අපරාජිතයා :::: Aparajithaya
"ළඟම යාලුවෙකුටවත් කියන්න බැරි හිතට දැනෙන දේවල් මගේ පාඩුවේ ඔහේ ලියනවා......"
Friday, July 13, 2012
පොඩි කාලේ ඉඳන්ම හැම වැඩක් බාගෙටම කරපු හැටි
වැදගත් දේවල් විතරක් බ්ලොග් වලින් හොයන බ්ලොග් කියවන ගොඩක් දෙනෙක් ඉන්නවනේ.... එහෙම අය වැරදිලාවත් මේ පැත්තට ආවනම් මේ ඒ අයටයි කියන්නේ මේක මේ මෙලෝ රහකට නැති වැදගැම්මකට නැති ගූ 7 පට්ට පජාත පෝස්ට් එකක් වල් පල් ටිකක් දාලා ලියපු... ඔන්න කලින් කියලම පටන් ගත්තා.එහෙම ආවනම් වෙන එකක් කියගන්න වටිනා කියන වෙලාව නාස්ති කොර ගන්නේ නැතුව....
පුංචි කාලේ ඉඳන්ම මම හරියකට කියලා කරපු වැඩ තියෙන්නේ බොහොම අතලොස්සයි වැඩිමනක් තියෙන්නේ බාගෙට කරපු වැඩ ගොඩාක්... අද කියන්න යන්නේ අන්න ඒ වගේ මම බාගෙට අත ගහලා නවත්තලා දාපු දේවල් ගැන ආවර්ජනයක්......
පුන්චිම කාලේ ඉස්කෝලේ දි මම හිටියේ සිල්ගත්තු උපාසකයා වගේ මෙලෝ භාහිර වැඩක් කලේ නැහැ..... කොහොමින් කොහොම හරි අර දැන් කාලේ අම්මලගේ විභාගේ මට මතක විදිහට අපේ කාලේ ඒකට කිව්වේ පහේ ශිෂ්‍යත්වේ කියලයි... ඔන්න ඕක එහෙමත් පාස් වෙලා කොරලා 6 වසරට පාස් උනා කියහන්කෝ අන්න ඊට පස්සේ තමයි මට භාහිර වැඩ කරන්න ඕනෑ කියලා පොඩි උණක් ගත්තේ.....
එහෙම මොනවා හරි කොරන්න ඕනැයි කියලා ඉන්න කොට තමයි ගෙදරින් මට වයලින් එකක් අරන් දුන්නේ ගහපන් ඕක කියලා බුම්මට්ටා වගේ නිකන් ඉන්නේ නැතුව.... ඉගෙන ගන්න ගියේ ලංකාවේ බහුතරයක් සංගීත ප්‍රවීනයොත් එක්ක කරට අත දාගෙන ඉන්න තරමටම වැඩකරුවෙක් වෙච්ච ටිකක් වයස සංගීත ගුරුවරයෙක් ගාවට....
ගිහින් ගැහුවා වයලින් ඔය ගැහිල්ල ගැන කියලා වැඩක් නෑ රාග ගත්තම ඒකේ යන්ත්‍ර ගීත කියයි, තාන් කියයි,සර්ගම් ගීත කියයි, මධ්‍යය ළය ගීත කියයි එක එක විකාරා දැන්නම් මතකත් නෑ... හැමදාම ඒ කාලේ බැණුම් නම් නොසෑහෙන්න ඇහුවා ප්‍රැක්ටිස් කොරන්නේ නැහැයි කියලා......
වයලින් එකක් අරන් දීලා මාව අමාරුවේ දාන්න ගෙදරින් හිතුවා මදි එව්වා කොහෙද මාත් එක්ක මම සැලුනේ නෑ හැමදාම බැනුම් අහ අහා ගැහුවා වයලින් අවුරුදු 5ක්... කොහොම හරි වයලින් එක්සෑම් දෙකකුත් කලා ඒත් විශාරද එක්සෑම් එක කර ගන්න බැරි උනා. ඒ ඕ ලෙවල් ඉවර උන ගමන් ඒ ලෙවල් නිසා මම වයලින් එක කාමරේ මුල්ලකට ඔබපු නිසා.....
දැන්නම් වයලින් එකේ කෑලි.... ගට් එක ( වයලින් එකේ තත් ටික වයලින් එකට සම්බන්ද කරලා තියන පොඩි තන්තු වලින් හදපු කෑල්ලක්) තත් 4 ම කෑලි. කොටින්ම බෝ එක(වයලින් එක ගහන්න ගන්න කෝටුව වගේ එකට කියන්නෙ බෝ එක කියලා) අන්න එකේ කෙඳි ටික දිරලා..... දැන්නම් මට කවුරු හරි වයලින් එකක් දුන්නොත් ගහපන් කියලා තත් ටික අල්ල ගන්නවත් මතක නෑ... අන්න මගේ බාගෙට වැඩ කිරිල්ලේ හැටි අවුරුදු 5ක් වයලින් ගහපු ගැහිල්ල වතුරේ ගියා මගේ තියන නොසන්ඩාල කම නිසා.....
ඒ කාලේම ඒ කිව්වේ 6 වසරෙදිම ඉස්කෝලෙන් එක්කන් ගියා පීනන්න ඉගෙන ගන්න කැමති අයට ස්විමින් උගන්නන්න කටුනායක ගුවන් හමුදා කඳවුරේ ජල තටාකයට.... මම හිතන්නේ අවුරුද්දක් විතර යන්න ඇති.... කොහොම හරි එක එක කඩා කප්පල් කාරී ක්‍රියාවන් නිසා වැඩේ හබක් උනා... ඊට පස්සෙත් මම පීනන්න ඉගෙන ගන්න සෑහෙන්න ට්‍රයි එකක් දුන්නා එක එක තැන් වලින් ඒත් ජන්මෙට වඩා පුරුද්ද ලොකු කම නිසා වෙන්න ඇති එව්වා ඔක්කොම ලත් තැනම ලොප් උනා....
දැන් මට ආඩම්බරයෙන් කියන්න පුලුවන් මට තවමත් දියේ තියා ගොඩවත් පීනගන්න බැහැ... ටිකක් විතර පුලුවන් හැබැයි ඒකත් දැන් පුලුවන්ද දන්නේ නැහැ මොකෑ 2005 න් පස්සේ ඇලකට දොලකට තියා ස්විමින් පූල් එකකටවත් බැහැලා නැහැ නාන්න කියලා.... අන්න මගේ හැටි......
කොහොම හරි ස්විමින්ග් කෙරුවාව අප්සට් ගිය නිසා ක්‍රීඩාවක් කියලත් මොකක් හරි කරන්න ඕනෑ නිසා මම ගියා වොලි බෝල් (අත් පන්දු) ගහන්න.. මතක හැටියට ලංකාවේ ජාතික ක්‍රීඩාව මයේ හිතේ ඒ කාලේ... දැන්නම් අර සෙට් එකක් වට වෙලා බෝලෙකට පොර කන රගර් ද මොකක්ද මගුලක්නේ ජාතික ක්‍රීඩාව වෙන්න යන්නේ(දන්නෝ දනිති)....
කොහොම හරි වොලි බෝල් ගහන්න ගියේ 7 වසරදි විතර.ඒ කාලේ ඔව්වා කරන්න හේතුවක් තිබ්බා.... මම තමයි පන්තියේ හිටිය මිටිම පුන්චිම එකා... උස යන්න ඕනේනම් ස්විමින්, වොලි බෝල් වගේ එකක් කරන්න කියලා හැමෝම කිව්ව නිසයි ඔව්වට ගියේ... මම හිතන්නේ මගේ ඒකීය ස්වෛරී භාවයද මොකක්ද එක කඩා කප්පල් කරන්න එක එකා ඒ කාලේ ගහපු කුමන්ත්‍රණද කොහෙද... ඒ කාලේ කැරට් කකා පැන පැන ගිය හින්දා ( හාවා උන නිසා) අහු උනා...
කොහොමින් කොහොම හරි වොලිබෝල් ගැහිල්ල ගහන්න ඇති මාස 6 ක් විතර... මොන උස යැවිල්ලක්ද හිටියටත් වඩා මිටි වෙලාද මන්දා කිය කියා දානෙටයි, මලගෙවල් වලදියි හම්බු වෙන වේයෝ ටික කියන්න ගත්තම මට එපා උනා...
වොලි බෝල් ගැහිල්ලත් හරි සමහරදාට ඩෑෂ් බ්ලොක් කරද්දි අත් දෙක තැලෙනවා අම්බානෙට, වොලි පාස් කරද්දි ( අර ඇඟිලි තුඩු වලින් ඩැෂ් එක ගහන්න බෝලේ උස්සලා දෙන්නේ ඒකට කිව්ව නම ඕක මතක හැටියටනම්) ඇඟිලි උලුක්කු වෙනවා.... ඔව්වා වලින් පෝරියල් කාලම එපා උනා.... ගැහුවා වොලි බෝල් අන්තිමට මාස 6ක් විතර ඒකත් බාගෙට නවත්තලා දැම්මා....
ඊට පස්සේ ඔන්න ඔය කාලෙම ආවා ඉස්කෝලෙට කටුනායක ගුවන් හමුදා බාලදක්ෂ කණ්ඩායමට ළමයින් බඳෝ ගන්නවයි කියලා.... නිකන් නලියනවා නලියනවා වගේ නිසා ඉන්න බැරි කමට ගියා ගුවන් බාලදක්ෂයෙක් වෙන්න කියලා හිතන්.... හැබැයි දෙයක් පිළිවෙලට කරන්න, කලට වෙලාවට වැඩක් ඉවර කරන්න, නීට් එකට ඇද පැලදගෙන ඉන්න,උයන්න පිහන්න, කොටින්ම සෞඛ්‍යය කියලා දෙයක් දැන් මට තියෙනම් කිව්වත් වගේ කොටට නිය පොතු ටික කපලා, සපත්තු එහෙම පොලිශ් කරලා දත් මැදලා කොණ්ඩේ හිටන් පීරගෙන පිලිවෙලට මිනිහෙක් වගේ ඉන්න නම් ඉගෙන ගත්තෙ එතනින් තමයි...
ඒ නොසෑහෙන්න ගුටි කාලා.... කම්මුල් ඉදිමිලා තියෙන්න ඇති සමහර දවස් වලට... ඒත් එතනින් ජීවිතෙට එකතු වෙච්ච දේවල්නම් අදටත් වටිනවා.... කිව්වත් වගේ බාලදක්ෂ කලා, කැම්පෝරි ජම්බෝරි ගියා නොසෑහෙන්න අත්දැකීම් ගොඩාක් ජිවිතෙටත් එකතු කරගත්තා..... ඒත් ඒකත් බාගෙට අවුරුදු තුනහමාරක් විතර කරන්න ඇති මගේ හිතේ....
බාලදක්ෂ රැහැන ( බාලදක්ෂ පාඨමාලාවේ ජනාධිපති පදක්කම දක්වා යද්දි මැද තියෙන මට්ටමක් රැහැන කිව්වේ) වෙන්කන් කරලා ගුටි කන්න බැරිම තැන ගෙදරට බොරු 100ක් විතර ගොතලා ඒකත් බාගෙට නැවැත්තුවා.... ඒ කාලේ ඇතුලේ වෙච්ච දේවල් ඉස්සරහට ටික ටික ලියන්නම්කෝ... මම කලිනුත් ඒ ගැන පෝස්ට් 4ක් දැම්මා මතකයි....
කොහොමින් කොහොම හරි ඔහොම ඉද්දි 9 වසරෙදි විතර ආවා ක්‍රිකට් ඇම්මක්... ඒ කික් එකට අපේ සෙට් එකක්ම ගියා ක්‍රිකට් ගහන්න... මගේ මොකෝ අතින් පයින් යනවයි කියලයෑ මාත් ගියා ක්‍රිකට් ගහන්න කියලා ඒ ගැහිල්ලත් ගහන්න ඇති උපරිම අවුරුදු එකහමාරක් විතර ලෙදර් බෝලෙන් 3-4ක් කාලා ඇඟිලි කඩන්, සමහර එව්වා උලුක්කු කරන් අන්තිමට ක්‍රිකට් ගැහිල්ලත් නවත්තලා දැම්මා බාගෙටම......
කොහොම හරි ඔය කාලෙදිම තමයි ඉස්කොලේ ශිෂ්‍යය නායකයෙක් වෙලා ඉඳගෙන ඉල්ලන් ටින් කිරි ගාගත්තෙත්.... ඒකෙත් හිටියා 9, 10 , 11 කියන වසර තුනම... ඒත් සමාන්‍යය පෙළ කරලා ඉස්කෝලෙන් උස්ස පෙළ කරන්න වෙනත් ඉස්කෝලෙකට ගිය හින්දා ඒකත් වැඩක් උනේ නැහැ....
අදටත් ඉස්කොලේ ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙලා හිටියා කියලා ඔප්පු කරන්න සහතිකයක් වත් මන් ගාව නැහැ... බැජ් පළදවද්දි ඉතුරු වෙච්ච ඡායාරූප ටිකකුයි, බැජ් කියලා එල්ලපු බෙලෙක් කෑලි 3 කුයි, මිහිරි අමිහිරි මතක සටහන් පොදියකුයි ඇරෙන්න.... කොහොම හරි අන්තිමට ඒකත් බාගෙට කලේ.....
කොහොමින් කොහොම හරි ඒ ලෙවල් කරද්දි පිස්සු මර ගාත ඔක්කොම නවත්තලා ෆුල් ටයිම් ඉගෙනීමම කල නිසා බාගෙට කරන්න වැඩ වලට අත ගැහුවේ නැහැ... ඔන්න ඔහොමයි අපරාජිතයා කියලා නමක් ගහගෙන බ්ලොග් එක ලියන මම නටපු නාඩගම්... බලපල්ලා දැන් මේ බ්ලොග් ලිවිල්ල ඒකත් බාගෙට නවත්තලා දැම්මනේ...
මම නම් කවදාවත් හැදෙන එකෙක් නෙමෙයි පොඩි කාලෙ ඉඳන්ම ගෙදරින් අම්බානක් බාග වැඩවලට බැනුම් ඇහුවට..... දැන් උඹලා හිතයි මූනම් රීලා හරියට පු** හොදන්නෙත් නැද්ද කියලා.... නෑ නෑ ජීවිතේ සම්පුර්ණයෙන්ම කරපු දේවල් 3ක් තියනවා...
තූවෙනි එක තමයි මම කරාතේ කලා උසස් පෙළ අවසන් කලාට පස්සේ... අදටත් කරනවා... මම අද කලු පටි දාරියෙක්.... යන්තම් මොකක් හරි සම්පූර්ණයෙන් කරගන්න ඕනෙයි කියලා හිතපු නිසා ඒක කර ගත්තා ඒත් එකෙත් අවසානයක් නැහැ කලු පටි වලත් 1 සිට 10 දක්වා ශ්‍රේණියක් තියෙන නිසා......
දෙවනි එක තමයි ගොඩක් දෙනෙක් පුංචි කාලේ ඉඳන් දහම් පාසල් ගියාට එහෙමවත් කෙනෙක් තමයි දහම් පාසල් අවසානයත් කරලාම දහම් පාසල් ජීවිතය අවසාන කරන්නේ( අන්තිම එක ධර්මාචාරය ඒ උනාට ඒ මට්ටමට ලඟා වෙන්නේ බොහෝම අතලොස්සක් විතරයි). ජීවිතේ ගොඩාක් දේවල් බාගෙට කරපු මම යන්තම් දහම් පාසල් අවසානයත් කොරගත්තා හොදම ප්‍රතිපලයකුත් එක්ක....
අන්තිම එක ඒ වගේම වැදගත්ම එක තමයි ඉගෙනීම.... ඉගෙනීම පැත්තෙන් යන්න පුලුවන් උපරිමයටම යන්න මට පුලුවන් උනා... මං ගැන පෞද්ගලිකව දන්න ටික දෙනා මම කිව්ව දේ මොකක්ද කියලා දන්නවා.....
මේ බ්ලොග් එක කියවන අයට ඒ ගැන පැහැදිලි වැටහීමක් නැතුව ඇති... ඒත් එකක් විශ්වාසෙන්ම කියන්න පුලුවන්.ජීවිතේ මොන දේ බාගෙට කලත් මම හරියටම කල දේ ඉගෙනීම කියලා මට 100% ක් විශ්වාසයෙන් කියන්න පුලුවන්.....ඒත් අදටත් ඉගෙන ගන්නවා...
අර කව්ද මන්දා කියලා තියනවලුනේ ඉපදුන දා පටන්ම මැරෙන තුරාවට මිනිහෙක්ට කරන්න තියෙන එකම දේ ඉගෙනීම කියලා.... ඔන්න ඔය 3 විතරයි මතක විදිහට මම ජිවිතේ සම්පූර්ණයෙන් කරපු දේවල් 3 කට තියෙන්නේ...
ඒකෙනුත් ඉගෙනීමයි, කරතේයි තවමත් ජිවිත ගමනේ කරන ගමන් ඉන්නේ.... ඒ ඇරෙන්න මම කරපු හැම මගුලක්ම කරලා තියෙන්නේ බාගෙට..... ඔන්න ඔහොමයි මගේ ජීවිතේ..... ඔයාලටත් ඔය වගේ අත්දැකීම තියෙනම් හිතුනොත් පහලින් කොටලා යන්න...... අදට මේ ඇති.....
Thursday, July 12, 2012
මී කතුර..........
කාලෙකට පස්සේ ආයේ ලියන්න ඕනයි කියලා හිතුනා.... අවුරුද්දකට වඩා කාලයක් බ්ලොග් එක පැත්තෙ පලාතේ ඇවිත් පෝස්ට් එකක් දාන්න උනේ නැහැ..
මොනවා කරන්නද එක පාරක් ලියපු පෝස්ට් එකකට එකෙක් ඇවිත් බැනලා දාපු කමෙන්ට් වලින් බ්ලොග් සංහිදියාවම එපා වෙලා ගියා.... :( :( :(
පස්සෙ පස්සේ ලියන්න හිතුවත් වෙලාවකට වැඩ වැඩි කමට, තවත් වෙලාවකට මහම මහ මූසල කම්මැලි කමක් නිසා වැඩේ නවත්තලා නිකන් හිටියා.... දැන් මං හිතන්නේ මාව සින්ඩි වලිනුත් එලියට විසික් වෙලා ඇති....
මම පොඩි කාලේ ඉදන්ම ඔහොම්මමයි වැඩක් පටන් ගත්තොත් අවසානයක් වෙනකන් ඉවර කරන්නේම නෑ.. ඕකට හැමදාම ගෙදරින් බැනුම් අහනවා පොඩි කාලේ ඉඳන් බාගෙට කරපු එකි නොකී මෙකී වැඩ නිසා... බලමුකෝ මේ පාරවත් එක දිගට ලියාගන්න පුලුවන් වේවිද කියලා සතියකටවත් බැරිම උනොතින් සති දෙකකටවත් සැරයක් එක පෝස්ට් එකක්වත් දාගන්න......
ආපු එකේ මොනවා හරි කොටලත් යන්න එපායෑ මේ කියන්න යන්නේ කාලෙකට කලින් මේල් එකකින් අහපු කතාවක් මේක මෙයිට කලින් වෙන තැනකින් කියවල තියනවනම් මගේ අම්මා මුත්තා මතක් කරලා බනින්නේ නැතිව පලයල්ලා මේන් වැන්දා.... මෙන්න මෙහෙමයි කතාව...
මේ සිද්දිය උනේ එක්තරා පුන්චි පහේ ගොවි පොලක... ඔන්න එක දවසක් මේ ගොවි පොළේ ගොවි මහත්තයා මොකක්දෝ මන්දා අලුත් පෙට්ටියක් ගෙදරට උස්සගෙන ඇවිත් ගොවි මහත්තයගේ බිරිඳෑ එක්ක ඒක දිග ඇරලා බලනවා දැක්කා ඒ ගොවි ගෙදර හිටපු පුංචිම පුංචි මීයෙක්...
ඌ ඒ දිහා බලන් හිටියේ බිත්තියේ තිබිච්ච පුන්චි පැල්මකින්
"මොකක්ද මේ පෙට්ටියේ තියෙන්නේ රස කෑමක් වෙන්න ඇති" කියලා හිතන්......... ඒත් පෙට්ටිය දිග ඇරියම තමයි ඌ හරියටම දැක්කේ ඒ පෙට්ටිය ඇතුලේ තිබ්බේ මී කතුරක් විත්තය... ඒ බව දැන ගත්තු මීයා හිතුවා මේ මී කතුර ගැන තමුන්ගේ ගොවි පොලේ හිටපු යාලුවන්ටත් කියන්න ඕනයි කියලා....
මීයා මුලින්ම ගියා කිකිළි ගාවට ගිහින් මෙහෙම කිව්වා....
මීයා:- යාලුවා යාලුවා ගොවි ගෙදරට අලුතින් මී කතුරක් ගෙනල්ලා... අපි කෝකටත් පරිස්සම් වෙමු නේද...??
ඒ වෙලේ කිකිළි හිටියේ බිම පහුරු ගාගෙන ඌ මෙහෙම කිව්වා ඒක වැඩිය ගනන් නොගෙනම....
කිකිළි:- මී කතුරක් තිබ්බට මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි... උඹයි ඒක ගැන කලබල වෙන්න ඕනේ... මට ඔව්වා වලට කරදර වෙන්න තරම් වෙලාවක් නැහැ....
දුකට පත්වෙච්ච මීයා ගියා තමුන්ගේ ඊ ළග යාලුවා ගාවට.... ඌ ඌරෙක්
මීයා:- යාලුවා ගොවි ගෙදරට අලුතින් මී කතුරක් ගෙනල්ලා...
ඒකට පිළිතුර විදිහට ඌරා දුන්නේ මෙහෙම උත්තරයක්....
ඌරා:- මොනවා කරන්නද මිත්‍රයා... ඔබේ නරක කාලය ඇවිත්... මට උඹ වෙනුවෙන් කරන්න පුලුවන් දෙවියන්ට කන්නලව් කරන එක විතරයි... මගේ කන්න ලව්ව ඇහිලා දෙවියන්වත් උඹව බේරුවොත් ලොකු දෙයක්....
ඌරගේ පිළිතුරින් දුකට පත් වෙච්ච මීයා ගියේ තමුන්ගේ අන්තිම යාලුවා ගාවට. ඌ එළදෙනක්....
මීයා:- යාලුවා මී උගුලක් මී උගුලක්........
එළදෙන:- ෂා නියමයි... මී උගුලකට මට කරන්න පුලුවන් ඉලව්වක් නෑ... ඔබේ ජිවිතේ අන්තිම කාලේ මිත්‍රයා... මට කණගාටුයි....
කිකිළිගෙන්, ඌරගෙන්, එළදෙනගෙන් නෝක්කාඩු අහපු මීයා කර කියා ගන්න දෙයක් නැතිව තමුන්ගේ ගුලට දුකින් ගියා... ජීවිතේ ගැන තිබ්බ ආසාවත් අත හැරලා තනිවම මී උගුලට මූන දෙන්නත් හිතන්... ඒත් ඌ හිතාගත්තා කෝකටත් පරිස්සම් වෙන්න....
එදා මැදියම් රැය එළඹුනා.... හදිස්සියේම මී කතුරට මොකෙක් හරි අහුවුන සද්දයක් ඇහුන නිසා කලුවරේම ගමයගේ බිරිඳෑ මොකක්ද අහු උනේ බලන්න ගියා....
මී කතුරට අහුවෙලා හිටියේ විෂඝෝර සර්පයෙක්... ඒකත් උගේ වලිගේ කෙළවර... කළුවරේම මී කතුර බලන්න ගිය ගම බිරිඳ නොදැනුවත්ම සර්පයාව පෑගිලා සර්පයාගේ දෂ්ඨ කිරීමට ලක් උනා...
ගමයා ඉතින් ඉක්මනට බිරිඳව ඉස්පිරිතාලෙට එක්ක ගියා ඒත් ඇය නැවත ගෙදර ආවේ අසාර්ථක උන ප්‍රතිකාර අවසානයේ තද උණක් එක්ක...ගමමහගේ බලන්න ආපු ගොඩක් දෙනෙක් කිව්වා තද උනට කුකුල්මස් වලින් හදපු සුප් බොන්න දුන්නොත් උණ බැහැලා යාවි කියලා.... ගමයා කලේ ගෙදර හිටපු කිකිළිව මරලා සුප් හදලා ගම මහගෙට බොන්න දීපු එකයි...
ඒ උනත් ගම මහගෙට තිබ්බ උණ අඩු උනේ නැහැ එන්න එන්නම අමාරු උන එක ඇරෙන්න... ඒක හින්දා අහල පහළ අයයි නෑයොයි ගම මහගේ ළග තනියට නිදි මරන්න ආවා.. ඒ අයට කන්න දෙන්න ඕනා නිසා ගමරාළ ගෙදර හිටපු ඌරව මරලා මස් උයලා කන්න දුන්නා..... මොන දේ කළත් අන්තිමට ගම මහගේ අසාධ්‍යය වෙලා මැරුනා... මරණ ගෙදරට මුලු ගමම ආවා...
අන්තිමට ඒ ඔක්කොටම කන්න දෙන්න ගෙදර හිටි එළදෙනව මැරුවා..... ඔය විදිහට මී කතුරක් නිසා ගෙදර හිටි කිකිළිටයි, ඌරටයි, එළදෙනටයි ටිකට් එක ඇදෙද්දි ගෙදර හිටි මීයා අර බිත්තියේ පැල්මෙන් මේ ඔක්කොම දිහා ගොඩාක් දුකින් බලං හිටියා.....
මේ කතාවෙන් ජීවිතේට ගන්න පුලුවන් පොඩි පාඩමක් තියනවා..... ආයෙ කොයිම වෙලාවක හරි ඔබට ඇසුනොත් ඔබගේ කෙනෙක් අණතුරක වැටිලා කියලා ඒක උගේ ප්‍රශ්නයක්නේ මට අදාල නැහැනේ කියලා ඉන්න එපා..... මී කතුරෙන් කිකිළිට, ඌරට, එළදෙනට මරණය ගෙනාවා වගේ ඒ ප්‍රශ්ණයෙන් ඔබටත් අණතුරක් වෙන්න පුලුවන්......
මතක තියා ගන්න ඕනේ දෙයක් තියනවා... ජිවිතේ අපිට හම්බුවෙන මිනිස්සු හැම කෙනෙක්ම හම්බු වෙන්නේ මොකක් හරි හේතුවක් නිසයි.... ඒ පුද්ගලයෙක් අනතුරකට වැටුනම අත නොහැර එයත් එක්ක එකතුවෙලා ඒකට විසදුමක් හොයන එක තමුන්ගේ ජිවිතෙත් ආරක්ශා කර ගැනීමක් වෙන්න පුලුවන්...
මොකද අපිට මොනවා කොයි මොහොතක වේවිද කියලා උඩ ඉන්න දෙවියෝ විතරක් දන්න අපි නොදන්න දෙයක් නිසයි............ අදට මේ ඇති......
අන්තිමටම කියන්න ඕනේ දෙයක් තියනවා... ඕක මම ඉංග්‍රිසියෙන් කියවපු එකක් මට පුලුවන් හැටියට සිංහලේට හරවලයි ලිව්වේ... මගේ ඉංග්‍රීසි දැනුමේ හැටියට කතාවේ අදහස 99% ක් විතර වෙනස් වෙලාද දන්නෙත් නැහැ බොලව්...හි හි....
පසුව ලියමි:- කියන්න ඕනේ දෙයක් තියනවා බ්ලොග් එක ආයේ ලියන්න ඕනේ කියලා හිතුනේ ලංකා ප්‍රියගේ සිතිවිලි ලියන සරත් ලංකාප්‍රිය මාමා ෆේස් බුකියෙන් මට කීප සැරයක්ම කල ඉල්ලීමක් නිසයි... ස්තුතියි මාමේ ඔබට ගොඩාක්.....
Labels:
ඕපාදූප,
ජිවිතයට බිඳක්
Friday, July 29, 2011
රෝස පාටට චූ කරලා තියනවාද..??
මාතෘකාව කියවල වල් මොනා හරි වෙන්න ඇති කියලා මේ පැත්තට දුවන් ආපු එවුන්ටයි මේ කියන්නේ මේකේ කිසිම කුනු හරුපයක් නැතෝ.
ඒ නිසා කැමතිනම් විතරක් කියවහල්ලා පස්සේ අපේ අම්මාට කිමුහුම් යවවන්නේ නැතිව..
මේක කියවන බොලාට මතකද බොම්බයි මොටයි සහ නයිස්.සිලිං සිලිං ගගා පොඩි බෙල් එකකුත් එක අතක
තියන් වන වනා පාරක් පාරක් ගානේ පොඩි යකඩ තහඩු වලින් හදපු පෙට්ටියකුත් අතින් එල්ලගෙන යන බුවාලා හිටපු කාලයක් තිබ්බා.බොලාට මතකද.?
තහඩු පෙට්ටිය වටේට ලොකු ශොපින් බෑග් එකක පත්තර කොළයි,පොඩි සිලි මලුයි, තව එකක පපඩම් වගේ ලොකු රවුම් වගේකුයි විකුන විකුන යන උන්දලා හිටපු කාලයක් තිබ්බා..
බුවාලට තමයි අපි බොම්බයි මොටයි වෙළෙන්දෝ කියලා කිව්වේ.මම නම් මතක ඇති කාලෙකින් එහෙම බුවෙක්ව දැක්කේ නැහැ අපේ ගෙවල් පාරෙන් යනවා.
බුවාලා ලඟ තියන යකඩ තහඩු පෙට්ටිය ඇතුලේ තියනවා පුලුන් වගේ රෝස පාටට කෙඳි කෙඳි වගේ එව්වා වගයක්.
එව්වා පැණිම පැණි රසයි.ඒ කෙඳි කෙඳි අතරේ ටිකක් මහත කූරු කූරූ වගේ කෑලිත් තියනවා. මම නම් වැඩියෙන් ආසා කලේ බොම්බයි මොටයි වල ඔය කූරූ කන්න.
එව්වා ඉස්සර රුපියලට,දෙකටත් දුන්නා.පහට දහයට විස්සට වගේ ගනන් වලටත් දුන්නා.රුපියලට දෙකට දෙන කොට නම් දුන්නේ පොඩි පත්තර කෑල්ලක ඔතලා.
පහට දහයට විස්සට වගේ දෙනකොට නම් පොඩි සිලි උරේක දාලා දෙනවා.ඉතින් ගත්තු වෙලාවේ ඉඳන් අක්කයි මායි හෙන වලි බොම්බයි මොටයි බෙදාගන්න.
පස්ස කස කසා, හොටු හූර හූරා,කබ කඩ කඩා, පාරෙ තියන කුණු ඇහිඳ ඇහිඳ ආපු අතින්ම අල්ලලා බොම්බයි මොටයි දෙන නිසා වෙන්න ඇති එව්ව එච්චර රස කියලා මට ඒ කාලේ තේරුනේ නැහැ නොවෑ.
කොහොම හරි බුවාලා ගාව තව තියනවනේ රවුම් ලොකු කඩදාසි වගේ නිකන් පපඩම් ස්වරූපයේ ජාතියක්.
මෙලෝ රහක් නැති කඩදාසි කනව වගේ කටෙ තිබ්බ ගමන් දිය වෙලා යන ජාතියක්.එවා වලට තමයි නයිස් කිව්වේ.
ඉතින් බොම්බයි මොටයි විකුනන වෙළෙන්දෙක් ගහන බෙල් එක ඇහුනොත් තියන මල පෙරේත කමට අම්මටත් වද දීලා රුපියල් පහක් විතර අරන් එලියට බහිනවා.
මේ කිව්වේ රුපියල් පහටත් ලන්කාවේ තැනක් තිබ්බ කාලේ ගැනයි.දැන් ඉන්න එව්වෝ රුපියල් පහක් කියන එක පඩේකට ගනන් ගන්නේ නැහැනේ.
හිඟන්නෙකුටත් රුපියල් පහක් දුන්නෝත් ඌත් ඔරවලා පහ වෙනුවට අපිට රුපියල් දහයක් අපේ අතට දීලා මහත්තයා මේකත් අරන් ටිපිටිප් එකක් කන්න කියාවි.
ඔන්න ඔහොමයි පුල්මුඩේ තත්වේ.කොහොම හරි මේ කියන්න යන සිද්දිය උනේ අපරාජිතය පොඩි එකා කාලේ.
ඔන්න දවසක් ඔහොම බොම්බයි මොටයි විකුනන මනුස්සයෙක් එනවා.බෙල් එකේ සද්දේ බොම්බයි මොටයි පෙරේත අපරාජිතයට හීනෙන් වගේ ඇහුනා.
දැන් ඉතින් මාව නලියනවා.කරුමෙට අම්මා ගෙදර නැහැ සල්ලි ඉල්ලගන්න.එදා මම විතරයි ගෙදර.අක්කත් පන්ති ගිහිල්ලද කොහෙද හරියට මතක නැහැ කොහොම හරි මං විතරයි ගෙදර.
දැන් සල්ලි ඉල්ලගන්නවත් කවුරුවත් ගෙදර නැහැ.මොනවා කරන්නද.ඔය අතරේ තමයි මට මගේ කැටේ මතක් උනේ.
මම පොඩිකාලේ ඉදන්ම තිබ්බ මගේ ප්ලාස්ටික් සල්ලි කැටේ සල්ලි දාන කට ටිකක් රත්කරපු යකඩෙකින් පුච්චලා තියාගෙන හිටියේ.
මොකෑ මට පොඩි කාලේ ඉඳන්ම පීනස තිබ්බ නිසා ගෙදරින් අයිස් පැකට් කන්න වගේ වැඩ කරන්න ප්‍රතිපාදන ලැබුනේ නැහැ.
එච්චරට මාව පරිස්සම් කොරන්නමයි ට්‍රයි කොලේ.එව්වා කොහෙද මාත් එක්ක.ඉතින් ඕනා ප්‍රතිපාදන සකස් කරලා අයිස් කන්න වගේ ගෙදරින් අනුමැතිය නොලැබුනු හොරාට කරන වැඩ කොරන්න සල්ලි සකස් කර ගත්තේ කැටේ කටින්ම ආයේ සල්ලි අරන්.
ඇත්ත කියන්න එපාය.මොකෑ මම ජිවිතේ මේ වෙනකන් කවදාවත් අපේ අම්මගේ වත් තාත්තගේ වත් පර්ස් වලින් හොරෙන් සල්ලි අරගෙන නැහැ මගේ ඇස් දෙක පල්ලා ඇත්ත.
තාත්තම සමහර දවස් වලට මට ඕනා සල්ලි පර්ස් එකෙන් ගන්න කියල තියනවා.අම්මත් එහෙමයි.එහෙම කිව්වම මට ඕනෑ ගානට වඩා සතයක් වැඩිපුර අරන් නැහැ.
හැබැයි ඉස්කොලේ යන කාලේ තාත්තට හොරෙන් සීසන් එක අරගෙන හැමදාම බස් එකේ යන්න එන්න සල්ලි නම් ඉල්ලගෙන තියනවා.
පැය ගනන් තැප තැප C.T.B බස් එකක් එනකන් ඉඳලා එහෙම කලේ හැම දාම යන්නයි එන්නයි රුපියල් 20 ක් ඉතුරු කරගන්න.
ඒකත් මට වැදගත් දෙයක් ගන්න ඕනෑ තාත්තට කරදර කරන්න බැරි එව්ව වලට සල්ලි හොයා ගන්න.දැන්නම් ඒ රුපියල් 10 යේ දුර රුපියල් 20ක් වෙලා.
කොහොම හරි මම රුපියල් පහේ කාසි 2කක්ම අරගත්තා රුපියල් 10කම අද ඇති වෙන්න තනියම කනවා කියලා.
කොහොම හරි ගිහින් මම බුවාට සල්ලි දිලා ගත්තා බොම්බයි මොටයි.පස්සෙ මල්ල අරන් ඇවිත් කන්න ගත්ත හෙමිහිට.
කන ගමන් ඉස්සෙල්ල කලේ තිබ්බ කූරු කූරූ කෑලි තෝරපු එක.අම්මට බොල සිලි උරේ අස්සෙ මෙන්න හෙන පත පැන්සලක් තරම් මහත මොටයි කූරක් තියනවා මෙන්න.
රතුම රතු පාටයි.මටත් හෙන මැජික් ඇයි කන්න ආසාම කූරුනේ.දැක්ක ගමන් පැනලා අරන් කූර කෙලවරක ඉදන් කන්න ගත්තා.
ඒක දිගත් සෙන්ටිමීටර් 10 විතර තිබ්බා.. කාපු ගමන් ආවෙ මහ එපාම කරපු ලුණු රසයක්.ඒත් මගේ තිබ්බ පෙරේත කමටම ඒක ඉවසන් කෑවා.
මොකෑ ඉතින් රෝස පාට පූසෝ වඩා ගත්තමත් කට සෝස පාට උනත් දත් බුරුසුව අතට දෙන්න දැන් කාලේ වගේම අම්මිලා හිටියනේ(ලන්කාවේ මේ දවස් වල යන දත් බෙහෙත් ඇඩ් එකක් ගැන කිව්වේ).
ඒක එතනින් ඉවරයි හොඳම සෙල්ලම පටන් ගත්තේ පහුවෙනිදා උදේ ඉඳන්.හුටා මම ඉතින් පුරුදු විදිහට ගියා චූ කරන්න.
ගිහින් ඔන්න අල්ලන් ඉන්නවා මෙන්න යකෝ ටිකකින් යන්න ගත්තා කියහන්කෝ තද රෝස පාටට.
මාව දැක්ක ගමන් අම්බානෙකට බය උනා.ඇයි බොලේ වෙනදට එක්කො සුදු පාටට,නැත්නම් කහ පාටට යන එක අඩ තද රෝස පාටට යනකොට කොහොමද ආතල් එක.
බය උන පාරට මම ගිහින් අම්මටයි තාත්තටයි කිව්වා.එයාලත් අම්බානෙකට බය වෙලා එසැනින් මාව ගෙවල් ලඟ ඩොකී නෝනා ගාවට එක්ක ගියේ නැතැයි.
අම්මට බොල එයත් බය වෙලා මට මොනාදෝ මන්දා බෙහෙත් වගයක් දුන්න බීපන් කියලා.කොහොම හරි මමත් ගිහින් බිව්වා.
අඩුවක් නැහැ යන යන සැරයක් ඇත්නම් යන්නෙම තද රෝස පාටට.කොහොම හරි ඒ ඉස්කොලේ වාර නිවාඩු කාලයක් මතක හැටියට.
බැරිම තැන අම්මලා ****වේ විශේෂඥවෛද්‍යය වරයෙක්ව අල්ලලා එක්ක ගියා.පොර විස්තර අහලා කිව්වා මුත්‍රා සාම්පලයක් අරගෙන රිපෝර්ට් එක අරගෙන එන්න කියලා.
කිව්ව වගේම හෙන පොඩි කුප්පියක් දුන්න මේකට චූ කරන්න කියලා.කටත් පොඩී.චූ කරන ගිහින් අස්සේ හිර උනානම් මගේ අනාගතෙත් අඳුරුයිනේ.
අනික ඒ පොඩි එකා කාලේනේ :පී. ඉතින් බොහොම අමාරුවෙන් චූ කරලා දුන්න.පස්සේ ආපු රිපෝර්ට් එකත් අරන් ගියා ඩොකා ගාවට.
ඒක බලලා ඩොකා කියනවා රිපෝර්ට් එකේ නම් කිසි අවුල නැහැ පුතා මොන හරි කලරින් දාපු දෙයක් ඊයේ පෙරේදා දවසක කෑවද කියලා.
අම්මට බොල මට එතකොටයි මීටර් උනේ මම ගෙදරට හොරා බොම්බයි මොටයි කෑවනේ කියලා.අනික අර කාපු පට්ට ලුනු රසයක් තිබ්බ කෝටුව වගේ ලොකු කූර.
මට ඒක ඒ වෙනකන් මතක් උනේ නැහැ.කව්ද යකෝ ඕවා හිතන්නේ පොඩි කාලෙ ඉදන්ම ගිය එව්ව වල පාට එක පාරටම මාරු වෙලා තද රෝස පාටට යන කොට.
පස්සේ මම එතනදි සිද්දිය කිව්වා.කිව්වම ඩොකා හිනා වෙලා ආහ් පොඩි කමට කොරන එව්වනේ.මේ එහෙනම් ඒක නිසා තමයි හොඳට වතුර බොන්න දවසකින් විතර අඩු වේවි කිව්වා.
කොහොම හරි ඒ දෙවනි දවස.පස්සෙ ඉතින් ගෙදර ආවා.මම චූ කරනවා එක්කො අම්ම නැත්නම් තාත්තා
බලන් ඉන්නවා පාට මොකක්ද කියලා.
බොම්බයි මොටයි කැවනම් විඳෝපන් බළලෝ කියල හිතන් මාත් විලි ලැජ්ජාවේ චූ කරනවා.අන්තිමට තුවෙනි දවසේ හවස් වෙද්දී ටිකක් පාට අඩු වෙලා ලා රෝස පාටට ගියා.
පහුවෙනිදා වෙන කොට ඒ කිව්වේ හතර වෙනි දවසෙ හවස් වෙන කොට නැවත පුරුදු පාටට හැරුනා.අන්න ඒ වෙලාවේ තමයි මට සැනසිල්ලක් ආවේ.
ඇයි යකෝ මොකක් හරි වෙන අසනීපයක් කියලා ඕක කැපුවොත් එහෙම මං විනාසයිනේ ඒකයි.
අන්තිමට කාලයක් යනකන් බොම්බයි මොටයි වෙලෙන්දෙක් ගියත් ඒ පැත්තවත් බලාගේන බත් කෑවෙ නැහැ මම.
හැබැයි අපේ අක්ක මට පට්ට කින්ඩි දදා පෙන්න පෙන්න කැවනේ බොලව්.මතක ඇති කාලෙකින් බොම්බයි මොටයි කෑවෙ නැහැ නොවෑ.හොයාගෙන කන්න ඕනා.
හම්බුනේ නැත්නම් Candy Floss එකක් වත් කන්න ඕනා.පිටරට ඉන්න අයියලට අක්කලට බොම්බයි මොටයි
මතක් කලාය කියලා මට බනින්න එපා.
Candy Floss එකක් අර කන්න ආසා හිතුනනම්.ඒත් කන්න නැත්නම් මම පහලින් දාලා තියන පින්තුර දිහා බලලා කෙල ටිකක් ගිලලා යන්න :ඩී.
ඔන්න ඔහොමයි අපරාජිතයා රෝස පාටට චූ කලේ.ඔයාලට මෙහෙම සීන් එහෙම වෙලා නැද්ද..තියෙනම් කියමුකො බලන්න පහලින් පොඩි කමෙන්‍ටු පාරක් දාලා.
Labels:
මගේ පිස්සු වැඩ
Friday, July 22, 2011
ගුරුවරියක් වෙනුවෙන්...
ගොඩ දවසකින් මොකුත් ලියන්න හම්බුනේ නැහැ නොවැ.මොනවා කරන්ද මම අන්තිම පොස්ට් එක දාපු දවසට පහුවෙනි සතියේ සෙනසුරාදා ඉස්කෝලේ අතිජාති මිත්‍රයොත්එක්ක සෙට් උනා නොවැ.
එදා පොඩි යාලුවෙකුගේ වැඩකට මගේ ඩොන්ගල් එක අර ගෙනයි ගියේ.ඒකට හේතුව මගේ කනෙක්ෂන් එක Airtel වල ටිකක් වාසි දායක කැම්පස් Pakage එකක් නිසා.
ගියේ මගේ හොඳම යාලුවා අයේෂ් එක්ක උගෙ අතිජාත Zuzuki වර්ගයේ බයික් එකෙන්.කොහොම හරි එදා වැඩෙත් කරගෙන ආපහු එද්දි වැස්සට අහු උනා.
ඩොන්ගල් එක තිබ්බේ මගේ සාක්කුවේ.මට ඒක එච්චර ගානක් නැති උනා.
ඒත් කරුමෙ කියන්නේ කොහොම හරි ඩොන්ගල් එක ගෙදර ගෙනල්ලා බ්ලොග් එක ලියන්න හිතන් නෙට් කනෙක්ට් වෙන්න කියලා ගහලා බලන කොට වෙනදා පත්තු වෙන කොළපාට ලයිට් එක පත්තු උනේ නැහැ.
කම්පුටර් එකෙන් detect කරගන්නෙත් නැහැ.කොහොම හරි කලිසම තෙත් උන නිසා මේක ඇතුලටත් වතුර යන්න ඇති.
අපරාදේ තිබ්බේ Huwawei Safaricom ජාතියේ එකක්.බොහොම අමාරුවෙන් ඉතුරු කරලා තියෙන එව්වත් හූරලා අරන් ගත්තා අලුතින් එකක්.
ගත්තා කිව්වට ගෙන්නුවා e-bay වලින් Huawei E1750 USB 3G WCDMA adaptor Dongle Modem 7.2Mbps තමයි අලුත් එකේ වර්ගේ එල කිරි වගේ වැඩ.
මොනවා කරන්නද ලංකාවේ නිදහස් අධ්‍යාපනයට මේ දවස්වල කණ කොකා අඬලනවනේ.විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන්න කියලා මාරාන්තික වැඩවර්ජනයක් තියන එක අපිටත් තදින්ම බලපාලනේ.
අනේ අපි වයසට යනවා.ඩිග්‍රිය ගනිද්දි කටේ දත් තිබුනොත් ඒ ඇති.ඒ උනාට ගෙදර නම් හිටියේම නැහැ.
යාලුවො එක්ක සෙට් වෙලා රට වටේ රවුම් ගැහුවා.කරුමෙට ඩොන්ගල් එකටත් කෙලියෙ මේ දවස් වලමයිනේ.මොනා කරන්නද Internet නොමැති ලොවක මිහිර නියමෙට වින්දා.
හොඳ වෙලාවට පෝන් එකෙන් Facebook යන්න පුලුවන් කම තිබ්බ නිසා ටිකක් විතර ශෙප් උනා.කාලෙකින් ආපු එකේ ඔන්න බ්ලොග් එකට අලුතින් තීන්ත ටිකකුත් ගාලම අලුතින් වැඩ අල්ලන්න හිතුවා.
ගොඩ දවසකින් මොකුත්ම ලිව්වේ නැති නිසා පට්ට කම්මැලියි ලියන්නත්.ඒත් ලියන එකනම් නවත්තන්නේ නැහැ.
මම නැති වෙලාවේ හොයලා බලපු දෙන්නෙක් ඉන්නවා ඉස්සෙල්ල උන් දෙන්නට ස්තුතියි කරනවා. එකෙක් අපේ රත්තරන් මාලුවා (රත්තරන් කිව්වට මූ නම් යකඩ තරම්වත් වටින එකෙක් නෙමෙයි)
අනිකා සරත් ලංකාප්‍රිය අයියා(අයියා කිව්වට මූට මගේ වයසෙ දුවෙකුත් ඉන්නවලු.අන්කල් කියලා තමයි කියන්න වටින්නේ)
උබලා වගේ යාලුවෝ ලබන්න මම ගොඩාක් පින් කරලා ඇති බං.නැත්නම් දැකලවත් නැති එකෙක් ගැන මොකටද වද වෙන්නේ උඹලා මේ තරමටම...
ඔන්න එහෙනම් අද කතාව.මේක වෙන්නේ මම 10 වසර කාලේ.මට දැන්නම් තරමක් කවි ලියන්න පුලුවන් මොකක් හරි සුන්දර දෙයක් අගයලා.
ඒක පුරුදු උනේ මිහිරි බූට් එකක් කෑවට පස්සේ හුදාකලාව තනිකමේ මිහිර විඳිද්දී.ඒත් ඔය කියන කාලේ මට කවියක් තියා රචනයක් වත් ලියන්න බැහැ.
හැබැයි එක එකාට මඩ කවිනම් නියමෙට හදන්න පුලුවන් කම තිබ්බා.අපේ පන්තියේ හිටියා එල කිරි කොල්ලෙක්.
මූට මෙතන ඉදන් අශාන් කියමු.මූ ඒ කාලේ වැඩ කලේ ඉස්කොලේ සන්නිවේදන අංශයේ.අර මතක ඇතිනේ මගේ බැජ් එක ගලවපු සිද්දියේ හිටපු විජේසූරිය සර්.
මිනිහා තමයි ඉතින් ඔය කෙහෙම්මල් අංශයෙත් ප්‍රධානියා.ඌත් නිකන් හිටියේ All rounder වගෙයි හැම මගුලක්ම බදාගෙන.
ඉතින් ඔය කියපු මගුල් අංශෙත් අපිට දුන්නේ පුදුම වදයක්.උදේ පාන්දර ඉදන් ඉස්කොලේ පටන් ගන්නකන් එක එක රටේ නැති වැල් බයිලයි,මෙලෝ රහක් නැති සින්දුයි දානවා.
කනක් ඇහිලා පාඩුවේ ඉන්න මුන් දුන්නේම නැහැ.
ඔය කියපු මගුල් අංශයේ හිටපු ශිෂ්‍යය උප ප්‍රධානියා උනේ ඔය මම කියපු අශානයා.
උගේ වැඩේම අතේ voice recorder එකක් තියාගෙන.දෙන්න ඕනා නිවේදනයි අනම් මනම් වල් බයිලයි රෙකෝඩ් කරකර ලොකුවට කෙල්ලන්ට පේන්න ඇඩ් එක දාන එක තමයි.
කොහොම හරි අපේ 10 වසර B එකේ හිටපු අපේ කොල්ලෝ සෙට් එකට මුගේ කල් ක්‍රියාව ඇල්ලුවේ නැහැ.
අපි සෙට් එක ප්ලෑන් කලා පොඩි ගේමක් දෙන්න.ඒ කාලේ අපෙ පන්තියේ මම තමයි මඩ ගහන ඒවා වලට, කෙල්ලන්ව අඬවන ඒවා වලට නම ගිය අලගිය මුලගිය එකා.
ඉතින් අපේ උන් සෙට් එකේ plane එක උනේ හෙමිහිට මූට මඩ කවි ටිකක් හදලා එවා විරිඳු විදිහට කියන ගමන් මුගේ අර රාජකීය voice recorder එකට පටිගත කරලා ශේප් එකේ තියන එක.
කවි ලියන වැඩේ මම බාර අරගෙන විරිඳු කවි 20ක් විතර ලියලා අපේ සෙට් එකට දුන්නා.ඔතන හිටියා ප්‍රසාන්,අයේෂ්,මොහොමඩ්,රුස්ඩි... වගේ මගේ අති ජාතී සෙට් එකක්.
කොහොම හරි විරිඳු කියන්න එක එකා ඉදිරි පත් උනත් අන්තිමට අපේ උන් කිව්වා මම උන්ට වඩා එලට කියනවා ඒ නිසා උන් ගහන්නම් ඩ්‍රම් එක මට ලස්සනට කියපන් කියලා.
අපි ප්ලෑන් කර ගත්තු විදිහට අශානයා පන්තියෙ නැති වෙලාවක් අල්ලලා වැඩේට බැස්සා.
ඔන්න මම දැන් අපි කලින් කතා කරගත්තු විදිහට විරිඳු කියනවා අරුන් ඩ්‍රම් ගහනවා ප්‍රසානයා රෙකෝඩර් එක අල්ලන් ඉන්නවා.
කොහොම හරි ශේප් එකේ අපි වැඩේ කරලා රෙකෝඩර් එක මොකුත් නොවුනු ගානට ඔතලා තිබ්බා අශානයාගේම බැග් එකේ දාලා.
කොහොම හරි මරුම වැඩේ උනේ පහුවෙනිදා උදේ පාන්දර.මම මොන ගස් බලු වැඩේ කලත් මට 9 වසරදි ශිෂ්‍යයනායක පට්ටමක් ලැබුනනේ කරුමෙට.
ඒක නිසා උදේ පාන්දර අපි ඩියුටි යන්න ඕනා.පාන්දර කිව්වට මම නම් ඒකාලේ ගියේ 7.25 ට විතර ඒ 8.00 ට ඉස්කෝලේ පටන් ගන්න කාලෙනේ.
කොහොම හරි අශානයා අර මගුල් සන්නිවේදන අංශයේ මයික් එක ඔන් කරලා පටන් ගත්තා ඉස්කෝලෙටම ඇහෙන්න අදෝනාව..
"සුබ උදෑසනක් ඔබ සැමට.මේ **** විද්‍යාලයේ සන්නිවේදන අංශයයි.ප්‍රථමයෙන්ම දවසේ වැඩසටහන".
ඔන්න ඔච්චරයි ගියේ ටිකකින් මට ඇහෙනවා එදා අපි රෙකෝඩ් කරපු විරිඳු කවියක් මුලු ඉස්කෝලෙම තැන් තැන් වල තියෙන ස්පීකර් වලින්.
වැඩි වෙලා යන්න උනේ නැහැ එකපාර ඔක්කොම නැවතිලා එකපාරටම මෙලෝ රහක් නැති සින්දුවක් වැටුනා.
මෙන්න ටික වෙලාවකින් අපේ පන්තියේ මගේ සෙට් එකේ එකෙක් මම ඩියුටි කල පන්තියට මාව හොයන් එනවා.
ප්‍රසාන්:- අඩෝ **** මාර සීන් එක බං.අන්න අශානයට මල පැනලා මූනත් රතු කරන් උඹව මරන්න හොයනවා.
මම:- ඔව් බං ඊයේ අපි කල ආතල් වැඩේ සෑහෙන බර පතලයි.මේ යකා රෙකෝඩ් එක අහලා බලන්නෙවත් නැතුව හරක වගේ දැම්මනේ බං.
ප්‍රසාන්:-හොඳ වෙලාවට පිනා තවම ඇවිල්ලා නැත්තේ.වර පන්තියට අරුව ශේප් කරගන්න බලමු.
මම:- දැන් වැඩක් නැහැ බං බලමු වෙන දෙයක් වෙද්දේන්.
කොහොම හරි අශානයට මල පැනලා.රෙකෝඩර් එකේ Voice එක මගේ කියලත් අඳුරගෙන.කොහොම හරි එදා මගේ වෙලාවටද කොහෙද විජේසූරියකාරයා ඉස්කෝලේ ආවේ නැහැ.
කොහොම හරි ඩියුටි කල පන්තියේ ඩියුටි කරලා ඉවර වෙලා මම පන්තියට ගිහින් ටික වෙලාවකින් මෙන්න අශානයා පන්තියට ඇවිල්ලා මට කතා කලා
අශාන්:-*** අඩෝ පරයා අන්න තොට ඩඩ්ලි සර් කතා කලා
(ඒ කාලේ අපෙ 10 වසර පන්ති වල අංශ ප්‍රදානියා.ගොඩක් හොඳ සර් කෙනෙක්.අදටත් මම ගරු කරන කෙනෙක්)
මම:-කොහෙටද..?
අශාන්:-10 වසර පන්ති රැස්වීම් ගන්න තැනට.
මම අරුත් එක්ක ඔන්න එතනට ගියා.හුටා එතන පන්ති ඔක්කගේම ගුරුවරු සෙට් එක ඉන්නවා.
පද්මා මැඩම්(මම ජිවිතේ අම්මට පස්සේ ආදරය කරන ගුරුතුමිය.අපේ 10-11 පන්ති දෙකේම පන්ති භාර මැඩම් තමයි)
වන්නිආරච්චි මැඩම් (මගේ ලොකුම මුට්ටියක්.9 වසරෙදි අපිට සමාජ අධ්‍යයනය කලා.මගේ සිතියම් ඇඳීමේ හැකියාව හොඳයි කියලා මැඩම් මා එක්ක මාර ෆිට් එකේ උන්නේ)
මොරින් මැඩම්(මගේ අම්මගෙයි තාත්තගෙයි හොඳ ලඟම යාලුවෙක්)
මාලනි මැඩම්(අපේ අක්කගේ ලොකු මුට්ටියක්.මල්ලි නිසා මාවත් දන්නවා.මහත්තයා අපේ තාත්තගේ යාලුවෙක්)
ෆ්‍රැන්කා මැඩම්, ඩඩ්ලි සර්.. මගේ පටි අම්බානෙකට රෝල් වෙන්න යන්න කියලා මට සෙට් එක දැක්කම චූ බර හැදුනා.
දැන් ඩඩ්ලි සර් මගෙන් ප්‍රශ්න කරනවා.අශානයා කේලම් අගිස්සනවා.මැඩම්ලා සෙට් එකත් කම්මුල් වලට අත තියාගෙන මන් දිහා බලාගෙන.
එයිට හපන් ඔක්කොම මගේ පැත්ත හැරිලා මට පිටි පස්සෙන් පේනවා අපේ සෙට් එකේ උන් එකා දෙන්නා එතනින් මං දිහා බල බල එහා මෙහා යනවා.
අන්තිමට මගෙන් ඇහුවා "වැරැද්ද පිලිගන්නවාද" කියලා.මොනා කියන්නද මම කිව්ව "ඔව් මම පිලිගන්නවා" කියලා.
පස්සෙ මගෙන් ඇහුවා සර් "කව්ද මේකට වෙන සම්බන්ධ" කියලා.මම මොකක් කලත් කවදාවත් කාවවත් පාවලා දෙන්න කැමති නැහැ.
මම කිව්වා "කවුරුත් නැහැ මම විතරයි කලේ" කියලා.
පස්සේ සර් මට කිව්වා "මට තමුසෙට දඬුවම් කරන්න බැහැ තමුසේ ශිෂ්‍යය නායකයෙක් නිසා ආයේ මේ වගේ වැඩ කරලා අහු වෙන්න එපා" කියලා.මම "හා" කිව්වා.
ඒ අස්සෙ මට ඇහෙනවා
"අයියෝ මේ ළමයා හොඳ ළමයෙක් 9 වසරෙදි මම දෙන වැඩ සිතියම් ලස්සනට අඳින හොඳම ලමයා.නරක යාලුවන්ගේ ආශ්‍රයට වැටිලා" ඒ වන්නිආරච්චි මැඩම්.
"මේ ළමයගේ මුලු පවුලම මම දන්නවා.අනිකා ඉංග්‍රීසි ඉගෙන ගන්න 4 වසරේ ඉඳන් ගෙදරින් එවන්නේ මං ලඟටනේ.**** ඇයි මේ වගේ දෙයක් කලේ..??" ඒ මොරින් මැඩම්.
"මේ ළමයගේ අක්කා හරී හොඳයි.අම්මා තාත්තත් හරි හොඳයි.ගිය අවුරුද්දේ මගේ පන්තියේනේ හිටියේ.ඒ කාලේ හොඳට හිටියනේ".ඒ මාලනී මැඩම්".
"ළමයින්ගේ වැරදි වලට වග කියන්න ඕනේ ඉතින් අම්මලා තාත්තලා තමයි" ඒ ෆ්‍රැන්කා මැඩම්.
ඔය ඔක්කොම ඇනුම් පද කියද්දි කිසිම සද්දයක් නැතුව අහගෙන හිටපු එක්කෙනෙක් හිටියා.. ඒ මගේ පන්තිභාර පද්මා මැඩම්.කොහොම හරි කට්ටිය විසිරිලා ගියා.
මායි අශානයයිත් පන්තියට ගියා.මෙන්න ටිකකින් පද්මා මැඩම් පන්තියට ආවා.අපිට මුල් පීරියඩ් දෙක තිබ්බේ ගණිතය.මැඩම් කණ්නාඩි දානවා.
ඒත් මැඩම්ගේ සුදු කම්මුල් දෙක දිගේ කඳුලු කැට වැක්කෙරෙනවා මට පෙනුනා.විමසිල්ලෙන් බලද්දි මැඩම්ගේ ඇස් දෙක කඳුලු වලින් පිරිලා.
මැඩම් මන් දිහා බලලා මට කතා කලා.මම ඉදන් හිටි එකෙන් නැගිටලා හිටගත්තා.මැඩම් කිව්ව වචන ටික අදටත් මගේ පපුවේ කෙටිලා තියනවා.
" **** මම ඔයා ගැන කවදාවත් අනුන්ගෙන් මෙහෙම දේවල් අහන්න බලාපොරොත්තු උනේ නැහැ දරුවෝ".
මැඩම් එහෙම කියන ගමන් ඇස් දෙකෙන් කඳුලු කැට වැක්කෙරෙනවා.පන්තියේ කෙල්ලො මට ඔරවනවා.
මොනවා කරන්නද ඇත්ත කියන්න එපාය මමත් මැඩම්ට කියපු වචන ටික අදටත් ආරක්ශා කරනවා.
"මැඩම් මැඩම් මගේම මගේ අම්ම වගේ.මම මගේ අම්මට පොරොන්ඩු වෙනවා කියලා හිතන් පොරොන්දු වෙන්නම්.ආයෙ ජීවිතේ කවදාකවත්ම මම නිසා මැඩම්ට කාගෙන්වත් එක එක දේවල් අහන්න මම ඉඩ තියන්නේ නැහැ මැඩම්"
ඔච්චරයි මට කියාගන්න පුලුවන් උනේ මම මුලු පන්තියටම ඇහෙන්න ඉකි ගගහා ඇඬුවා.ඒ වගේම අදටත් මම නිසා මැඩම්ට කාගෙන්වත් බැනුම් අස්සවන්න ඉඩ තියලත් නැහැ.
අද මම ඉන්නෙ කොතනද... ඒ ඉන්න තැන ඉන්න මට අද කකුල් දෙකට හයිය ලැබිලා තියෙන මගේ මුලු ජීවිතේම වෙනස් කල ඒ දවස එදායි...
පද්මා අභයවර්දන මැඩම් වගේ ගුරුවරියක් නොහිටින්න අද මම අමුම අමු රස්තියාදුකාරයෙක් වෙන්න තිබ්බා..
ඒත් අද මම ඉන්න තැන ඉන්න එකේ සම්පූර්ණ ගෞරවය අම්මා තාත්තා ඇරුනහම ලැබෙන්න ඕනා එකම එක්කෙනා මගේ දෙවනි අම්ම කියලා මන් සලකන මැඩම්ට විතරමයි.
මැඩම් මම දන්නවා ඔබතුමිය මේ බ්ලොග් එක කියවන්නේ නැති විත්තිය.
ඒත් මගේ මුලු ජිවිතේ තියනකන්ම මම මැඩම්ට ගොඩාක් ණයගැතියි..මගේ ආයුෂත් අරන් මැඩම් බොහෝ කාලයක් ජිවත් වෙන්න ඕනා....
Labels:
අපේ සෙට් එකේ වැඩ,
මගේ පිස්සු වැඩ
Sunday, June 26, 2011
අගය කිරීමේ වටිනාකම.
අනේ ඉතින් මම සෙනසුරාදා මහ රෑ අලුත් පෝස්ට් එක දාලා සදුදා උදේ පාන්දරම කැම්පස් යනවා. ආයේ එන්නේ සෙනසුරදා හවස් වෙලා.
සෙනසුරාදා මහ ලොකු වැඩක් නැති උනාට ඔය ප්‍රොජෙක්ට් හදන්න හරි නැත්නම් පොඩි රස්තියාදුවක් ගහලා ෆන් එකක් ගන්න හරි ගියහම ගෙදර එන්න මතක් වෙන්නේ හවස් වෙලා.
අද ඇවිත් බ්ලොග් එකට ලොග් වෙලා බැලුවම දැක්කේ කමෙන්ට් 7ක් තිබ්බා පහුගිය සදුදා, අඟහරුවාදා දවස් වල දාපු මොඩරේට් කරන්න.
ඉතින් අනේ එව්වා ඔක්කොමත් පබ්ලිෂ් කලේ අද තමයි.තරහා වෙන්න එපෝ.අනික බං බ්ලොගක් කියවන්න වෙන්නෙත් මේ දවස් දෙකේ තමයි.
ඒක නිසා අනික් එව්වා වලට කමෙන්ට් කරන්නත් වෙලා යනවා.ඒකටත් සමාවෙයල්ලා.කලින් දාපු පෝස්ට් එකට හොඳ ප්‍රතිචාර තිබ්බා.ඒක නිසා අදත් ඒ වගේ කතාවක් දාන්න දාන්න හිතුනා.
ඔන්න බං බනින්න එපා හැමදාම ඔව්ව දාන්නේ මට දාන්න වෙන දෙවල් නැති නිසාද කියලා.හැම දේකම මික්ස් එකක් තියෙන්න එපාය බ්ලොග් එකක් උනාම ඒකයි සීන් එක.
මෙන්න එහෙනම් කතාව.කියවලා ගන්න පුලුවන් දෙයක් තියෙනම් අරගනිල්ලා.
අධ්‍යයාපනික පැත්තෙන් විශිෂ්ඨ තරුණයෙක් රටේ ප්‍රසිද්ධ ලොකු ව්‍යාපාර ආයතනයක කළමණාකාර ධුරයට අයදුම් කලා.තමන්ගේ දක්ශකම නිසාම පලවෙනි සම්මුක පරික්ශණය සමත් වෙන්න එයාට පුලුවන් උනා.
අන්තිම සම්මුක පරික්ශණය කළේ එම ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයයි තම ආයතනයට නව කළමණාකරු විදිහට සුදුසුම පුද්ගලයාව තෝරා ගැනීමට.
කොහොම හරි මේ තරුණයාගේ අයදුම් පත්‍රය පරීක්ෂා කරද්දී මේ අධ්‍යක්ෂකවරයට තේරුනා මූ අධ්‍යයාපනික පැත්තෙන් උපාදිය ලබා ගන්නා තෙක්ම විශිෂ්ඨ සාමාර්ථ සහිතව සෑම විභාගයක්ම සමත් වෙලා තියෙන විත්තිය.
සම්මුක පරීක්ෂණයෙදී දෙන්නා අතර ගියේ මෙහෙම දෙබසක්;
අධ්‍යක්ෂකවරයා:-පාසලෙන් ඉහළට ඉගෙන ගන්න මොකක් හරි ශිෂ්‍යත්වයක් ලැබුනද ඔබට..?
තරුණයා:-නැහැ.
අධ්‍යක්ෂකවරයා:-ඔයාගේ තාත්තාද එහෙනම් හැම වියදමක්ම දැරුවේ පාසල් ගාස්තු පටන්.?
තරුණයා:-මගේ තාත්තා මට වයස අවුරුදු එකක් විතර වෙනකොටම මැරිලා.මගේ අම්මා තමයි මගේ හැම වියදමක්ම දැරුවේ.
අධ්‍යක්ෂකවරයා:-ඔයාගේ අම්මා කොහේද වැඩ කලේ.?
තරුණයා:-මගේ අම්මා රෙදි සෝදන්නියක්.
ඒ කතාව අහපු ගමන් අධ්‍යක්ෂකවරයා තරුණයාට එයාගේ අත්දෙක පෙන්නන්න කිව්වා.ඉතාමත් සුමුදු නිරෝගී අත්ල දෙකක් සහිත අතක් තරුණයා අධ්‍යක්ෂකවරයාට පෙන්නුවා.
අධ්‍යක්ෂකවරයා:-ඔබ කවදා හරි දවසක රෙදි සෝදන්න ඔබගේ අම්මාට උදව් කරල තියනවාද.?
තරුණයා:-කවදාවත් නැහැ.මගේ අම්මාට හැම තිස්සේම ඕනෑ උනේ මම වැඩිපුර පාඩම් කරන එකයි පොත්පත් වැඩිපුර කියවන එකයි.අනිත් එක තමයි මට වඩා අම්මාට ගොඩක් ඉක්මනට රෙදි සෝදන්න පුලුවන්.
අධ්‍යක්ෂකවරයා:-මම ඔබගෙන් පොඩි ඉල්ලීමක් කරනවා.ඔයා අද ගෙදර ගියාම ගිහින් අම්මගේ අත් දෙක පොඩ්ඩක් අරගෙන පිරිසිඳු කරලා හෙට උදේට ඇවිත් මාව ආයෙමත් හම්බු වෙන්න.
එම ප්‍රකාශයෙන් තමන්ට මෙම රස්සාව ලැබෙන්න පුලුවන් හැකියාව වැඩි බව තෙරුම් ගත්තු තරුණයා සතුටින්
ගෙදර ගිහින් සිනා මුසු මුහුණින්ම තම මවගේ අත්ල දෙක පිරිසිඳු කරන්න ඉල්ලුවා.
ඔහුගේ අම්මා අමුතුවෙන් වගේ, ඒ වගේම ප්‍රීතිමත්ව තම පුතා දිහා බලලා තම දෑත දිගුකලා.තරුණයා තම මවගේ දෑත් ඉතාමත් සෙමින් සෙමින් සේදුවා.අම්මගේ දෑත් පිරිමදින වාරයක් වාරයක් පාසා නෙතට හොරා කඩුලු බිඳු එක දෙක රූරා වැටෙන ගමන්ම.
එය තමයි පළමු අවස්තාව උනේ ඔහු තම මවගේ අත් දෙක රැලි වැටිලා,ඒ වගේම කර ගැට වලින් පිරිලා තියෙන වග දැක්ක.සමහර කරගැට අල්ලන කොටත් රිදෙන වග ඔහුට තේරුනේ වතුර සමහ අත්ල දෙක පිරිමදිද්දි අම්මා දක්වපු ප්‍රතිචාරයෙන්.
ඒ තමයි පලමු අවස්තාව තරුණයාට තේරුනා කර ගැට වලින් පිරුණු මේ අත්ල දෙක තමයි කියලා දවස ගානේ රෙදි සෝදලා හම්බු කරන සොච්චමෙන් තමුන්ගේ පාසල් ගාස්තු ගෙවපු.
කර ගැට වලින් පිරුණු අම්මගේ අත්ල තමයි අවසානයේ ඔහුගේ උපාදියට,ඒ වගේම ඔහුගේ අධ්‍යාපනයේ විශිෂ්ඨත්වයට, ඒ වගේම ඔහුගේ අනාගතයට මුල් පාදක උන ගෙවීම කියලා.
අනිතිමට සිය මවගේ අත්ල දෙක සෝදලා ඉවර වෙලා ඔහු කලේ ඉතුරු වෙලා තිබ්බ ඇදුම් ඔක්කෝම හෝදලා දාපු එක තමුන්ගේ අම්මා වෙනුවෙන්.
ඒ රාත්‍රියේ තරුණයා අම්මා එක්ක කවදාවත් නොකරපු තරමට ගොඩක් වෙලා කතා කරලා පහුවදා උදෙන්ම නැවත අධ්‍යක්ෂකවරයාව හමු වෙන්න ආයතනයට ගියා.පස්සේ දෙන්නා අතර ගියේ මෙහෙම දෙබසක්;
අධ්‍යක්ෂකවරයා:- ඔයාට මට දැන් කියන්න පුලුවන්ද ඊයෙ ගෙදර ගියාට පස්සේ කල දෙවල් සහ ඒකෙන් ඉගෙන ගත්තු පාඩම මොකක්ද කියලා.?
තරුණයා:-මම මගේ අම්මාගේ අත් දෙක හොඳට හෝදලා ඉතුරු වෙලා තිබ්බ රෙදි ටිකත් ඔක්කෝම හෝදලා දැම්මා.
අධ්‍යක්ෂකවරයා:-කරුණාකරලා ඔයාට කියන්න පුලුවන්ද දැනුනු හැඟීම.?
තරුණයා:-(කඳුලු පිරුණු මුහුණක් සමග)අංක එක: මම දන්නවා දැන් මොකක්ද අගය කිරීම කියන්නේ කියලා.මගේ අම්මා නැතිව අද දවසේ මම ලබාගෙන තියන සාර්තකත්වය කිසි සේත්ම මට කවදාවත් ලබා ගන්න වෙන්නේ නැහැ.
අංක දෙක: මගේ අම්මත් එක්ක ඊයෙ එකට වැඩ කිරීමෙන් ඒ වගේම උදව් කිරීමෙන් මම දැන ගත්තා යම් දෙයක් කරන්න කොච්චරක් නම් අමාරුද ඒ වගේම කටුකද කියලා.
අංක තුන: ඒ වගේ මේ ලෝකේ මට තියන වැදගත්ම දෙය මගේ පවුල තමයි කියලා මම දැන් දන්නවා.
අධ්‍යක්ෂකවරයා:-මෙච්චර කාලයක් මම මගේ කළමණාකරුවෙකුගෙන් හොයපු එකම දෙයත් ඕක තමයි.මට ඕනා උනේ අනික් අයගේ සහයෝගය අගය කරන්න පුලුවන්,අනික් මිනිස්සුන්ගේ වේදනා දුක් කරදර තේරෙන,තමුන්ගේ ජිවිතේ මූලික අරමුණ සල්ලි කර නොගත්තු මනුස්සයෙක්ව.
ඔබ මේ රස්සාවට සුදුසුතම කෙනා වෙලා ඉවරයි.
අවසානයේ මේ තරුණයා මහන්සියෙන් වැඩ කරලා එම ආයතනයේ අනික් ප්‍රධානීන්ගේ පැසසුමට පවා ලක් උනා.
ඔහු යටතේ වැඩ කල සෑම කෙනෙක්ම කණ්ඩායමක් විදිහට මහන්සියෙන්, උද්යෝගිමත්ව වැඩ කරලා එම ආයතනයේ ක්‍රියාකාරිත්වය සීඝ්‍ර ලෙස වර්ධනය කලා.
ඔහුට රස්සාව ලැබුණු දවස තමයි ඔහුගේ අම්මාත් දුක් විදපු අවසාන දවස උනේ... කතාව ඉවරයි මෙන්න බණ ටික.
දැඩි පරිස්සමක් ඇතිව, ඉල්ලන ඉල්ලන දේ ඕනෑ වෙලාවට අරන් දීලා ලොකු මහත් කරන පොඩි එකෙකුගේ හිතේ "පොරත්වය" කියලා මානසික මට්ටමක් ඇති වෙනවා.
ඒ වගේම හැම තිස්සේම ඔහු ඔහුව පලමු තැනින් තියා ගන්නවා.තම දෙමව්පියන්ගේ අධික මහන්සිය,කැප කිරීම් තඹේකට වත් මායිම් කරන්නේ නැහැ.
ඔහු කවදා හරි දවසක වැඩ කරන්න පටන් ගත්තාම ඔහු හිතන්නේ හැම කෙනාම ඔහුට ඇහුම්කන් දිය යුතුයි කියලයි.ඒ වගේම ඒ වගේ කෙනෙක් කළමණාකරන තණතුරකට පත් උනොත්; කවදාවත් තමුන්ගේ සේවකයන්ගේ දුක ඔහුට දැනෙන්නේ නැහැ.ඒවගේම හැම තිස්සේම ඔවුන්ට බනිනවා.
ඒ නිසා ඒ වගේ අය අධ්‍යාපනික පැත්තෙන් කොච්චර දක්ශ උනත් සාර්තකත්වය පවතින්නේ බොහොම ටික කාලයයි.ඔවුන් නිතරම රණ්ඩු සරුවල් ඇතිකර ගන්නවා.වෛරය පිරුනු අසාර්තක පිරිසක් බවට පත්වෙනවා.
මේ ලිපිය කියවපු ඔබත් මේ වගේ ආරක්ශක දෙමව්පියෙක් නම් නැති නම් වෙන්න හිතන් ඉන්නවා නම් ඇත්තටම ඔබ තමුන්ගේ දරුවාව ආරක්ශා කරනවාද,නැත්නම් විනාශ කරනවාද කියල පොඩ්ඩක් හිතලා බලන්න.
ඔබට පුලුවන් ඇති නැති කම් අනුව පොඩි එකාට ලොකු ගෙදරක ජිවත් වෙන්න,හොඳ කෑම වේලක් රස විඳින්න,පුලුල් තිරයක් සහිත රූපවාහිනියකින් TV බලන්න දෙන්න,පියානෝ වගේ පොෂ් සංගීත භාණ්ඩ වයන්න ඉගෙනගන්න සලස්වන්න.
ඒත් ඔබට පුලුවන්නම් වත්තේ තණකොළ සුද්ද කරනකොට ඒකට දරුවාව හුරුකරන්න,කෑමේන් පස්සේ ඔවුන්ගේ කන පිඟාන ඔවුන්ටම හෝදගන්න කියන්න,ඉඳුල් භාජන තම සහොදර සහොදරියන් එක්ක එකට එකතු වෙලා හෝදලා පිරිසිඳු කරන්න කියන්න ඒක තමයි විදිහ නේද.?
ඒ ඔබට වැඩකාරියෙක්ව ගන්න සල්ලි මදි කම නිසා නෙමෙයි.දරුවට ආදරය කරන්න ඕනෑ හරි විදිහ නිසා.ඔබ ඔවුනට තෙරුම් ගන්න සලස්වන එක තමයි වටින්නේ කොච්චර සල්ලි තිබ්බත් අපි හැමෝම දවසක කෙස් පැහිලා වයසට යන විත්තිය හරියට උඩ කතාවේ තරුණයාගේ මව වගේම.
වැදගත්ම දෙය තමයි ඔවුන්ට උගන්වන්න කෙනෙකුගේ උත්සාහයක් අගය කරන හැටි, ඒ වගේම අසීරුකම් වලට මුහුණදෙන හැටි,ඒ වගේම වැඩක් කරද්දි අනික් කෙනෙක් එක්ක එකට ඉන්න ඕනා කොහොමද කියලා..
පණ්ඩිත කතා කියන්න ගිහින් මට බැණුම් අහගන්න වේවිද දන්නෙත් නැහැ නාස් ලණුව බැදන් කරත්තේ දක්වන අපේ අයියලාගෙන්.
කමක් නැහැ තමුන්ට හිතෙන දේත් කියල යන්න පුලුවන්නම් පහලින් ගොඩාක් හොඳයි.නැති උනත් මම කා එක්ක වත් තරහක් නැහැ.
හැමෝටම ජය වේවා.....!!!
Labels:
ජිවිතයට බිඳක්
Subscribe to:
Posts (Atom)