොත් කණ්ඩායම් පරික්ෂාවේදී PL - APL ඩබලට අම්ම්බානෙකට කන්න වෙනවා අත පුරවලා කන හරහා ආයේ මදි නොකියන්න ඔව්ව කලින් බලලා තිබ්බේ නැහැයි කියලා.

අනික බාල දක්ෂයන්ගේ එන්න යන්න කියලා සංඥා දෙන්නේ විසිල් භාවිතයෙන්.ඒ නිසා විසිල් එකක් ගහපු වෙලේක එකෙකුට ඇහුනේ නැතුව කැදවුම් ස්ථානෙට එන්න ඌ පරක්කු උනත් කන්න වෙන්නේ ඌටත් එක්කම ඌ අයිති පෙට්‍රල් එකේ PL-APL ඩබලට.

ඒක නිසා ඔය පට්ටම් දෙක ගුටි කන පට්ටම් දෙකක් කියලා නම් කරන්න පුළුවන්.සමහර වෙලාවට කණ්ඩායම් 5 හේම නායකයෝ ඒ කිව්වේ PL ලව විතරක් රැස් කරන විසිල් එකක් ගහනවා කෙටි නලා ශබ්ද 3 ක් එක්ක එන දිග නලා ශබ්දෙකින් බාල දක්ෂ නායක මහතෙක් හරි, එදාට කාණ්ඩ පහ මෙහෙයවන එකා හරි.

ඒ වෙලේට PL ඉන්නේ පාඩම් වැඩක හරි වෙන මොකකට හරි ඌ එලියට ගිහින්නම් හරි ඒ ගැන APL ඇලට් එකේ ඉදල PL වෙනුවට APL යන්න ඕනා නැත්නම් ඒ වෙලෙටත් අඬ ගහලා කන පුරා ලැබෙනවා.

ඒක නිසා APL කියන්නේ කට්ටෙත් කට්ටක්.ඒ තරමටම විනය අතින් නීති රීති මාරම තදයි.

මම මුලින් හිතුවේ නිකන් වෙච්ච සිද්දියක් විතරක් කියලා දාන්න කියලා.එත් එහෙම කියලා තේරුමක් නැහැ. මොකද නිකන් කිව්වම කියෝන ඔයාලට නිකන් මම අන්ධයට කිරි වල  හැටි කිව්වා වගේ වෙනවනේ.

එක නිසා මම පොස්ට් එක කෑලි කීයකට හරි කඩලා දාන්නම්.උපරිම කෙටි කරලා පස්සේ සිද්දිය කියන්නම්.එහෙම හොදයි කියලා මම හිතනවා.

හප්පා මේ ටික කියද්දීම මාරෙට දිග උනා.ඉතුරු ටික හැකි ඉක්මනින්ම ඊලග පොස්ට් එකෙන් දාන්නම්. මෙහෙම විස්තර කරන එක කියෝන ඔයාලට වැදගත් වේවි කියලත් හිතුණු නිසයි දැම්මේ.

අනික කතාව නිකන් කිව්වට තේරෙන්නේ නැති වේවි කියලා හිතුනු නිසයි.රැදී ඉන්න අපරාජිතයා සමගින්..... ජය වේවා....!!!

Wednesday, March 16, 2011

කෝච්චි ලව් ඉලව්


මම අද කියන්න යන්නෙත් නිකන් මගේ හිතේ ඇති උන මට හිතෙන මගේ අදහසක් ගැන මේ රටේ ලෝකේ නිතර වෙන සිද්දියක් අල්ලලා.

මම සාමාන්‍යයෙන් කැම්පස් යන්නේ එන්නේ පොදු ප්‍රවාහන දුම්රිය රථයෙන්. ඇයි යකෝ අපි කියලා තාම හම්බු කරන මිනිස්සුය ඒකයි.

ඉතින් ඔය යන එන අතර තුරේ නිතරම දකින්නේ එකම මුහුණු ටික තමයි.උදේට ඔෆිස් යනකොට පිපිලා දිලිසෙන මුහුණුයි.හවසට එනකොට පර වෙලා මැලවෙලා යන මුහුණුයි තමයි ඉතින් හැමදාම.

ගැහැණු අය ගැනනම් ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනා.උදේට යනකොට පාන් පිටි උළල නිකන් හරියට එම්බාම් කොරලා වගේ එනකොටත් එමම තමයි.

තඩි හෑන්ඩ් බෑග් එකක් උස්සන් යන්නේ මං හිතන්නේ මේක්-අප් සෙට් එකත් ඇතුලට බස්සගෙන වෙන්ටැ යන්නේ.

පොඩ්ඩක් හරි කෝච්චිය සිග්නල් නැතුව නවත්තලා තිබ්බොත් දිය වෙලා වැක්කෙරෙනවා ඔක්කොම පාන් පිටි උලපුවා ටික දාඩියත් එක්කම. විලම්බීත ගොඩවල්.

එව්වා දකින කොට පිළිකුල් භාවනාව කරන්න වනගත වෙන්න යන්න හිතෙනවා. ඔය හැමදාම යන සෙට් එකේ ඉන්නවා බොහොම ලස්සන කපල් මැදි වයසේ කස්ටිය තමයි ඉතින්.

බිස්කට්, කේක් නානා ප්‍රකාර දේවල් අනුභව කරා පෙම් කෙල කෙල තමයි යන්නේ.මුල් කාලේ මං හිතුවේ අනේ වාසනාවන් මේ යන්නේ ශ්‍රී ලාංකීය ජන රජයේ එකට පවුල් කන අඹු සැමි යුවලවල් නේ කියලයි.

ඇයි යකෝ මිනිස්සු කියනවා එන්න එන්න පවුල් ආරවුල් වැඩි වෙනවලු.දික්කසාද වෙන ගණන වැඩි වෙනවලු. අනුන්ගේ කුරුළු කුඩු ඉහිරවන්න කට කතා හදන යක්කු.නොදෝමකින් මුන්ගේ කටේ හොරිම දාන්න ඕනේ කියලා මට නිතර හිතුනා.

එත් ඒ කපල් දිහා සියුම් විදියට බලන කොට තමයි තේරුනේ මෙන්න බොලේ ගෑනු කෙනා බහින්නේ එක දිහාවකින් පිරිමි එකා බහින්නේ තවත් දිහාවකින්.

පස්සේ තමයි තේරුනේ මේ යන්නේ කොච්චි ලව්නේ කියලා. මිනිස්සුන්ගේ ගෑනු ගෙදර; මිනිහා මෙහේ වෙන ගෑනියෙක් එක්ක උකුළු මුකුළු කරනවා.

ගෑනිගේ මිනිහා වෙන කොහෙහරි ජොබක් කරනවා ඇති.ඌත් ගෑනිව විශ්වාස කොරලා ජොබකට එවනවා. කී කෝච්චියේ වෙන මිනිහෙක් එක්ක හුරතල් වෙනවා.

හොදම දේ ඕක නෙමෙයි බොලව් දවසක් ඔහොම යන වෙලේක එහෙම නිතර යන කපල් එකක ගෑනු කෙනා මුලින් නැගලා එන්නේ.එදා එයා ඉදගෙන හිටියේ.

කී එක්ක උකුළු මුකුළු කරන මිනිහත් නැග්ග පස්සේ ස්ටේෂන් එකකින් හැබැයි එදා මිනිහා නැග්ගේ තවත් ගෑනු කෙනෙක් එක්ක.මං හිතන්නේ ඒ මුගේ විවාහක (නො)ආදරණිය බිරින්දෑ.ගෑනු කෙනා මොකක් හරි එකකට කොළඹ යන්න.

මුත් එක්ක ආවා පොරගේ වයිෆ්ව අර වෙනද යන සෙට් එකටම.මෙන්න බොලේ අර හැමදාම අරුත් එක්ක උකුළු මුකුළු කර කර යන ගෑණිම ලැජ්ජා නැතුව ෂිට් එකෙන් නැගිටලා අරකිට ෂිට් එක දුන්නේ නැතැයි
"අහ් එන්න අක්කේ ඇවිත් වාඩි වෙන්න" කියලා.

අනේ මන්දා මුං ඉන්නේ රෙද්දක් ඇදන්ද කියලත් වෙලාවකට හිතෙනවා.සමහර පෙට්ටි වල රෑට එහෙම වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටිත් විකාශය වෙනවා.

අනේ මන්දා කව්රු ඔව්වට වග කියන්න ඕනද කියලා. මේක කියෝන නිතර පාහේ කොච්චි වල යන ඔයාලත් දන්නවා ඇතිනේ මම කිව්වා එකේ සත්‍ය අසත්‍යතාවය.

සංවාදෙට විවෘතයි ඕන කෙනෙක්ට. මල් මාලා, ටොපි, චොකලට් වලින් බැරිනම් මඩ, ගල් මුල්, බාල්දි වලින් හරි.

අන්තිමට කියන්න තියෙන්නේ ඉතින් තමුන්ගේ මිනිහා හරි ගෑනි හරි තමුන් ගැන විශ්වාසයක් තියල ඉන්න කොට ඒ විශ්වාසෙ කඩන මොකෙක් හරි පරයෙක් ඉන්නවනම් ඌට හරි ඒකිට හරි හොදක් වෙන්නේ නැහැයි කියන එක....
පෝරියල් එක හම්බු වෙන්න ගත්තම ගෙඩි පිටින්ම ලැබෙනවාය කියන එක....

ජය වේවා....!!

Tuesday, March 15, 2011

බුට් කෑවට පසු නාපු බාල්දිය


මේ කතාව මගේ තිබ්බ ලව් ඉලව් හුටපටේට පොඩ්ඩක් සම්බන්ධයි.උඹලට මන් "මා හැර දමා ඈ ගියා" පොස්ට් එකේදී කිව්වනේ බොලව් 2010 පෙබරවාරි 12 වෙනිදා මට රාජකීය වංශෙන් ලොකුවයින් බූට් එකක් හම්බුනා කියලා.

ඔන්න ඉතින් මේක කියෝන මං වගේම ලොකු සපත්තු කාලා තියෙන අය දන්නවා ඇතිනේ ලව් එකක් තිබිල නැති උනාම ජිවිතේට දැනෙන තනිකම, පාළුව, කාන්සිය.

මටත් බූට් වැදුනේ සිකුරාදා දවසක එදා අපේ කැම්පස් එකේ එක්සෑම් එකකට ස්ටඩී ලිව් දුන්න දවස.මං එදා ඒ පොස්ට් එකේදී කියපු විදිහට මගේ උපන් ගමේදී බයිට් වෙලා දුක් සුසුම් මැද ගෙදර ආවනේ.

ඇවිත් ඉතින් දවස් දෙකක් විතර යනකන් කෑවෙත් නැහැ අම්ම කන්න කතා කලාම ශේප් එකේ බත් එක අන අනා ඉදලා විසික් කරනවා. උදේටයි හවසටයි හදල දෙන කිරි එක එහෙම්මම සින්ක් එක දිගේ ගලාගෙන යනවා.

මොනවා කරන්නද කෑම විසිකරන එක පව් එත් මට ඔක්කොම එපා වෙලා හිටියේ.පට්ටම පාලුයි.

මගේ ඉස්කෝලේ යාලුවෝ ගොඩක් එවුන් ජොබ් කරනවා.උන්ට කරදර කරන්නත් බැහැ.කැම්පස් එකේ උන් එක්සෑම් එකට පාඩම් කරනවා උන්ට කරදර කරන්නත් බැහැ.

බූට් එකක් කෑවා කියල කටක් ඇරලා අම්මට කියන්නය.අම්මි ගහයි බැට් එකෙන් එහෙම උනානම්.එත් බොලව් අම්මලට බොරු කරන්න බැහැනේ.අපිට කලින් ඒ මිනිස්සු මේ වයස පහු කොරල නෙවැ ගියේ.

මට මොකක් හරි ලොකු ප්‍රශ්නයක් කියලා අම්මට තේරුණා.එත් අහන්න ආවේ නැහැ.තේරෙන්න ඇති කෙල්ලෙක්ගෙ කේස් එකක් කියලා.මොන පාඩම්ද දවසම නිදියනවා.

බැරිම තැන තමයි කවි ලියන්න ගත්තේ දුකයි, කාන්සියයි, පාලුවයි, තනිකමයි යන්න මුළු දවසම ඒ කාලේ කාමරේට වෙලයි හිටියේ.මුහුණු පොතටවත් ලොග් වෙන්න තරම් හිතේ ආසාවක් තිබ්බෙත් නැහැ.

අනික බූට් කාපු අය මේක කියෝනවානම් දන්නවා ඇතිනේ දවස පුරා කෙල්ල එක්ක ෆෝන් එකෙන් මැසේජ් කොටලා කොටලා අන්තිමට එහෙම එකක් නැති උනාම ෆෝන් එක අල්ලද්දීත් නිකන් මොකක්ද වගේ මාර අවුල් වියවුල් වෙලා දෙගොඩ තලා යනවා කියලා .

කොහොම හරි ලව් කරන කාලේ මගේ ෆෝන් එකට දන්නේ නැති නම්බර් එකකින් මිස් කෝල් එකක් ඇවිත් තිබ්බා.

මගේ ෆෝන් නම්බර් එකට දන්නේ නැති එකකින් මොකෙක් හරි මිස් කෝල් එකක් ගැහුවොත් මම මගේ ලග තියෙන වෙන සිම් එකක් දාලා කතාකරන්නේ කව්ද කියලා චෙක් කොරනවා මගේ එකෙන් කෙලින්ම බලන්නේ නැතුව.

කොහොම හරි මිස් කෝල් එක දීපු නම්බර් එකට මං ඒ දවස් වල ඩයල් කලාම අනික් පැත්තෙන් කතා කලේ කෙල්ලෙක්. මං කතා කරන්න ගියේ නැහැ එත් ෆෝන් එකේ කන්ටැක්ට්ස්  වල "A" කියල සේව් කරලා තිබ්බා.

මොකද මගේ යාළුවොයි කොල්ලොයි බල්ලොයි හැම එකාම මගුලකදී හරි මළගෙදරකදී හරි ඒ කාලේ මාව සෙට් උනොතින් අපේ කැම්පස් එකේ කෙල්ලෙක්ගෙ නම්බර් එකක් නැද්ද කියල අහනවා සෙට් කරගන්න.

යකෝ දැන දැන දන්න කෙල්ලෙක්ව අමාරුවේ දාන්න පුළුවන්ය.එහෙම වෙලාවල් වලදී මං "මචං මේ නම්  පට්ටම කෑල්ලක්" කියලා ඌව අන්දලා දෙන්නේ ඔය වගේ නම්බර් එකක් තමයි.

ඉතින් දැන් මට සසර කළකිරිලා පිළිකුල් භාවනාව කර කර ඉද්දි මට ඔය සේව් කරලා තිබ්බා නම්බර් එක මතක් උනා.මටත් දැන් නිකන් මෝල් වෙලා වගේනේ.

මම හීනියට ගැහුවා මිස් කෝල් එකක්. ආයේ ගැහුවා එකක් ඔහොම ටිකක් මිස් කෝල් ගහලා වැඩේ දුන්නම "කව්ද මේ කරදර කරන්නේ" කියලා මෙන්න බොලේ රිප්ලයි එකක් එනවා.ඊට පස්සේ මම පටන් ගත්තා මගේ සුපුරුදු මැසේජ් කෙටිල්ල.

(මේ කයි දෙනවා නම් නෙමෙයි එත් මට ෆෝන් වලින් මැසේජ් කොටලා කෙල්ලෙක්ව අල්ලන්න ලොකු ප්‍රැක්ටිස් එකක් තියනවා.යාළුවො පුලුවන්නම් අල්ලපන් කියලා දීල තියෙන හැම නම්බර් එකක්ම වගේ මම කෝල් කරලා මැසේජ් කොටලා අල්ලලා තියනවා.

හැබැයි ඉතින් ඔහොම මැසේජ් කොටන්න අල්ලගන්න අය පස්සේ හෙන වාත කේස් වෙලා තියනවා.එතකොට තමයි එපා වෙන්නේ.ඇයි යකෝ මම එවුන්ට කිසි බලාපොරොත්තුවක් දීලත් නැතුව උන් මං ගැන හෙනට ඇදගත්තට මං මක්ක කොරන්ටය.)

කොහොම හරි ඉතින් කතා කරන කෙල්ලව  මැසේජ් 3-4 කින් යාලුවෙක් මට්ටමට අල්ල ගන්න මට පුළුවන් උනා.ඊට පස්සේ මෙයා රිප්ලයි එකක් එවනවා "මට දැන්වත් ඔයාගේ ඇත්ත නම කියන්න මම කැමති නැහැ බොරු කරන අයට" කියලා.

ඉතින් මම එදා මොකක් හරි එහෙකට මගේ මුළු නමම කිව්වා.මෙන්න බොලේ නම ගහලා මැසේජ් කළා විතරයි මේකිගෙන් කෝල් එකක් එනවා.

දන්නා කෙනෙක් නෙමෙයිනේ මම එහෙම්මම ආන්සර් කළා.මෙන්න මෙහෙමයි දෙබස ගියේ.

මම:- හෙලෝ
එයා:- හෙලෝ මේ මම ඔයාව දන්නවා.
මම:- මොකක්...? මාව දන්නවා වෙන්න බැහැ.මං ඔයාව දන්නේ නැහැනේ.
එයා:-නැහැ නැහැ ඔයා **** නේ.මං ඔයාව දන්නවා.
(ඒ කාලේ මොකක්ද එකකට මම පොඩ්ඩක් විතර අපේ පැත්තේ හිට් වෙලා හිටපු චරිතයක්.මොකක්ද,මොකටද කියලනම් කියන්න බැහැ මෙතන.ඒක හින්ද මං හිතුවේ මෙකි මගේ නම අහලා ඇති කියලා)

මම:- ඔයාට මොකක් හරි වැරදීමක් වෙලා ඇති අනේ.
එයා:- නැහැ නැහැ ඔයා **** ව දන්නවනේ.
(අම්මට බෝල මෙකි දන්නවද කියලා ඇහුවේ මට බූට් එක තිබ්බ.කාලයක් මගේ කෑල්ල වෙලා හිටපු කෙල්ලගේ නම.මම පොඩ්ඩක් ඉන්න මම ගන්නම් කියලා ෆෝන් එක කට් කරලා මේකිට ගත්තා)

මම:-හෙලෝ ඔයා කොහොමද එයාව දන්නේ.
එයා:- හලෝ මම **** ගේ නැන්දගේ දුව.....

ඔන්න දෙබස ඕක ඇහුන ගමන් මට චූ ගියේ නැති ටික විතරයි.යකෝ වෙනවයින් වෙනවද මෙහෙමත් වැඩක්.නව නින්ගිරාවයිනේ.

කොහොම හරි මට බූට් එකක් වැදුනයි කියලා මේකි දන්නේ නැහැ.මේකි අහනවා "කෙල්ලෙක් ඉන්න කොට අනික් කෙල්ලන්ට කතා කරන්න ඔයාට ලැජ්ජා නැද්ද අනේ.? ඔයා එයාට බොරුවට නේද ආදරය කරන්නේ.?" කියලා.

මං ඊට පස්සේ වෙච්ච මුළු සීන් කොන් එකම එයාට කිව්වා.කොහොම හරි ඒකිටත් වෙච්ච දේ අහලා මාර අප්සෙට්. මං තියන්නම් කියලා කට් කරලා වෙච්ච මරාලේ කල්පනා කළා.ඇයි යකෝ චා 7 යි නේ.

මගේ මතකේ අතීතෙට ගලා ගියා.එත් ගොඩක් ප්‍රශ්න එක්ක.කොහොමද මේ නම්බර් එක මගේ ෆෝන් එකට ආවේ..? දැන් මේකි අරකිගෙන් ඇහුවොත් මම තවත් චා වේවිද..? ඔය වගේ එව්වා.

කොහොම හරි මම කෙල්ල එක්ක යාලු වෙලා ඉන්න කාලේ සමහර දවස් වල රෑට එයාට කතා කරද්දී ඒ පැත්තෙන් තවත් කෙල්ලෙක් කැකිරි පලනවා ඇහුන දවස් කීපයක්ම.

මම කව්ද කියලා ඇහුවම කිව්වා අපේ නැන්දගේ දුව අද අපේ ගෙදර ඇවිත් එයා මා එක්ක දැන් ඇදේ නිදියන් ඉන්නේ කියලා.

කොහොම හරි ඒ හිටපු කෙල්ල තමයි ඉදුනිල්.ඉදුනිල් කියන්නේ මගේ කෙල්ලගේ නැන්දගේ දුව.පස්සේ හිතුන මගේ ෆෝන් එකට ඒ නම්බර් එක එන්න ඇත්තේ කෙල්ලම ඒ ෆෝන් එකෙන් මගේ එකට මිස් කෝල් එක දෙන්න ඇතිය කියලා.

කොහොම හරි කාලයත් එක්ක ඉදුනිල් මගේ හොද යාලුවෙක් උනා.එයා **** වඩා මට සමීප උනා.මට එම්.එම්.එස්. වලින් එයාගෙත් ෆොටෝ පවා එව්වා.

එයත් මගේ හිටපු කෙල්ලට දෙවෙනි නැහැ.එත් දැන්නම් මං එයාට කතා කරන්නේ නැති තරම් මොකද එයත් පස්සේ මට හෙන ඇනයක් වෙන තරමට ආවා.එයා එක්ක කොල්ලෙක් යාලු වෙන්න අහනවය.ඔයා මගේ කොල්ල විදියට කතා කොරන්නය අනම් මනම් කියලා.

එත් ඒ වෙන කොට මං ඉගෙන ගත්තු එක දෙයක් තිබ්බා. ඒ කෙල්ලෙක්ට ලස්සන විතරක් තිබ්බට මෙලෝ රහක් නැතිය කියන එක.ලස්සන තිබ්බත් හිතින් කුහක නම් ඒ වගේ එවුන් එක්ක එකට වසන්න බැරිය කියන එක.

අනික මං කවදාවත් හිතේ එක කෙල්ලෙක් හිටියත් ඉදල ගියත් ඊට පස්සේ කොච්චර ලස්සන කෙල්ලෝ මම දැක්කත් මම සත පහකට ගණන් ගන්නේ නැති කොල්ලෙක්.එකත් එක හේතුවක්.

අදටත් ෆෝන් එකේ ඉදුනිල්ගේ ෆෝන් නම්බර් එක සේව් කරලා තියනවා.එයා මැසේජ් එකක් දැම්මොත් අහන්නේ ****(හිටපු කෙල්ල) කතා කලේ නැද්ද කියලා තමයි...

අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි කෙල්ලෙක්ට ලස්සන කියලා තිබ්බට මෙලෝම මෙලෝ රහක් නැතිය.හිතින් කුහකනම් ආත්මාර්ථකාමිනම් කවදාවත් ඒ වගේ එකියක් එක්ක එකට වැසිය නොහැක කියා පමණි...

ජය වේවා.....!!!