Friday, July 13, 2012

පොඩි කාලේ ඉඳන්ම හැම වැඩක් බාගෙටම කරපු හැටි



වැදගත් දේවල් විතරක් බ්ලොග් වලින් හොයන බ්ලොග් කියවන ගොඩක් දෙනෙක් ඉන්නවනේ.... එහෙම අය වැරදිලාවත් මේ පැත්තට ආවනම් මේ ඒ අයටයි කියන්නේ මේක මේ මෙලෝ රහකට නැති වැදගැම්මකට නැති ගූ 7 පට්ට පජාත පෝස්ට් එකක් වල් පල් ටිකක් දාලා ලියපු... ඔන්න කලින් කියලම පටන් ගත්තා.එහෙම ආවනම් වෙන එකක් කියගන්න වටිනා කියන වෙලාව නාස්ති කොර ගන්නේ නැතුව....

පුංචි කාලේ ඉඳන්ම මම හරියකට කියලා කරපු වැඩ තියෙන්නේ බොහොම අතලොස්සයි වැඩිමනක් තියෙන්නේ බාගෙට කරපු වැඩ ගොඩාක්... අද කියන්න යන්නේ අන්න ඒ වගේ මම බාගෙට අත ගහලා නවත්තලා දාපු දේවල් ගැන ආවර්ජනයක්......


පුන්චිම කාලේ ඉස්කෝලේ දි මම හිටියේ සිල්ගත්තු උපාසකයා වගේ මෙලෝ භාහිර වැඩක් කලේ නැහැ..... කොහොමින් කොහොම හරි අර දැන් කාලේ අම්මලගේ විභාගේ මට මතක විදිහට අපේ කාලේ ඒකට කිව්වේ පහේ ශිෂ්‍යත්වේ කියලයි... ඔන්න ඕක එහෙමත් පාස් වෙලා කොරලා 6 වසරට පාස් උනා කියහන්කෝ අන්න ඊට පස්සේ තමයි මට භාහිර වැඩ කරන්න ඕනෑ කියලා පොඩි උණක් ගත්තේ..... 


එහෙම මොනවා හරි කොරන්න ඕනැයි කියලා ඉන්න කොට තමයි ගෙදරින් මට වයලින් එකක් අරන් දුන්නේ ගහපන් ඕක කියලා බුම්මට්ටා වගේ නිකන් ඉන්නේ නැතුව.... ඉගෙන ගන්න ගියේ ලංකාවේ බහුතරයක් සංගීත ප්‍රවීනයොත් එක්ක කරට අත දාගෙන ඉන්න තරමටම වැඩකරුවෙක් වෙච්ච ටිකක් වයස සංගීත ගුරුවරයෙක් ගාවට.... 


ගිහින් ගැහුවා වයලින් ඔය ගැහිල්ල ගැන කියලා වැඩක් නෑ රාග ගත්තම ඒකේ යන්ත්‍ර ගීත කියයි, තාන් කියයි,සර්ගම් ගීත කියයි, මධ්‍යය ළය ගීත කියයි එක එක විකාරා දැන්නම් මතකත් නෑ... හැමදාම ඒ කාලේ බැණුම් නම් නොසෑහෙන්න ඇහුවා ප්‍රැක්ටිස් කොරන්නේ නැහැයි කියලා...... 


වයලින් එකක් අරන් දීලා මාව අමාරුවේ දාන්න ගෙදරින් හිතුවා මදි එව්වා කොහෙද මාත් එක්ක මම සැලුනේ නෑ හැමදාම බැනුම් අහ අහා ගැහුවා වයලින් අවුරුදු 5ක්... කොහොම හරි වයලින් එක්සෑම් දෙකකුත් කලා ඒත් විශාරද එක්සෑම් එක කර ගන්න බැරි උනා. ඒ ඕ ලෙවල් ඉවර උන ගමන් ඒ ලෙවල් නිසා මම වයලින් එක කාමරේ මුල්ලකට ඔබපු නිසා.....


දැන්නම් වයලින් එකේ කෑලි.... ගට් එක ( වයලින් එකේ තත් ටික වයලින් එකට සම්බන්ද කරලා තියන පොඩි තන්තු වලින් හදපු කෑල්ලක්) තත් 4 ම කෑලි. කොටින්ම බෝ එක(වයලින් එක ගහන්න ගන්න කෝ‍ටුව වගේ එකට කියන්නෙ බෝ එක කියලා) අන්න එකේ කෙඳි ටික දිරලා..... දැන්නම් මට කවුරු හරි වයලින් එකක් දුන්නොත් ගහපන් කියලා තත් ටික අල්ල ගන්නවත් මතක නෑ... අන්න මගේ බාගෙට වැඩ කිරිල්ලේ හැටි අවුරුදු 5ක් වයලින් ගහපු ගැහිල්ල වතුරේ ගියා මගේ තියන නොසන්ඩාල කම නිසා..... 


ඒ කාලේම ඒ කිව්වේ 6 වසරෙදිම ඉස්කෝලෙන් එක්කන් ගියා පීනන්න ඉගෙන ගන්න කැමති අයට ස්විමින් උගන්නන්න ක‍ටුනායක ගුවන් හමුදා කඳවුරේ ජල තටාකයට.... මම හිතන්නේ අවුරුද්දක් විතර යන්න ඇති.... කොහොම හරි එක එක කඩා කප්පල් කාරී ක්‍රියාවන් නිසා වැඩේ හබක් උනා... ඊට පස්සෙත් මම පීනන්න ඉගෙන ගන්න සෑහෙන්න ට්‍රයි එකක් දුන්නා එක එක තැන් වලින් ඒත් ජන්මෙට වඩා පුරුද්ද ලොකු කම නිසා වෙන්න ඇති එව්වා ඔක්කොම ලත් තැනම ලොප් උනා.... 


දැන් මට ආඩම්බරයෙන් කියන්න පුලුවන් මට තවමත් දියේ තියා ගොඩවත් පීනගන්න බැහැ... ටිකක් විතර පුලුවන් හැබැයි ඒකත් දැන් පුලුවන්ද දන්නේ නැහැ මොකෑ 2005 න් පස්සේ ඇලකට දොලකට තියා ස්විමින් පූල් එකකටවත් බැහැලා නැහැ නාන්න කියලා.... අන්න මගේ හැටි...... 


කොහොම හරි ස්විමින්ග් කෙරුවාව අප්සට් ගිය නිසා ක්‍රීඩාවක් කියලත් මොකක් හරි කරන්න ඕනෑ නිසා මම ගියා වොලි බෝල් (අත් පන්දු) ගහන්න.. මතක හැටියට ලංකාවේ ජාතික ක්‍රීඩාව මයේ හිතේ ඒ කාලේ... දැන්නම් අර සෙට් එකක් වට වෙලා බෝලෙකට පොර කන රගර් ද මොකක්ද මගුලක්නේ ජාතික ක්‍රීඩාව වෙන්න යන්නේ(දන්නෝ දනිති).... 


කොහොම හරි වොලි බෝල් ගහන්න ගියේ 7 වසරදි විතර.ඒ කාලේ ඔව්වා කරන්න හේතුවක් තිබ්බා.... මම තමයි පන්තියේ හිටිය මිටිම පුන්චිම එකා... උස යන්න ඕනේනම් ස්විමින්, වොලි බෝල් වගේ එකක් කරන්න කියලා හැමෝම කිව්ව නිසයි ඔව්වට ගියේ... මම හිතන්නේ මගේ ඒකීය ස්වෛරී භාවයද මොකක්ද එක කඩා කප්පල් කරන්න එක එකා ඒ කාලේ ගහපු කුමන්ත්‍රණද කොහෙද... ඒ කාලේ කැරට් කකා පැන පැන ගිය හින්දා ( හාවා උන නිසා) අහු උනා... 


කොහොමින් කොහොම හරි වොලිබෝල් ගැහිල්ල ගහන්න ඇති මාස 6 ක් විතර... මොන උස යැවිල්ලක්ද හිටියටත් වඩා මිටි වෙලාද මන්දා කිය කියා දානෙටයි, මලගෙවල් වලදියි හම්බු වෙන වේයෝ ටික කියන්න ගත්තම මට එපා උනා...


වොලි බෝල් ගැහිල්ලත් හරි සමහරදාට ඩෑෂ් බ්ලොක් කරද්දි අත් දෙක තැලෙනවා අම්බානෙට, වොලි පාස් කරද්දි ( අර ඇඟිලි තුඩු වලින් ඩැෂ් එක ගහන්න බෝලේ උස්සලා දෙන්නේ ඒකට කිව්ව නම ඕක මතක හැටියටනම්) ඇඟිලි උලුක්කු වෙනවා.... ඔව්වා වලින් පෝරියල් කාලම එපා උනා.... ගැහුවා වොලි බෝල් අන්තිමට මාස 6ක් විතර ඒකත් බාගෙට නවත්තලා දැම්මා.... 


ඊට පස්සේ ඔන්න ඔය කාලෙම ආවා ඉස්කෝලෙට ක‍ටුනායක ගුවන් හමුදා බාලදක්ෂ කණ්ඩායමට ළමයින් බඳෝ ගන්නවයි කියලා.... නිකන් නලියනවා නලියනවා වගේ නිසා ඉන්න බැරි කමට ගියා ගුවන් බාලදක්ෂයෙක් වෙන්න කියලා හිතන්.... හැබැයි දෙයක් පිළිවෙලට කරන්න, කලට වෙලාවට වැඩක් ඉවර කරන්න, නීට් එකට ඇද පැලදගෙන ඉන්න,උයන්න පිහන්න, කොටින්ම සෞඛ්‍යය කියලා දෙයක් දැන් මට තියෙනම් කිව්වත් වගේ කොටට නිය පොතු ටික කපලා, සපත්තු එහෙම පොලිශ් කරලා දත් මැදලා කොණ්ඩේ හිටන් පීරගෙන පිලිවෙලට මිනිහෙක් වගේ ඉන්න නම් ඉගෙන ගත්තෙ එතනින් තමයි... 


ඒ නොසෑහෙන්න ගුටි කාලා.... කම්මුල් ඉදිමිලා තියෙන්න ඇති සමහර දවස් වලට... ඒත් එතනින් ජීවිතෙට එකතු වෙච්ච දේවල්නම් අදටත් වටිනවා.... කිව්වත් වගේ බාලදක්ෂ කලා, කැම්පෝරි ජම්බෝරි ගියා නොසෑහෙන්න අත්දැකීම් ගොඩාක් ජිවිතෙටත් එකතු කරගත්තා..... ඒත් ඒකත් බාගෙට අවුරුදු තුනහමාරක් විතර කරන්න ඇති මගේ හිතේ.... 


බාලදක්ෂ ‍රැහැන ( බාලදක්ෂ පාඨමාලාවේ ජනාධිපති පදක්කම දක්වා යද්දි මැද තියෙන මට්ටමක් ‍රැහැන කිව්වේ) වෙන්කන් කරලා ගුටි කන්න බැරිම තැන ගෙදරට බොරු 100ක් විතර ගොතලා ඒකත් බාගෙට නැවැත්තුවා.... ඒ කාලේ ඇතුලේ වෙච්ච දේවල් ඉස්සරහට ටික ටික ලියන්නම්කෝ... මම කලිනුත් ඒ ගැන පෝස්ට් 4ක් දැම්මා මතකයි.... 


කොහොමින් කොහොම හරි ඔහොම ඉද්දි 9 වසරෙදි විතර ආවා ක්‍රිකට් ඇම්මක්... ඒ කික් එකට අපේ සෙට් එකක්ම ගියා ක්‍රිකට් ගහන්න... මගේ මොකෝ අතින් පයින් යනවයි කියලයෑ මාත් ගියා ක්‍රිකට් ගහන්න කියලා ඒ ගැහිල්ලත් ගහන්න ඇති උපරිම අවුරුදු එකහමාරක් විතර ලෙදර් බෝලෙන් 3-4ක් කාලා ඇඟිලි කඩන්, සමහර එව්වා උලුක්කු කරන් අන්තිමට ක්‍රිකට් ගැහිල්ලත් නවත්තලා දැම්මා බාගෙටම...... 


කොහොම හරි ඔය කාලෙදිම තමයි ඉස්කොලේ ශිෂ්‍යය නායකයෙක් වෙලා ඉඳගෙන ඉල්ලන් ටින් කිරි ගාගත්තෙත්.... ඒකෙත් හිටියා 9, 10 , 11 කියන වසර තුනම... ඒත් සමාන්‍යය පෙළ කරලා ඉස්කෝලෙන් උස්ස පෙළ කරන්න වෙනත් ඉස්කෝලෙකට ගිය හින්දා ඒකත් වැඩක් උනේ නැහැ.... 


අදටත් ඉස්කොලේ ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙලා හිටියා කියලා ඔප්පු කරන්න සහතිකයක් වත් මන් ගාව නැහැ... බැජ් පළදවද්දි ඉතුරු වෙච්ච ඡායාරූප ටිකකුයි, බැජ් කියලා එල්ලපු බෙලෙක් කෑලි 3 කුයි, මිහිරි අමිහිරි මතක සටහන් පොදියකුයි ඇරෙන්න.... කොහොම හරි අන්තිමට ඒකත් බාගෙට කලේ..... 


කොහොමින් කොහොම හරි ඒ ලෙවල් කරද්දි පිස්සු මර ගාත ඔක්කොම නවත්තලා ෆුල් ටයිම් ඉගෙනීමම කල නිසා බාගෙට කරන්න වැඩ වලට අත ගැහුවේ නැහැ... ඔන්න ඔහොමයි අපරාජිතයා කියලා නමක් ගහගෙන බ්ලොග් එක ලියන මම නටපු නාඩගම්... බලපල්ලා දැන් මේ බ්ලොග් ලිවිල්ල ඒකත් බාගෙට නවත්තලා දැම්මනේ... 


මම නම් කවදාවත් හැදෙන එකෙක් නෙමෙයි පොඩි කාලෙ ඉඳන්ම ගෙදරින් අම්බානක් බාග වැඩවලට බැනුම් ඇහුවට..... දැන් උඹලා හිතයි මූනම් රීලා හරියට පු** හොදන්නෙත් නැද්ද කියලා.... නෑ නෑ ජීවිතේ සම්පුර්ණයෙන්ම කරපු දේවල් 3ක් තියනවා... 


තූවෙනි එක තමයි මම කරාතේ කලා උසස් පෙළ අවසන් කලාට පස්සේ... අදටත් කරනවා... මම අද කලු පටි දාරියෙක්.... යන්තම් මොකක් හරි සම්පූර්ණයෙන් කරගන්න ඕනෙයි කියලා හිතපු නිසා ඒක කර ගත්තා ඒත් එකෙත් අවසානයක් නැහැ කලු පටි වලත් 1 සිට 10 දක්වා ශ්‍රේණියක් තියෙන නිසා...... 


දෙවනි එක තමයි ගොඩක් දෙනෙක් පුංචි කාලේ ඉඳන් දහම් පාසල් ගියාට එහෙමවත් කෙනෙක් තමයි දහම් පාසල් අවසානයත් කරලාම දහම් පාසල් ජීවිතය අවසාන කරන්නේ( අන්තිම එක ධර්මාචාරය ඒ උනාට ඒ මට්ටමට ලඟා වෙන්නේ බොහෝම අතලොස්සක් විතරයි). ජීවිතේ ගොඩාක් දේවල් බාගෙට කරපු මම යන්තම් දහම් පාසල් අවසානයත් කොරගත්තා හොදම ප්‍රතිපලයකුත් එක්ක....


අන්තිම එක ඒ වගේම වැදගත්ම එක තමයි ඉගෙනීම.... ඉගෙනීම පැත්තෙන් යන්න පුලුවන් උපරිමයටම යන්න මට පුලුවන් උනා... මං ගැන පෞද්ගලිකව දන්න ටික දෙනා මම කිව්ව දේ මොකක්ද කියලා දන්නවා..... 


මේ බ්ලොග් එක කියවන අයට ඒ ගැන පැහැදිලි වැටහීමක් නැතුව ඇති... ඒත් එකක් විශ්වාසෙන්ම කියන්න පුලුවන්.ජීවිතේ මොන දේ බාගෙට කලත් මම හරියටම කල දේ ඉගෙනීම කියලා මට 100% ක් විශ්වාසයෙන් කියන්න පුලුවන්.....ඒත් අදටත් ඉගෙන ගන්නවා... 


අර කව්ද මන්දා කියලා තියනවලුනේ ඉපදුන දා පටන්ම මැරෙන තුරාවට මිනිහෙක්ට කරන්න තියෙන එකම දේ ඉගෙනීම කියලා.... ඔන්න ඔය 3 විතරයි මතක විදිහට මම ජිවිතේ සම්පූර්ණයෙන් කරපු දේවල් 3 කට තියෙන්නේ... 


ඒකෙනුත් ඉගෙනීමයි, කරතේයි තවමත් ජිවිත ගමනේ කරන ගමන් ඉන්නේ.... ඒ ඇරෙන්න මම කරපු හැම මගුලක්ම කරලා තියෙන්නේ බාගෙට..... ඔන්න ඔහොමයි මගේ ජීවිතේ..... ඔයාලටත් ඔය වගේ අත්දැකීම තියෙනම් හිතුනොත් පහලින් කොටලා යන්න...... අදට මේ ඇති.....

Thursday, July 12, 2012

මී කතුර..........



කාලෙකට පස්සේ ආයේ ලියන්න ඕනයි කියලා හිතුනා.... අවුරුද්දකට වඩා කාලයක් බ්ලොග් එක පැත්තෙ පලාතේ ඇවිත් පෝස්ට් එකක් දාන්න උනේ නැහැ..

මොනවා කරන්නද එක පාරක් ලියපු පෝස්ට් එකකට එකෙක් ඇවිත් බැනලා දාපු කමෙන්ට් වලින් බ්ලොග් සංහිදියාවම එපා වෙලා ගියා.... :( :( :(

පස්සෙ පස්සේ ලියන්න හිතුවත් වෙලාවකට වැඩ වැඩි කමට, තවත් වෙලාවකට මහම මහ මූසල කම්මැලි කමක් නිසා වැඩේ නවත්තලා නිකන් හිටියා.... දැන් මං හිතන්නේ මාව සින්ඩි වලිනුත් එලියට විසික් වෙලා ඇති.... 


මම පොඩි කාලේ ඉදන්ම ඔහොම්මමයි වැඩක් පටන් ගත්තොත් අවසානයක් වෙනකන් ඉවර කරන්නේම නෑ.. ඕකට හැමදාම ගෙදරින් බැනුම් අහනවා පොඩි කාලේ ඉඳන් බාගෙට කරපු එකි නොකී මෙකී වැඩ නිසා... බලමුකෝ මේ පාරවත් එක දිගට ලියාගන්න පුලුවන් වේවිද කියලා සතියකටවත් බැරිම උනොතින් සති දෙකකටවත් සැරයක් එක පෝස්ට් එකක්වත් දාගන්න......


ආපු එකේ මොනවා හරි කොටලත් යන්න එපායෑ මේ කියන්න යන්නේ කාලෙකට කලින් මේල් එකකින් අහපු කතාවක් මේක මෙයිට කලින් වෙන තැනකින් කියවල තියනවනම් මගේ අම්මා මුත්තා මතක් කරලා බනින්නේ නැතිව පලයල්ලා මේන් වැන්දා.... මෙන්න මෙහෙමයි කතාව...

මේ සිද්දිය උනේ එක්තරා පුන්චි පහේ ගොවි පොලක... ඔන්න එක දවසක් මේ ගොවි පොළේ ගොවි මහත්තයා මොකක්දෝ මන්දා අලුත් පෙට්ටියක් ගෙදරට උස්සගෙන ඇවිත් ගොවි මහත්තයගේ බිරිඳෑ එක්ක ඒක දිග ඇරලා බලනවා දැක්කා ඒ ගොවි ගෙදර හිටපු පුංචිම පුංචි මීයෙක්... 


ඌ ඒ දිහා බලන් හිටියේ බිත්තියේ තිබිච්ච පුන්චි පැල්මකින් 
"මොකක්ද මේ පෙට්ටියේ තියෙන්නේ රස කෑමක් වෙන්න ඇති" කියලා හිතන්......... ඒත් පෙට්ටිය දිග ඇරියම තමයි ඌ හරියටම දැක්කේ ඒ පෙට්ටිය ඇතුලේ තිබ්බේ මී කතුරක් විත්තය... ඒ බව දැන ගත්තු මීයා හිතුවා මේ මී කතුර ගැන තමුන්ගේ ගොවි පොලේ හිටපු යාලුවන්ටත් කියන්න ඕනයි කියලා.... 


මීයා මුලින්ම ගියා කිකිළි ගාවට ගිහින් මෙහෙම කිව්වා....
මීයා:- යාලුවා යාලුවා ගොවි ගෙදරට අලුතින් මී කතුරක් ගෙනල්ලා... අපි කෝකටත් පරිස්සම් වෙමු නේද...??
ඒ වෙලේ කිකිළි හිටියේ බිම පහුරු ගාගෙන ඌ මෙහෙම කිව්වා ඒක වැඩිය ගනන් නොගෙනම....
කිකිළි:- මී කතුරක් තිබ්බට මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි... උඹයි ඒක ගැන කලබල වෙන්න ඕනේ... මට ඔව්වා වලට කරදර වෙන්න තරම් වෙලාවක් නැහැ....


දුකට පත්වෙච්ච මීයා ගියා තමුන්ගේ ඊ ළග යාලුවා ගාවට.... ඌ ඌරෙක් 
මීයා:- යාලුවා ගොවි ගෙදරට අලුතින් මී කතුරක් ගෙනල්ලා...
ඒකට පිළිතුර විදිහට ඌරා දුන්නේ මෙහෙම උත්තරයක්....
ඌරා:- මොනවා කරන්නද මිත්‍රයා... ඔබේ නරක කාලය ඇවිත්... මට උඹ වෙනුවෙන් කරන්න පුලුවන් දෙවියන්ට කන්නලව් කරන එක විතරයි... මගේ කන්න ලව්ව ඇහිලා දෙවියන්වත් උඹව බේරුවොත් ලොකු දෙයක්....


ඌරගේ පිළිතුරින් දුකට පත් වෙච්ච මීයා ගියේ තමුන්ගේ අන්තිම යාලුවා ගාවට. ඌ එළදෙනක්....
මීයා:- යාලුවා මී උගුලක් මී උගුලක්........
එළදෙන:- ෂා නියමයි... මී උගුලකට මට කරන්න පුලුවන් ඉලව්වක් නෑ... ඔබේ ජිවිතේ අන්තිම කාලේ මිත්‍රයා... මට කණගා‍ටුයි....


කිකිළිගෙන්, ඌරගෙන්, එළදෙනගෙන් නෝක්කාඩු අහපු මීයා කර කියා ගන්න දෙයක් නැතිව තමුන්ගේ ගුලට දුකින් ගියා... ජීවිතේ ගැන තිබ්බ ආසාවත් අත හැරලා තනිවම මී උගුලට මූන දෙන්නත් හිතන්... ඒත් ඌ හිතාගත්තා කෝකටත් පරිස්සම් වෙන්න....


එදා මැදියම් ‍රැය එළඹුනා.... හදිස්සියේම මී කතුරට මොකෙක් හරි අහුවුන සද්දයක් ඇහුන නිසා කලුවරේම ගමයගේ බිරිඳෑ මොකක්ද අහු උනේ බලන්න ගියා....


මී කතුරට අහුවෙලා හිටියේ විෂඝෝර සර්පයෙක්... ඒකත් උගේ වලිගේ කෙළවර... කළුවරේම මී කතුර බලන්න ගිය ගම බිරිඳ නොදැනුවත්ම සර්පයාව පෑගිලා සර්පයාගේ දෂ්ඨ කිරීමට ලක් උනා... 


ගමයා ඉතින් ඉක්මනට බිරිඳව ඉස්පිරිතාලෙට එක්ක ගියා ඒත් ඇය නැවත ගෙදර ආවේ අසාර්ථක උන ප්‍රතිකාර අවසානයේ තද උණක් එක්ක...ගමමහගේ බලන්න ආපු ගොඩක් දෙනෙක් කිව්වා තද උනට කුකුල්මස් වලින් හදපු සුප් බොන්න දුන්නොත් උණ බැහැලා යාවි කියලා.... ගමයා කලේ ගෙදර හිටපු කිකිළිව මරලා සුප් හදලා ගම මහගෙට බොන්න දීපු එකයි... 


ඒ උනත් ගම මහගෙට තිබ්බ උණ අඩු උනේ නැහැ එන්න එන්නම අමාරු උන එක ඇරෙන්න... ඒක හින්දා අහල පහළ අයයි නෑයොයි ගම මහගේ ළග තනියට නිදි මරන්න ආවා.. ඒ අයට කන්න දෙන්න ඕනා නිසා ගමරාළ ගෙදර හිටපු ඌරව මරලා මස් උයලා කන්න දුන්නා..... මොන දේ කළත් අන්තිමට ගම මහගේ අසාධ්‍යය වෙලා මැරුනා... මරණ ගෙදරට මුලු ගමම ආවා... 


අන්තිමට ඒ ඔක්කොටම කන්න දෙන්න ගෙදර හිටි එළදෙනව මැරුවා..... ඔය විදිහට මී කතුරක් නිසා ගෙදර හිටි කිකිළිටයි, ඌරටයි, එළදෙනටයි ටිකට් එක ඇදෙද්දි ගෙදර හිටි මීයා අර බිත්තියේ පැල්මෙන් මේ ඔක්කොම දිහා ගොඩාක් දුකින් බලං හිටියා..... 


මේ කතාවෙන් ජීවිතේට ගන්න පුලුවන් පොඩි පාඩමක් තියනවා..... ආයෙ කොයිම වෙලාවක හරි ඔබට ඇසුනොත් ඔබගේ කෙනෙක් අණතුරක වැටිලා කියලා ඒක උගේ ප්‍රශ්නයක්නේ මට අදාල නැහැනේ කියලා ඉන්න එපා..... මී කතුරෙන් කිකිළිට, ඌරට, එළදෙනට මරණය ගෙනාවා වගේ ඒ ප්‍රශ්ණයෙන් ඔබටත් අණතුරක් වෙන්න පුලුවන්...... 


මතක තියා ගන්න ඕනේ දෙයක් තියනවා... ජිවිතේ අපිට හම්බුවෙන මිනිස්සු හැම කෙනෙක්ම හම්බු වෙන්නේ මොකක් හරි හේතුවක් නිසයි.... ඒ පුද්ගලයෙක් අනතුරකට වැ‍ටුනම අත නොහැර එයත් එක්ක එකතුවෙලා ඒකට විසදුමක් හොයන එක තමුන්ගේ ජිවිතෙත් ආරක්ශා කර ගැනීමක් වෙන්න පුලුවන්... 


මොකද අපිට මොනවා කොයි මොහොතක වේවිද කියලා උඩ ඉන්න දෙවියෝ විතරක් දන්න අපි නොදන්න දෙයක් නිසයි............ අදට මේ ඇති......  

අන්තිමටම කියන්න ඕනේ දෙයක් තියනවා... ඕක මම ඉංග්‍රිසියෙන් කියවපු එකක් මට පුලුවන් හැටියට සිංහලේට හරවලයි ලිව්වේ... මගේ ඉංග්‍රීසි දැනුමේ හැටියට කතාවේ අදහස 99% ක් විතර වෙනස් වෙලාද දන්නෙත් නැහැ බොලව්...හි හි....


පසුව ලියමි:- කියන්න ඕනේ දෙයක් තියනවා බ්ලොග් එක ආයේ ලියන්න ඕනේ කියලා හිතුනේ ලංකා ප්‍රියගේ සිතිවිලි ලියන සරත් ලංකාප්‍රිය මාමා ෆේස් බුකියෙන් මට කීප සැරයක්ම කල ඉල්ලීමක් නිසයි... ස්තුතියි මාමේ ඔබට ගොඩාක්.....