Sunday, June 26, 2011

අගය කිරීමේ වටිනාකම.


අනේ ඉතින් මම සෙනසුරාදා මහ රෑ අලුත් පෝස්ට් එක දාලා සදුදා උදේ පාන්දරම කැම්පස් යනවා. ආයේ එන්නේ සෙනසුරදා හවස් වෙලා.

සෙනසුරාදා මහ ලොකු වැඩක් නැති උනාට ඔය ප්‍රොජෙක්ට් හදන්න හරි නැත්නම් පොඩි රස්තියාදුවක් ගහලා ෆන් එකක් ගන්න හරි ගියහම ගෙදර එන්න මතක් වෙන්නේ හවස් වෙලා.

අද ඇවිත් බ්ලොග් එකට ලොග් වෙලා බැලුවම දැක්කේ කමෙන්ට් 7ක් තිබ්බා පහුගිය සදුදා, අඟහරුවාදා දවස් වල දාපු මොඩරේට් කරන්න.

ඉතින් අනේ එව්වා ඔක්කොමත් පබ්ලිෂ් කලේ අද තමයි.තරහා වෙන්න එපෝ.අනික බං බ්ලොගක් කියවන්න වෙන්නෙත් මේ දවස් දෙකේ තමයි.

ඒක නිසා අනික් එව්වා වලට කමෙන්ට් කරන්නත් වෙලා යනවා.ඒකටත් සමාවෙයල්ලා.කලින් දාපු පෝස්ට් එකට හොඳ ප්‍රතිචාර තිබ්බා.ඒක නිසා අදත් ඒ වගේ කතාවක් දාන්න දාන්න හිතුනා.

ඔන්න බං බනින්න එපා හැමදාම ඔව්ව දාන්නේ මට දාන්න වෙන දෙවල් නැති නිසාද කියලා.හැම දේකම මික්ස් එකක් තියෙන්න එපාය බ්ලොග් එකක් උනාම ඒකයි සීන් එක.

මෙන්න එහෙනම් කතාව.කියවලා ගන්න පුලුවන් දෙයක් තියෙනම් අරගනිල්ලා.

අධ්‍යයාපනික පැත්තෙන් විශිෂ්ඨ තරුණයෙක් රටේ ප්‍රසිද්ධ ලොකු ව්‍යාපාර ආයතනයක කළමණාකාර ධුරයට අයදුම් කලා.තමන්ගේ දක්ශකම නිසාම පලවෙනි සම්මුක පරික්ශණය සමත් වෙන්න එයාට පුලුවන් උනා.

අන්තිම සම්මුක පරික්ශණය කළේ එම ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයයි තම ආයතනයට නව කළමණාකරු විදිහට සුදුසුම පුද්ගලයාව ‍තෝරා ගැනීමට.

කොහොම හරි මේ තරුණයාගේ අයදුම් පත්‍රය පරීක්ෂා කරද්දී මේ අධ්‍යක්ෂකවරයට තේරුනා මූ අධ්‍යයාපනික පැත්තෙන් උපාදිය ලබා ගන්නා තෙක්ම විශිෂ්ඨ සාමාර්ථ සහිතව සෑම විභාගයක්ම සමත් වෙලා තියෙන විත්තිය.

සම්මුක පරීක්ෂණයෙදී දෙන්නා අතර ගියේ මෙහෙම දෙබසක්;

අධ්‍යක්ෂකවරයා:-පාසලෙන් ඉහළට ඉගෙන ගන්න මොකක් හරි ශිෂ්‍යත්වයක් ලැබුනද ඔබට..?
තරුණයා:-නැහැ.
අධ්‍යක්ෂකවරයා:-ඔයාගේ තාත්තාද එහෙනම් හැම වියදමක්ම දැරුවේ පාසල් ගාස්තු පටන්.?
තරුණයා:-මගේ තාත්තා මට වයස අවුරුදු එකක් විතර වෙනකොටම මැරිලා.මගේ අම්මා තමයි මගේ හැම වියදමක්ම දැරුවේ.


අධ්‍යක්ෂකවරයා:-ඔයාගේ අම්මා කොහේද වැඩ කලේ.?
තරුණයා:-මගේ අම්මා රෙදි සෝදන්නියක්.

ඒ කතාව අහපු ගමන් අධ්‍යක්ෂකවරයා තරුණයාට එයාගේ අත්දෙක පෙන්නන්න කිව්වා.ඉතාමත් සුමුදු නිරෝගී අත්ල දෙකක් සහිත අතක් තරුණයා අධ්‍යක්ෂකවරයාට පෙන්නුවා.

අධ්‍යක්ෂකවරයා:-ඔබ කවදා හරි දවසක රෙදි සෝදන්න ඔබගේ අම්මාට උදව් කරල තියනවාද.?
තරුණයා:-කවදාවත් නැහැ.මගේ අම්මාට හැම තිස්සේම ඕනෑ උනේ මම වැඩිපුර පාඩම් කරන එකයි පොත්පත් වැඩිපුර කියවන එකයි.අනිත් එක තමයි මට වඩා අම්මාට ගොඩක් ඉක්මනට රෙදි සෝදන්න පුලුවන්.


අධ්‍යක්ෂකවරයා:-මම ඔබගෙන් පොඩි ඉල්ලීමක් කරනවා.ඔයා අද ගෙදර ගියාම ගිහින් අම්මගේ අත් දෙක පොඩ්ඩක් අරගෙන පිරිසිඳු කරලා හෙට උදේට  ඇවිත් මාව ආයෙමත් හම්බු වෙන්න.

එම ප්‍රකාශයෙන් තමන්ට මෙම රස්සාව ලැබෙන්න පුලුවන් හැකියාව වැඩි බව තෙරුම් ගත්තු තරුණයා සතුටින්
ගෙදර ගිහින් සිනා මුසු මුහුණින්ම තම මවගේ අත්ල දෙක පිරිසිඳු කරන්න ඉල්ලුවා.

ඔහුගේ අම්මා අමුතුවෙන් වගේ, ඒ වගේම ප්‍රීතිමත්ව තම පුතා දිහා බලලා තම දෑත දිගුකලා.තරුණයා තම මවගේ දෑත් ඉතාමත් සෙමින් සෙමින් සේදුවා.අම්මගේ දෑත් පිරිමදින වාරයක් වාරයක් පාසා නෙතට හොරා කඩුලු බිඳු එක දෙක රූරා වැටෙන ගමන්ම.

එය තමයි පළමු අවස්තාව උනේ ඔහු තම මවගේ අත් දෙක ‍රැලි වැටිලා,ඒ වගේම කර ගැට වලින් පිරිලා තියෙන වග දැක්ක.සමහර කරගැට අල්ලන කොටත් රිදෙන වග ඔහුට තේරුනේ වතුර සමහ අත්ල දෙක පිරිමදිද්දි අම්මා දක්වපු ප්‍රතිචාරයෙන්.

ඒ තමයි පලමු අවස්තාව තරුණයාට තේරුනා කර ගැට වලින් පිරුණු මේ අත්ල දෙක තමයි කියලා දවස ගානේ රෙදි සෝදලා හම්බු කරන සොච්චමෙන් තමුන්ගේ පාසල් ගාස්තු ගෙවපු.

කර ගැට වලින් පිරුණු අම්මගේ අත්ල තමයි අවසානයේ ඔහුගේ උපාදියට,ඒ වගේම ඔහුගේ අධ්‍යාපනයේ විශිෂ්ඨත්වයට, ඒ වගේම ඔහුගේ අනාගතයට මුල් පාදක උන ගෙවීම කියලා.

අනිතිමට සිය මවගේ අත්ල දෙක සෝදලා ඉවර වෙලා ඔහු කලේ ඉතුරු වෙලා තිබ්බ ඇදුම් ඔක්කෝම හෝදලා දාපු එක තමුන්ගේ අම්මා වෙනුවෙන්.

ඒ රාත්‍රියේ තරුණයා අම්මා එක්ක කවදාවත් නොකරපු තරමට ගොඩක් වෙලා කතා කරලා පහුවදා උදෙන්ම නැවත අධ්‍යක්ෂකවරයාව හමු වෙන්න ආයතනයට ගියා.පස්සේ දෙන්නා අතර ගියේ මෙහෙම දෙබසක්;

අධ්‍යක්ෂකවරයා:- ඔයාට මට දැන් කියන්න පුලුවන්ද ඊයෙ ගෙදර ගියාට පස්සේ කල දෙවල් සහ ඒකෙන් ඉගෙන ගත්තු පාඩම මොකක්ද කියලා.? 


තරුණයා:-මම මගේ අම්මාගේ අත් දෙක හොඳට හෝදලා ඉතුරු වෙලා තිබ්බ රෙදි ටිකත් ඔක්කෝම හෝදලා දැම්මා.
අධ්‍යක්ෂකවරයා:-කරුණාකරලා ඔයාට කියන්න පුලුවන්ද දැනුනු හැඟීම.?


තරුණයා:-(කඳුලු පිරුණු මුහුණක් සමග)අංක එක: මම දන්නවා දැන් මොකක්ද අගය කිරීම කියන්නේ කියලා.මගේ අම්මා නැතිව අද දවසේ මම ලබාගෙන තියන සාර්තකත්වය කිසි සේත්ම මට කවදාවත් ලබා ගන්න වෙන්නේ නැහැ.
අංක දෙක: මගේ අම්මත් එක්ක ඊයෙ එකට වැඩ කිරීමෙන් ඒ වගේම උදව් කිරීමෙන් මම දැන ගත්තා යම් දෙයක් කරන්න කොච්චරක් නම් අමාරුද ඒ වගේම ක‍ටුකද කියලා.
අංක තුන: ඒ වගේ මේ ලෝකේ මට තියන වැදගත්ම දෙය මගේ පවුල තමයි කියලා මම දැන් දන්නවා.


අධ්‍යක්ෂකවරයා:-මෙච්චර කාලයක් මම මගේ කළමණාකරුවෙකුගෙන් හොයපු එකම දෙයත් ඕක තමයි.මට ඕනා උනේ අනික් අයගේ සහයෝගය අගය කරන්න පුලුවන්,අනික් මිනිස්සුන්ගේ වේදනා දුක් කරදර තේරෙන,තමුන්ගේ ජිවිතේ මූලික අරමුණ සල්ලි කර නොගත්තු මනුස්සයෙක්ව.
ඔබ මේ රස්සාවට සුදුසුතම කෙනා වෙලා ඉවරයි.

අවසානයේ මේ තරුණයා මහන්සියෙන් වැඩ කරලා එම ආයතනයේ අනික් ප්‍රධානීන්ගේ පැසසුමට පවා ලක් උනා.

ඔහු යටතේ වැඩ කල සෑම කෙනෙක්ම කණ්ඩායමක් විදිහට මහන්සියෙන්, උද්යෝගිමත්ව වැඩ කරලා එම ආයතනයේ ක්‍රියාකාරිත්වය සීඝ්‍ර ලෙස වර්ධනය කලා.

ඔහුට රස්සාව ලැබුණු දවස තමයි ඔහුගේ අම්මාත් දුක් විදපු අවසාන දවස උනේ... කතාව ඉවරයි මෙන්න බණ ටික.

දැඩි පරිස්සමක් ඇතිව, ඉල්ලන ඉල්ලන දේ ඕනෑ වෙලාවට අරන් දීලා ලොකු මහත් කරන පොඩි එකෙකුගේ හිතේ "පොරත්වය" කියලා මානසික මට්ටමක් ඇති වෙනවා.

ඒ වගේම හැම තිස්සේම ඔහු ඔහුව පලමු තැනින් තියා ගන්නවා.තම දෙමව්පියන්ගේ අධික මහන්සිය,කැප කිරීම් තඹේකට වත් මායිම් කරන්නේ නැහැ.

ඔහු කවදා හරි දවසක වැඩ කරන්න පටන් ගත්තාම ඔහු හිතන්නේ හැම කෙනාම ඔහුට ඇහුම්කන් දිය යුතුයි කියලයි.ඒ වගේම ඒ වගේ කෙනෙක් කළමණාකරන තණතුරකට පත් උනොත්; කවදාවත් තමුන්ගේ සේවකයන්ගේ දුක ඔහුට දැනෙන්නේ නැහැ.ඒවගේම හැම තිස්සේම ඔවුන්ට බනිනවා.

ඒ නිසා ඒ වගේ අය අධ්‍යාපනික පැත්තෙන් කොච්චර දක්ශ උනත් සාර්තකත්වය පවතින්නේ බොහොම ටික කාලයයි.ඔවුන් නිතරම රණ්ඩු සරුවල් ඇතිකර ගන්නවා.වෛරය පිරුනු අසාර්තක පිරිසක් බවට පත්වෙනවා.

මේ ලිපිය කියවපු ඔබත් මේ වගේ ආරක්ශක දෙමව්පියෙක් නම් නැති නම් වෙන්න හිතන් ඉන්නවා නම් ඇත්තටම ඔබ තමුන්ගේ දරුවාව ආරක්ශා කරනවාද,නැත්නම් විනාශ කරනවාද කියල පොඩ්ඩක් හිතලා බලන්න.

ඔබට පුලුවන් ඇති නැති කම් අනුව පොඩි එකාට ලොකු ගෙදරක ජිවත් වෙන්න,හොඳ කෑම වේලක් රස විඳින්න,පුලුල් තිරයක් සහිත රූපවාහිනියකින් TV බලන්න දෙන්න,පියානෝ වගේ පොෂ් සංගීත භාණ්ඩ වයන්න ඉගෙනගන්න සලස්වන්න.

ඒත් ඔබට පුලුවන්නම් වත්තේ තණකොළ සුද්ද කරනකොට ඒකට දරුවාව හුරුකරන්න,කෑමේන් පස්සේ ඔවුන්ගේ කන පිඟාන ඔවුන්ටම හෝදගන්න කියන්න,ඉඳුල් භාජන තම සහොදර සහොදරියන් එක්ක එකට එකතු වෙලා හෝදලා පිරිසිඳු කරන්න කියන්න ඒක තමයි විදිහ නේද.?

ඒ ඔබට වැඩකාරියෙක්ව ගන්න සල්ලි මදි කම නිසා නෙමෙයි.දරුවට ආදරය කරන්න ඕනෑ හරි විදිහ නිසා.ඔබ ඔවුනට තෙරුම් ගන්න සලස්වන එක තමයි වටින්නේ කොච්චර සල්ලි තිබ්බත් අපි හැමෝම දවසක කෙස් පැහිලා වයසට යන විත්තිය හරියට උඩ කතාවේ තරුණයාගේ මව වගේම.

වැදගත්ම දෙය තමයි ඔවුන්ට උගන්වන්න කෙනෙකුගේ උත්සාහයක් අගය කරන හැටි, ඒ වගේම අසීරුකම් වලට මුහුණදෙන හැටි,ඒ වගේම වැඩක් කරද්දි අනික් කෙනෙක් එක්ක එකට ඉන්න ඕනා කොහොමද කියලා..

පණ්ඩිත කතා කියන්න ගිහින් මට බැණුම් අහගන්න වේවිද දන්නෙත් නැහැ නාස් ලණුව බැදන් කරත්තේ දක්වන අපේ අයියලාගෙන්.

කමක් නැහැ තමුන්ට හිතෙන දේත් කියල යන්න පුලුවන්නම් පහලින් ගොඩාක් හොඳයි.නැති උනත් මම කා එක්ක වත් තරහක් නැහැ.
හැමෝටම ජය වේවා.....!!!

Saturday, June 18, 2011

මෙහෙම දෙයක් උනොත් ඔබ...???


මොනවා කරන්නද මචංලා.සතියේ මැද පෝයක් තිබ්බට කැම්පස් එක එදාට නිවාඩු උනත් ගෙදර එන්න හම්බුනේ නැහැ.අපේ කැම්පස් එකේ යාලුවෙකුගේ ගෙදරින් පොසොන් එකට මහා බත් දන්සලක් දුන්නා කුරුණෑගල.කෙලින්ම ඉතින් උන්ගේ ගෙදර ගියා දන්සලටත් එක්ක උදව් කරන්න කියලා..

ඔන්න අද තමයි ගෙදර ආවේ හුස්මක් කටක් ගන්න.ගොඩ කාලෙකින් මගේ කෙහෙම්මල් බ්ලොග් එක කියෝන කාටවත් වැඩකට ඇති මගුලක් මම කිව්වේම නැහැනේ නේද.කිව්වෙම එක එක හුට පටනේ. ඔන්න ඉතින් මට ආයෙත් හිතුනා ජිවිතයට ගන්න පුලුවන් ආදර්ශයක් තියෙන සත්‍යය සිදුවීමක් කියන්න...

මේක මට ආපු E-mail එකක තිබ්බ ටිකක් විතර පරණ සිද්දියක්... කියවපු කට්ටියත් ඇති.ඒකට සමාව ඉල්ලනවා.කඩ්ඩෙන් තමයි තිබ්බේ..මට පුලු පුලුවන් විදිහට සිංහලට හරවලා තමයි දැම්මේ...ඔන්න එහෙනම් කතාව...

බොහෝම ආදරයෙන් ජීවත් උන එක විවාහක යුවලකට විවාහයෙන් පස්සේ ගොඩාක් කාලයක් යනකන් දරු සම්පතක් ලබන්න තරම් වාසනාවක් තිබ්බේ නැහැලු... එක එක තැන් වලින් දහසක් දේ කරලා අන්තිම ප්‍රතිපලය විදිහට අවුරුදු 11 කට පස්සේ පිරිමි දරුවෙක් ඉපදුනාලු...

(ලංකාවෙ නම් අවුරුදු 11 ක් බලන් ඉඳීවි යෑ.දෙන්නා දෙපැත්තට වරද පටවලා අතක් පයක් ගලව ගන්න තරම් වලියකුත් දාගෙන දික්කසාදේ කියන කොල කෑල්ලට ක‍ටු ගාවි "හිඟා කක කොළපතක් අරන් - ලුණුයි බතුයි කමුකො රත්තරං" කියපු කටවල් වලින්ම මුලත් අමතක කොරලා)

ඔන්න මෙහෙම ඉපදුනු ඒ කොලු පැටවා අවුරුදු දෙකක් වෙනකන් කිසිම අතුරු ආන්තරාවක් නැතිව හොඳට සැපසේ හැදුනලු.. දවසක් මේ කොලු පැටවගේ තාත්තට තමන් බෙහෙත් විදිහට ගන්න අධි රුධිර පීඩන පෙති (ප්‍රෙෂර් පෙති) බොතලයෙන් පෙති අරගෙන උදේ කෑමෙන් පස්සේ බෝතලේ පියන වහන්න අමතක උනාලු.

ඒත් වැඩට යන්න ලැහැස්ති වෙලා යන්න හදන කොට මේසේ උඩ තියලා තිබ්බ මූඩිය විවෘත බෙහෙත් බෝතලේ දැක්කලු.ඒත් ඒ වෙනකොට වැඩට යන්න දැනටමත් පරක්කු වෙලා තිබ්බ නිසා සිය ආදරනීය බිරිඳට කිව්වලු බෙහෙත් බෝතලේ මූඩිය වහලා කබඩ් එකෙන් තියන්න කියලා පොර වැඩට ගියාලු.

ඒත් අතිශය ගෙදර වැඩ වලට කාර්ය බහුල වෙලා හිටපු කාන්තාවට තම ස්වාමි පුරුෂයා කියපු දේ මුලුමනින්ම අමතක වෙලා ගියාලු. ගේ ඇතුලට වෙලා සෙල්ලම් කර කර හිටි පොඩි එකා මේ බෙහෙත් බෝතලේ දැකලා ඒකත් සෙල්ලම් කරන්න ගත්තලු.

ඒක ඇතුලේ තිබ්බ පාට පෙති වලට වහ වැටිලා පොඩි එකා පෙති ටික ඔක්කොම ගිල්ලාලු... (පොඩි කාලේ මාත් ඔහොම හැක‍රැල්ලෙක්ව කටේ දාගෙන තියනවාලු.මටනම් මතක නැහැ මේ අපේ අම්ම තමයි කිය කියා අදටත් කින්ඩි දාන්නේ හැක‍රැල්ලො දැක්ක ගමන්.. කොහොමත් දු‍ටුදේ කටේ දා ගැනීම පොඩි උන්ගේ පුරුදදනේ)

කොහොම හරි බෙහෙත් පොඩි එකාට විෂ වෙලා පොඩි එකා සිහි නැතිව ඇදගෙන වැටෙනවා අම්මා දැකලා පොඩි එකාව ඉක්මනටම ඉස්පිරිතාලෙට එක්කගෙන ගියාලු..ඒත් අවාසනාවකට පොඩි එකා ඒ වෙනකොටත් ජිවිතයෙන් සමු අරගෙන ගිහින් ඉවරලු...

තමන්ගේ දරුවගේ මරණයත් හිතින් දරාගෙන තමන්ගේ ස්වාමියාට මුහුණ දෙන්න ගොඩාක් බයෙන් ගැහි ගැහි ඒ ගැණු කෙනා කල්පනා කර කර හිටියලු..මේ සිද්දිය ආරංචි උන ගමන්ම පොඩි එකාගේ තාත්තාත් ඉස්පිරිතාලෙට ආවලු...

ආපු ගමන්ම තමන්ගේ පොඩි එකාගේ නිසල දේහය තමන්ගේ දෑස් ඉස්සරහයින් තියනවා දැක්කලු... තම දරුවගේ වියෝවත් දරාගෙන ඒ මනුස්සයා තමන්ගේ බිරිඳ දිහාට හැරිලා වචන කීපයක් කටින් මිමිනුවාලු...

උඹලට හිතා ගන්න පුලුවන්ද ඒ වචන ටික මොකක්ද කියලා... අපි පොඩි සෙල්ලමක් කරමු... මේකට උත්තරේ උඹලට කියන්න වෙනමම පොස්ට් එකක් දාන්න බැහැනේ..අනික භාගෙට දැම්මා කියලා මට කුනු හරුප අහගන්නත් බැහැනේ...

මෙතනින් පහලට යන්න කලින් මේ කතාවෙන් කියන්න හදනෙ මොකක්ද කියලයි, ඒ මනුස්සයා තමුන්ගෙ බිරිඳ දිහාට හැරිලා මිමිනුවේ මොකක්ද කියලයි හිතපියව්... හිතුවනම් මෙතනින් යටට පොස්ට් එකේ පේජ් එක මවුස් එකෙන් කොනක ඉදන් ක්ලික් කරගෙන පහලට ඇදගෙන ගිහින් Highlight කරලා බලහල්ලා. Font Colour එක Dark Blue වලින් ඉතිරි හරිය දාලා තියෙන්නේ..

පිරිමි කෙනා සිය බිරිඳට කිව්වේ 
"මම ඔයත් එක්කයි මගේ කෙල්ලේ" කියලයි... මේක කියවපු කිසිම කෙනෙකුට හිතුනද පිරිමි කෙනා ඒ විදිහට තමුන්ගේ බිරිඳට කතා කරාවි කියලා............


පොඩි එකා මැරිලා ඉවරයි..ආයේ කවදාවත්ම ගේන්නවත් පණ දෙන්නවත් බැහැ.පොඩි එකා මැරුණ එකට තමුන්ගේ බිරිඳව කාලා වැඩක් නැහැනේ.. වෙන්න තියන දේ උනා..ඒකට වරද ගැණූ කෙනා පිට පටවන්න බැහැ.. 


එයාට පුලුවන් උනානම් මතක් කරලා බෙහෙත් බෝතලේ මූඩිය වහලා රස්සාවට යන්න එහෙම දෙයක් නොවෙන්න ඉඩ තිබ්බා.මැරුනේ පිරිමි කෙනාගේ වගේම ගැහැණු කෙනාගෙත් දරුවා... 


පිරිමි හිත් වලට වඩා ගොඩාක් දුර්වල වෙන ගැහැණු හිතක් තමන්ගේ දරුවගෙත් වියෝ වේදනාවත් දරාගෙන තවත් මනුස්සයගෙනුත් කුණු වෙන්න බැණුම් ඇහුවා නම් මොකක් වෙන්න තිබ්බද..?තමන්ගේ බිරිඳට තමුන්ව ඕනම වෙලාවට ඒ මනුස්සයා ඒක ලබා දුන්නා... 


හැම කෙනෙකුටම ජීවිතය දිහා මේ විදිහට බලන්න පුලුවන් උනා නම් මේ ලොකේ තියෙන ප්‍රශ්න ගොඩාරියක් අඩු වෙන්න තිබ්බා නේද...??? 

"සැතපුම් දහස් ගානක් දුර ගමනක් ආරම්භ වෙනේ අද දවසෙ ඔබ තබන එක පියවරකින්" අද දවසෙ ඉඳලවත් තමුන්ගෙ තියන ඊර්ශ්‍යාකම්,වෛර කිරීම්,පලි ගැනීමේ චේතනා,බිය වගේ දෙවල් සියල්ල ගලා යන වතුරකට විසික් කරලා ජීවිතය දිහා බලන්න.

එදාට ඔබට වැටහේවි මේ ලෝකයේ තමුන්ට සිදුවන දේවල් ඇත්තටම තමුන් සිතනා තරම් අපහසු නැති විත්තිය..ජීවිතයේ අපි ගොඩාක් වෙලාවට කාලය නිකරුනේ කාලය නාස්ති කරනවා කව්ද මේකට වග කියන්න ඕනෑ, කාටද මේකට බනින්න ඕනෑ කියලා රට බයිලා හොය හොයා...

ඒත් අපි නොදැනුවත්වම ඒ කරන ලද දෙයින් අපි දන්නේත් නැතුවම මනුස්සකම කියන උතුම් බැඳීම සදහටම අපෙන් ටික ටික ඈත් වෙලා යාවි නේද...??

මෙහෙම දෙයක් මට උනා නම් සමහරවිට මමත් වලිගේ හපාගෙන මගේ කෙනාට බණින්න පුලුවන් මතුදාක.. ඔයාලට මෙහෙම දෙයක් උනොත් කොහොම හැසිරේවිද....???ටිකක් හිතලා බලන්න...

ඔයිට කලින් එකම පාරක් මේ වගේ පොස්ට් එකක් දැම්මා... කැමතිනම් මෙතනින් ගිහින් ඒකත් කියවන්න..... හැමෝටම ජය වේවා....!!!

Saturday, June 11, 2011

අසේලයාගේ ඒක පාර්ශික ලව් එක


අනේ මංදා මම කලින් දාපු පොස්ට් එක ගොඩ දෙනෙක්ට ලොකු ප්‍රශ්නයක් වෙලා තියන හැඩයි.. කොලඹ වෛද්‍ය විද්‍යාලයේ කියන වෙන බ්ලොග් ලිපිනයකින් ආපු කවුරු හරි සහෝදරයෙක් මට බැනලා කමෙන්ට් දෙකක් දාලා තිබ්බා.... එකක් මෙන්න මෙහෙමයි තිබ්බේ...

"යකෝ මේක ලියන එකෙක් හරියට නම දාපන් . ෆැකල්ටියෙ එවුන් මගෙන් අහනවා මේක ලියන්නෙ මමද කියලා . මේ අනුන්ගෙ ඉලව් ලව් වලින් අහිංසක අපිට නෙ කෙලවෙන්නෙ ශික්"

තවත් මොකක්ද මන්දා එකකුත් එවලා තිබ්බා...ඇනෝනිමස් කෙනෙක් විදිහට නපුන්සක පාට් එකකින් බනින්නෙ නැතුව මෙහෙම බැන්න එකට මම සතු‍ටු වෙනවා මචං...ඒත් උඹට උඹේ වලිගේ කොනක් පෑගිලාද කොහෙද...පොඩ්ඩක් කකුල උස්සලා ඒක අයින් කර ගනින්.නැත්නම් පැටලිලා උඹව වැටේවි...

ආහ් තව මොකෙක්ද එකෙකුගෙ නමකුත් දාලා තිබ්බා මචං මේ උඹද කියලා..... මචෝ උඹට කියන්න වැඩි දෙයක් මං ලඟ නැහැ.. ඒත් ටිකක් කියන්නම්.. මම මෙඩිසින් යන්න තරම් දක්ශ එකෙක් නෙමෙයි මචෝ... එච්චර හැකියාවක් තිබ්බත් මම ඔය මෙඩිසින් කියන එක කරන්න යන්නෙ නැහැ...

ඒ මගේ තාත්තා අසනීපයකට කොලඹ මහ රෝහලේ නවත්තල හිටපු වෙලාවක ඩොක්ටර්ලයි කියා ගන්න සමහරක් ලෙඩ්ඩුන්ට සලකපු විදිහ මම මගේ මේ ඇස් දෙකෙන් දැක්ක නිසයි...මචෝ මමත් කැම්පස් එකේ කොල්ලෙක් තමයි ඒත් අපේ කැම්පස් එක තියෙන්නේ තුම්මුල්ලේ....

උඹලගේ වගේ වෙනම නෙමෙයි... අනික ශානකයා මගේ හොඳ යාලුවෙක්.. මම ඌට මොකුත් කියලා නැහැ.... ඌව ටිකක් උඩින් උස්සල තියපු එක විතරයි මචෝ...

අනික මේ එක එක නම් ගහල මේ උඹද කියල අහන එව්ව වලට උත්තර දෙන්න මගේ බ්ලොග් එක ලෑස්ති නැහැ... මම කවුරුත් නාදුනන තනි පුද්ගලයෙක් මචෝ බොහෝම සරලව ජිවත් වෙන්න උත්සහ කරන පුලුවන් හැම වෙලාවකම කාටම හරි මට පුලුවන් උපරිමයෙන් වචනයකින් හරි උදව් කරන්න බලාගෙන ඉන්න...

මට මගේ ලඟ හැමදාටමත් මගේම කියලා යාලුවො ගොඩාක් ඉන්නේ ඒ නිසයි.එව්වා ඔක්කොම මට ලැබුනේ මම මේ ස්වභාවධර්මයට අනුව සරලව ජිවත් වෙන්න උත්සහ කරන නිසයි...

අනික බං මම ඉගෙන ගන්නේ කොලඹ මෙඩිකල් ෆැකල්ටි එකේ නම් මම මොකටද ඒක හංගන්නේ.. යකෝ ඒක අඬ බෙරයක් ගහල කියන්න වටින දෙයක්නෙ...

මගේ බ්ලොග් එකට ගොඩවැදුනට ගොඩාක් ස්තුති කියල තමයි උඹට අන්තිමට මට කියන්න තියෙන්නේ... උඹත් මෙඩ්ඩෙක්නේ පුලුවන්නම් මෙ රටේ දුප්පත් මිනිස්සුන්ට හදවතින් සලකන හොඳ වෛද්‍යවරයෙක් වෙයන් තවත් කලු කඩ කාරයෙක් නොවි ඩොක්ටර් කියලා කියා ගන්න..

මොකද උඹගෙ පෙර පිනකට ලැබුනු ඒ දායාදය ස්වභාවදර්මයා උඹෙන් උදුර ගනිවි ඊළඟ ආත්මෙදි උඹත් එහෙම ජරා විදිහට මිනිස්සුන්ට සැලකුවොත්....... අර කියමනක් තියනවනේ "හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී" කියලා...ඒකයි මචෝ.....

මම ගැන කියනවනම් මම අපරාජිතයා.... ඉගෙන ගන්නේ කොළඹ කැම්පස් එකේ සයන්ස් ෆැක්ල්ටි එකේ. කැම්පස් එක තියෙන්නේ තුම්මුල්ලේ... පුලුවන්නම් මම කව්ද කියලා හොයා ගනින් මචෝ.... හැබැයි මිරිගුවක් පස්සේ දුවනවට වඩා තමන්ගේ පාඩම් වැඩක් කර ගත්තොතින් කවදා හරි දවසක උඹෙ අතින් මැරෙන අහින්සක මනුස්සයෙක්ට මැරෙන්න නොදී බේරගන්න උඹට පුලුවන් වේවි....

මෙන්න අද කතාව.. අද කියන්න යන්නේත් මගේ ලඟම අදුරන අයියා නෙකුට වෙච්ච දෙයක් මම මූට අසේල කියන්නම්.මූ ඉගෙන ගන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ  මැනේජ්මන්ට් වල..

අවුරුද්ද ප්‍රකාශ නොකර ඉන්නම් මොකද ආයෙමත් මේක ජ'පුරේ එකෙක් කියවලා කලින් එකා වගේ මට අනම් මනම් කියලා බනින්න ගත්තොතින් මම ජප්පෙක්ද (ජපුරෙ එකෙක්ද කියලා) කියලා මගේ පටි රෝල්නෙ බොලව්... හික් හික්...

මේ කියන්න යන්නෙත් කෝච්චි ඒකපාර්ශික ලව් එකක් ගැන මූ යන්නේ එන්නේ කොච්චියෙන්.ඔහොම ටික කලක් යන කොට මෙන්න බොලේ මූට හැමදාම නිතර දකින හුරු බුහුට් කෙල්ලෙක් නෙත ගැ‍ටුනා කියහන්කෝ..

ඉතින් කෙල්ලව දැක්ක සැනින් මූ කෙල්ලට හිතින් ලව් කරන්න ගත්තා... මූ හැමදාම ජපුර කැම්පස් එන්න ගෙදර ඉඳලා කොච්චියට නගින කොට මූට කෙල්ලව සෙට් වෙනවලු.කෙල්ල නගිනවලු හැමදාම **** ස්ටේශන් එකෙන් කොච්චියේ අන්තිම පෙට්ටියට...

ඉතින් මූ හෙමි හෙමිහිට පැණි පාරත් දාගෙනම කෙල්ලට කෙළ හල හලා හිනා වෙනවලු, ලඟට ගිහින් ලං වෙලා ඉන්නවලු එක සීන් එකයිලු...

මූ දවසක් කොහොම හරි කෙල්ල එක්ක කතාවට වැටිලා දැනගෙන කෙල්ල කොලඹ සයන්ස් ෆැකල්ටි එකේය කියලා.. කෙල්ල සයන්ස් කියලා දැන්ගත්තු ගමන් මූට ඉහේ මලක් පිපුනා වගේ දෙයක් උනාලු..ඇයි යකෝ මමත් සයන්ස් එකේ එකෙක් කියලා මූ දන්න නිසා මට කියලා සබ් එක ගන්න පුලුවන්නේ කියලා..ඒත් මූට බැජ් එක අහගන්න අමතක උනාලු...

මේ අවුරුද්දෙ මුල මෙන්න යකෝ මට එක පාරටම එනවා කෝල් එකක් මුගෙන්.. මූ කෝල් කරලා මෙහෙම කියනවා..

මම:- හෙලෝ...
ඌ:-අඩේ මලේ පොඩි උදව්වක් ඕනා බං...
මම:- මොකෑ බං තොපිට අපිව මතක් උනේ..?
ඌ:- අඩේ මේ මට කොච්චියෙ කෙල්ලෙක් සෙට් උනා බං..ඒකිගෙන් විස්තර ටිකක් දැනගත්තා කෙල්ල උඹලගේ ෆැකල්ටි එකේ මචං.. මට පොඩ්ඩක් ඒකි ගැන විස්තර ටිකක් හොයලා දීහන්කො....

මම:- හරි බලමු.මොකක්ද නම..??
ඌ:-යකෝ නම දන්නවනම් මම තොට කිය කියා ඉන්නවද බොල..
මම:-හරි හරි..එහෙනම් කියහන් බැජ් එක මොකක්ද.?අපේ එකේද..?
ඌ:-බලපන් මචං.මට ඒක එකිගෙන් අහන්න අමතක උනානේ බං..සුදු,උස, කෙට්‍ටු කෙල්ලෙක් බං.. කට වට කර වැටක් වගේ කම්බි වැටක් දත් සෙට් එකට දාගෙනත් ඉන්නවා...කොන්ඩෙට පොඩි බූලක් දාලා කඩා හැලෙනවා මචං හරියට නිකන් අස්සයෙකුගේ නැට්ට වගේ..

මම:ඈ.. කොහොමද බං එහෙම හොයන්නේ හෙන තොගයක් ඉන්නවනෙ බං..
ඌ:-මොකක් හරි කරලා හොයලා දියන්කෝ බං...
මම:-බලමු...

ඔන්න ඉතින් මම පහුවෙනිදාම ඉඳන් අපේ මුලු කැම්පස් එකම පීර පීරකට වට කර ගහපු කම්බි වැට වලුයි, අස්ප නැටියි දාපු කෙල්ලන්ව හොයනවා...මොන කොහොමද බොලව් එහෙම හොයන්නේ...?

කොහොම හරි මූ ෆේස් බුකියේ පිරල පිරලා කෙල්ලව හොයාගෙන දවසක් මම ගෙදර හිටි වෙලේක මට මුගේ සිහින කුමාරිගේ ලින්කුවක් එව්වා... මම ඒක දැක්කම තමයි මීටර් උනේ යකෝ මේ අපේ උඩ බැජ් එකේ අක්ක කෙනෙක්නෙ කියලා...

කොහොම හරි මෙයාට කොල්ලෙක් ඉන්නවද කියලා මම දැනගෙන හිටියෙ නම් නැහැ.ඒක නිසා මම මූට හොයල බලලා කියන්නම් කියලා කිව්වා...කොහොම හරි ඔය අතරේ මූ ඒ අක්කට ෆේස් බුකියේ රික්වෙස්ට් එකක් දාලා..

මම ඊ ළඟ සදුදා ගිය ගමන් කලේ ශේප් එකේ එයාට කොල්ලෙක් ඉන්නවද කියලා හොයලා බලපු එක.බලද්දි ඉන්නවා.. හැබැයි කොල්ලා අපේ එකේ එකෙක් නෙමෙයි පිට ජොබ් එකක් කරන කොල්ලෙක්...

කොහොම හරි මම මූට ඕක කිව්වහම මූ හෙන පඬි ටෝක් එකක් දුන්නා."එව්වා මොනාද බං මල්ලි අපිට.සිම්පල් වැඩනේ... බලහන්කෝ මම දාපු ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකත් දැන් ඇක්සෙප්ට් වෙලා... මම දෙන්නම්කෝ වැඩේ" කියලා...

මම මූට කිව්වා පව් වැඩ කරලා පව් පුරව ගන්නේ නැතුව පාඩුවේ වෙන එකකට බැහැපන් කියලා..ඒත් මූ ඇහුවෙම නැහැ..කොහොම හරි ෆේස් බුකියෙන් මූ කෙල්ලට හෙනට පැණි පාර දාලා ජ'පුර මැනේජ්මන්ට් ෆැකල්ටිය මුලට දාලා....

කොහොම හරි මුගේ පෙරෙත්තය නිසාම කෙල්ල අකමැත්තෙන් මූව හම්බු වෙන්න එන්නම් කිව්වලු... තැන වෙලා තියෙන්නේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයට.... ඕක අනුමත උන ගමන්ම මූ පැනලා මට කෝල් එකකුත් දාලා හෙන පම්පොරියකුත් ගහලා කෙල්ලව හම්බු වෙන්න යන්න දත කට මැදන්ගෙන බලාගෙන ඉඳලා...

ඔන්න අදාළ දවසේ මූ හෙන ෆැන්සි පොරක් වගේ ගියාලු... කොහොම හරි එදායින් පස්සේ මුගේ කිසි සද්දයක් නැතුව ගියා.. වෙනදා කෙල්ල ගැන අහලා මට වාත උන එකා එක පාර හැල හොල්මනක් නැහැ... රින් කලාට පෝන් එක ගන්නෙ නැහැ...මැසේජ් එකකට රිප්ලයි එකක් නැහැ....

අන්තිමට සිද්දිය වෙලා දවස් 4 කට පස්සේ මෙන්න මූ මට කෝල් එකක් දුන්නා....

මම:-හෙලෝ... පරුෂ අසමත්ජාතියා... තොපිට හරි යනකන් විතරයි නේද අපිව මතක තියෙන්නේ...? දැන් ලව්
කරපිය කෙල්ල එක්ක..අපිව මතක නැහැ.

ඌ:-අඩේ මල්ලි නැහැ බං.
මම:-පල යන්න.තොපි ඔහොම්මමයි...
ඌ:-පොඩ්ඩක් හිටපන්කො බං කියනකන්.
මම:-අනේ මේ තව මොනා කියන්නද බොල...?
ඌ:-අඩේ අහපන්කො ****යෝ.උඹ මේ ගැන කාටවත් කියන්න එපා මචං..අඩේ එදා ආපු කෙල්ලෙක් නැහැ බං.එදා මා එක්ක ෆේස් බුක් එකේ චැට් කරලා තියෙන්නෙ කෙල්ලගේ කොල්ල එක්කලු බං.

මම:-හුටා.
ඌ:-ඔව් බං..අඩේ මම එදා රුපියල් 250ක පොඩි චොකලට් එකකුත් අරගෙන පාක් එකට වෙලා බලන් ඉන්න කොට මෙන්න බං හෙන පත හයේ හතරේ පොරවල් දෙකක් ඇවිත් මං ලඟට.මම අසේලද කියලා ඇහුවා.මම ඔව් කිව්වා විතරයි බං එකෙක් මගේ බෙලෙන් අල්ලලා උස්සලා කිව්වා බං මගේ කෙල්ල දිහා ආයේ බලලා හරි අහු උනොත් මරනවා කියලා...අඩේ බලපන් බං...

මම:-තොට හොඳ වැඩේ.මම කිව්වනේ කලින්ම කොල්ලෙක් ඉන්නවයි කියලා...
ඌ:-උඹ කාටවත් කියන්න එපා මචං..මාර නෝන්ඩියක් බං උනේ...

බලද්දි එදා ෆේස් බුකියේ මූ එක්ක චැට් කරලා තියෙන්නේ ලොග් වෙලා ඒ අක්කගේ කොල්ලා.... මූට අන්තිමට පච චාටර් සීන් එකක් වෙලා හො‍ටු පෙර පෙර හිටියා... හික් හික්.

ඔන්න වෙච්ච සිද්දිය... දැන් මේක කියවලා ජ'පුර මැනේජ්මන්ට් ෆැකල්ටියේ අයියල සෙට් එකක් රෙද්ද උස්සන් එන්න එපා උඹ මූද..?? අරූද..?? හුටා මේ උඹනේ කිය කියා...

මම කවදාවත් මම ඉගෙන ගන්න ෆැකල්ටි එක කියන්න නෙමෙයි හිටියේ..ඒත් අර කලින් පෝස්ට් එකට මෙඩිකල් ෆැකල්ටි එකේ ගොයියෙක් ඇවිත් නටපු නාඩගම නිසා ඒක කියන්න උනා..නැත්නම් වෙන අහින්සකයෙක් ඉවර නිසා....

කතාව ගැන මොකද හිතෙන්නේ...කෙල්ලෙකුට කොල්ලෙක් ඉන්නවා කියලා දැන දැන ඒකිටම ලයින් දාන එක ගැන උඹලා දකින විදිහත් දැන්ගන්න කැමතියි....
හැමෝටම ජය වේවා.....!!!

Sunday, June 05, 2011

ශානකයාගේ වීර වික්‍රමය


මෙච්චර කල් මගේ බ්ලොග් එකේ කලක ඉඳන් ඇඬියාවක්නේ බොලව් තිබ්බේ... ඒකටත් හරියන්න මම අද මගේ ලඟ යාලුවෙක්ට උන  පොඩි සිද්දියක් කියන්නම්....

මම මූට "ශානක" කියල කියන්නම්.මූ තමයි අද පොස්ට් එකේ කතා නායකයා... මූ ගැන කියනවා නම් මූ ඉගෙන ගන්නේ කොලඹ වෛද්‍යය පිඨයේ... (ඔව් බොලව් අපිත් ටිකක් වැදගත් කියන මිනිස්සුන්වත් ආශ්‍රය කරනවා තමයි)

මූව සෙට් උන විදිහ එහෙම උඹලට වැඩක් නැහැ... මු ගැන කියනවනම් හෙනම මීටර් එකක්.... පලවෙනි පාර 2007 A/L ඇනගෙන දෙවනි පාරට 2008 A/L කරලා කාටද බොල ලංකාවේ 21 වෙනියා වෙන්න පුලුවන්.....

ඒත් මම මේ කියපු ශානකයට කරන්න පුලුවන් උනා.... අපි වගේ පොඩි කැම්පස් වල ඉගෙන ගන්න එකෙක් නෙමෙයි ඌ.ඒක නිසා වචනයෙන් කියනවනම් ඌ වෙන්න ඩොකෙක්.... මටත් ඉතින් දන්න අදුනන යාලුකම නිසා ඌව නිතරම වගේ සෙට් වෙනවා.... අනික අසනීපයක් හැදුනු දවසක නොමිලේ හරි බෙත් ටිකක් ගන්න පුලුවන්නේ...

කොහොම හරි මම සචිනි (මට පහුගිය දවස්වල බූට් තිබ්බ කෙල්ල) එක්ක යාලු වෙන්න පස්සෙන් ගිය කාලේ ඉදන්ම මූත් ඔය සිද්ධිය දැනගෙනයි උන්නේ.... ඒ කාලේ මූ මට නිතරම දුන්නු උපදෙසක් තිබ්බා....

මූ කිව්වේ "ඔය කෙල්ලෝ පස්සේ යන එකනම් බං තෙරුමක් නැති දෙයක් බං... තනියම ඉන්න ජිවිතේ තරම් සැපක් වෙන කොහෙවත් නැහැ"යි කියලයි...

ඌ එව්වා වලට ඉදිරි පත්කල තර්ක මෙන්න මෙහෙමයි... "බලපන් මචං උඹෙ අම්මයි තාත්තයි.. උඹට කන්න බොන්න දෙන්න දුක් මහන්සි වෙනවා.... ඒ මිනිස්සුන්ට කිසිම නිදහසක් නැහැ.. හරියට කෑමක් බීමක් නැහැ... ජිවිතේ කිසිම විනොදයක් නැහැ.... ඒ වගේද බං තනියම ඉන්න කොට කං කෙඳිරි ගාන්න ගෑණියෙක් නැහැ.... ළමයි නැහැ.... කරදර කිසිම දෙයක් නැහැ ෆුල් ෆන් එකෙන් හැම දාම ඉන්න පුලුවන්නේ බං.... ඔය ගැණු ඔනනම් ඉස්පිරිතාලවල නර්ස් නෝනලා ඉන්නේ බං... බලපන් මට හිතෙනවා මට අද මේ හෝටලෙන් දවල්ට කන්න ඕනා කියලා.... මම ඉතින් ගිහින් කනවා.... ගැණියෙක් ගත්තම ඒ නිදහස නැහැනේ බං... ඔය මගුල නවත්තලා මං වගේ ආතල් එකේ ඉදහන්කො මචං....." 

ඒ ගිය අවුරුද්දෙ මාර්තු වල විතර..... එහෙම කියපු එකා මෙන්න මේ අවුරුද්දෙ අප්‍රියල් විතර මට දවසක් සෙට් උන වෙලේක කියනවා මෙහෙම කතාවක්;

ශානකයා:-අඩේ පොඩි සීන් එකක් තියනවා බං උඹට කියන්න...
මම:- කියහන්... මොකක්ද..?
ශානක:- මචං මම හැමදාම බස් එකට නගින හොල්ට් එකට පට්ට කෑල්ලක් එනවා බං....
(මූ ඉන්නේ නුගේගොඩ පැත්තේ)
මම:-ඉතින් බං උඹ ලඟදිද බං දැක්කේ...??
ශානකයා:-ඔව් බං මම දවස් දෙක තුනක් ලෙක්චර්ස් කට් කරලා එන වෙලේක දැක්කේ බං... **** බැංකුවේ වැඩ කරන කෙල්ලෙක්..හරි අහින්සක පාටයි බං... මට නිකන්ම හිත ඇදිලා ගියා.....
මම:- එල එල එහෙනම් බැහැපන් ගේමට....
ශානකයා:- පොඩි ප්‍රශ්නයක් බං...
මම:- මොකක්ද....?
ශානකයා:-ඒකි මාව දන්නෙවත් නැහැ.... අනික බං මට වඩා වැඩිමල්ද දන්නෙත් නැහැ...
මම:-වස්සෝ වයස ප්‍රශ්නයක්ක් නැහැ.අවුරුද්දක් දෙකක් වැඩි උනත් උඹට අවුලක් නැතිනම් ශේප්නේ...

බලපියව් එදා එහෙම පොර ටෝක් දුන්න බුවාට අද වෙලා තියන විනාසේ...මූට නම් අනංගයා හීසරකින් නෙමෙයි පොරවකින් වගෙ එකකින් කොටලද මංදා.... චීත්තයක් සෙට් උනා විතරයි මූ දෙකට තුනට නැමිගෙන ලෙක්චර්ස් කට් කරගෙන පස්සෙන් යන්න ගත්තා....

මූ ඒ කාලේ හැමදාම මට අප්ඩේට්ස් දි දී එක එක උපදෙස් එහෙමත් ගත්තා... මොකෑ මගෙ ලව් ඉලව් හුට පට දෙකම ගැන ඌත් හොදටම දැනගෙන හිටියා....කොහොම හරි ඌ කියනවා කෙල්ල ඌත් එක්ක හිනා වෙනවලු.... බස් එකට මූ එක්ක නැගලා කෙල්ල ඉඳගත්තම මුගෙ බෑග් එක එහෙමත් ඉල්ල ගන්නවලු.

ඔහොම මුගේ ට්‍රයි ලව් සීන් එක ගලාගෙන ගියා..... දවසක් සෙට් උන වෙලේක මූ කියනවා;
ශානකයා:- අඩෝ ***** මම කෙල්ලගෙන් ඇහුවා බං....මාව අඳුරන්නේ නැහැයි කිව්වා බං මන් එකිට පොඩ්ඩක් කතා කරන්න ඕනයි කිව්වා කියලා..

මම:- යකෝ එහෙම එක පාරටම අහනවද බොල...?
ශානකයා:- කරන්න දෙයක් නැහැ බං..ක්ලිනිකල් පටන් ගන්නවා එන මාසේ මුල.... එතකොට මේ කට්ට කන්න බැහැනේ බං...
(ඇත්ත.. මගේ තව යාලුවෙක් කියලා තියනවා උදේ 7.30 විතර වෙද්දි හොස්පිටල් එකේ වෝර්ඩ් එකේ ඉන්න ඕනලු)
මම:- හ්ම්.... කෙල්ලො එහෙම තමයි බං....උඹ අත අරින්න එපා... මගේ එකත් මට මුලින් ඔය බයිලාවමනෙ බං ගැහුවේ... බලපන් දැන්
(දැන්නම් එවා ලෙසටම සිදුවී බූට් වැදී සියල්ල හමාරය)
ශානකයා:- ඔව් ඔව් අනිවා....

මෙහෙම කියපු බුවා දිගටම කෙල්ල නිසා ඔය කට්ට කාලා... කොහොම හරි උන්ව වෝඩ් දාන්න කලින් සති 3 නක "ඔරියන්ටේශන්" කියලා වෝඩ් වලට එක්ක ගිහින් පොඩි හැදින්වීමක් දුන්නලු.... ඒ කාලේ හැමොටම ක්ලිනිකල් කෝට් එක ඇඳගෙනලු වාට්‍ටුවට යන්න ඕනේ වෙද නලාවත් එක්ක...

මූ කෙල්ල බැහැ කිව්වට පස්සේ හදලා තියෙන්නේ කෙල්ලට මූ මේඩ්ඩෙක් කියලා ඒත්තු ගන්වන්න...මූ ඉතින් පස්සෙ දවසක මුගේ ක්ලිනිකල් කෝට් එකත් දෙකට තුනට නවාගෙන මෙඩිසින් වල තියනවාලු පොතක් "Macleod's Clinical Examination" කියලා.

මූ ඔය පොතත් පේන්න අතේ තියාගෙන එදත් අර ඔරියන්ටෙශන්ද මොකක්ද මගුලත් කට් පාරක් දාලා කෙල්ලට ෆලෝ අප් පාර දැම්මලු... එදත් කෙල්ල මුගෙන් අතේ තිබ්බ කෝට් එකයි පොතයි ඉල්ල ගත්තලු....

ඒත් කෙල්ලට හරියටම මූ මෙඩ්ඩෙක්ද කියලා මීටර් උනාද කියලා මූට ශුවර් නැති නිසා මූ ඊ ළඟ දවසෙ මරුම වැඩක් කරලා පජාත වෙලා ඇවිත් මා එක්ක මෙහෙම කිව්වා... පහලින් දාන්නේ ඌම කියපු විදිහට...

"මචං එන සතියෙ ඉදන් ක්ලිනිකල් පටන් ගන්නවනේ.මේ මගුල හැමදාම කරන්නත් බැහැනේ.. මම අද ගහන්න පුලුවන් අන්තිම තුරුම්පුවත් ගහන්නම් කියලා හිතාගෙන ගත්තා ස්තෙත් එක (වෙද නලාවට මෙඩ්ඩො කියන්නේ එහෙමලු..ඌ තමයි කිව්වේ) පොතට උඩින් ඒක පේන්න අල්ලගෙන මම බස් හෝල්ට් එකට ඇවිදගෙන එනවා... 


අඩෝ කෙල්ල ඉන්නව දැක්කා ඈතින්.. අඩේ මට පේන මානයේදි කෙල්ල නැග්ගනේ බං බස් එකට.. මාත් දුවගෙන ගියා..ඒත් බං නගින්න ඔන්න මෙන්න තියලා බස් එක ඇද්දුවනේ බං... 


මචං මොනවා කරන්නද... මම සල්ලි සල්ලි කියලා බැලුවේ නැහැ බං ගත්තා ත්‍රී විල් එකක් ෆලෝ කරා බස් එක පස්සෙන්... අඩෝ බස් එක කලර් ලයිට් එක ගාව නවත්තලා තිබ්බා.. ත්‍රී වීල් එක බස් එක පස්සෙන් ගහපු ගමන් මම සල්ලිත් දීලා බස් එකට නගින්න ගියා විතරයි බං බස් එක ආයෙමත් ඇද්දුවනේ බං... බලහන් කෙල්ලව මිස් උනානේ බං ශික්....." 

ඕක මූ කියපු විදිහට මට බඩ අල්ලගෙන හිනා....හරියට නිකන් රස කතාවක් වගේ....අන්තිමට මූ ආයේමත් දවස් දෙක තුනක් අර කියපු ඔරියන්ටෙශන්ද මොකක්ද එකත් කට් කරගෙන කෙල්ලට පොඩි ෆලෝ පාරක් දිලා.එදයින් පස්සේ අර ස්තෙත් එක අරගෙන ගිහින් නැහැ....

කොහොම හරි දැන් මූ කියන විදිහට කෙල්ල තවමත් මුගෙන් පොත් ටික ඉල්ලගන්නවලු .ඒත් මූ හෙන රෙස්පට් දාලා ඉන්නවලු... මම කිව්වා ඔය කෙල්ලන්ගේ හැටි බං කියලා.... මූ කියනවා ඇයි යකෝ මේකි මට හෙන ගණන් ඉස්සුවා වගේ මං දැං ගණන් උස්සනවා බං... කියලා.

කොහොම හරි මූ කියන විදිහට කෙල්ලගේ දැන් මූට දක්වන ප්‍රතිචාර අණුව මට පැහැදිලි උනේ කෙල්ල මූට කැමතියි..හැබැයි ආසයි බයයි සීන් එකක් තමයි තියෙන්නේ කියලා... දැන් මුගේ ට්‍රයි එක කෙල්ල වැඩ කරන ***** බැංකුවේ ඉන්නවලු මුගෙ යාලුවෙකුගේ අක්කා කෙනෙක්... මූ හදන්නේ ඒ අක්කා මාර්ගයෙන් කෙල්ලව ටකල් කරගන්න....

මම මේ කතාව කිව්වේ කියවලා හිතන්න... මම ඉස්සර සචිනි පස්සෙන් යන කොට මට එක එක කතා කිව්ව එකා දැන් කෙල්ලෙක් නිසා කන ක‍ටු.....

එව්වා දැන් මූට මතක් කරන කොට මූ කියනවා "අනේ මංදා මචං නිකන්ම හිත ගියා බං" කියලා.... මූ බ්ලොග් එකක් කියවන එකෙක් නෙමෙයි.ඒකයි මේ සිද්ධිය උණු උණුවෙම සයිබර් අවකාශයට දැම්මේ.... මුගේ ලව් එක අති සාර්ථක වෙලා මට වගේ බූට් එකක් නොලැබේවා කියලා හදවතින්ම පතනවා....

හැබැයි මූ හිතන දෙයක පොඩි අඩුවක් තියනවා... මූ කියන විදිහට කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහපු ගමන් ඒකී පැනපු ගමන් හා කියන්න ඕනා...

ඒත් මම හිතන විදිහටනම් කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහපු ගමන් සත පහකටවත් කොල්ලව ගනන් ගන්න නරකයි... ඌව පුලුවන් තරම් බාල්දු කරලා කරලා.... අඬ අඬ පස්සෙන් එන්නත් සලස්වලා තමයි කැමැත්ත දෙන්න ඕනා... එතකොට තමයි ඒ ආදරේ තියෙන වටිනාකම සෙනෙහස වැඩි වෙන්නේ....

උඹලා හිතන්නේ කොහොමද....?? ජය වේවා......!!!

Friday, June 03, 2011

ආයේමත් පටන් ගමු ඉතිං......


දෙවනි පාරටත් බූට් එකක් කාලා දැන්නම් තත්වෙ ගොඩක් දුරට හොඳයි... අන්තිම පොස්ට් එක දැම්මේ බූට් එක කාපු දවසෙ.. එදා රෑ සෑහෙන්න ඇඬුවා. මොනවා කරන්නයෑ.අපේ අම්ම කියනවා අවුරුදු 22 ක් වෙන්නත් ලං වෙලා තවමත් පොඩි එකා වගේ කියලා.

දුකයි කියලා මොනවා කරන්නයෑ.මම අඩුම තරමින් වයින් වත් කටේ තියන එකෙක් නොවන නිසා බොතලේ පිහිට පතන්නවත් බැහැ.ඒ වෙලාවෙ ගොඩාක් ලඟින් හිටිය මගෙම අය ගොඩාක් හිටියා.කොටින්ම මම ගිය බදාදා රෑ පාන්දර වෙනකන්ම ඇඬුවා.එ වෙලේ ලඟින් ඉඳන් මගෙ ඔලුව අත ගගා හිටියේ අක්කයි අම්මයි..

එවගෙම මගෙ ලඟම ගැහැණු යාලුවා "පබා" සහ "තරිඳු" පැයක් විතර එදා රෑ පෝන් එකෙන් හිත හැදුවා.හොඳම යාලුවා "අයේෂ්" ඌ එදා රෑ 12.45 යි ගෙදරින් යද්දි. කොටින්ම අපෙ තාත්තා සීන් එක දන්නේ නැහැ.අම්මා බත් එක බෙදාගෙන ඇවිත් කාමරෙට දුන්නා.මම කෑවේ නැහැ.මන් කැවා කියන්න හරි මගෙ බත් එක කැවේ අයේෂයා...

ඌ අවේ ගෙදර 8.30 ට විතර වැඩ ඇරිලා කාලා බිලා එහෙම.ඒත් අමාරුවෙන් මාව ශේප් කරන්න ඕනා නිසා ඌ එකකත් කෑවා.ඊට පස්සේ "ගයාන්", "පියක අයියා", "අශ්මින් අයියා" ඔය කට්ටියම හිත හැදුවා අනම් මනම් කියලා.. ඒ මට ගොඩාක් කිට්‍ටු පොඩි කාලෙ ඉදන්ම දන්න අය.වෙලාවට මම අපෙ කැම්පස් එකේ අයට මෙ සම්භන්ධෙ ගැන කියල තිබ්බේ ලඟම 3න් දෙනෙකුට විතරයි..

මම බ්ලොග් ලියන්න ඇවිත් මහා ලොකු කාලයක් නැහැ.මාස 5ක් විතර ඇති.. ඒ මාස 5 ට අඳුන ගත්තු හිත හොඳ යාලුවෝ ගොඩාක් මට ඒ වෙලේ කමෙන්ට් වලින් හිත හැදුවා.හිස් අහස, චතුවා (ළමයා), sameera, All in one......., රොබින්, කල්හාර දිසානායක අයියා, අසoක  අයියා, යසියා,  lahirucc , සරත් ලංකාප්‍රිය අයියා. ඒ වගේම නම නොකියා පවා ඒ මොහොතේ හිත හදන්න උදව් උන හැමෝම ගොඩාක් හිටියා.

ඒ වගෙම විශේෂයෙන් කියන්න ඕනා 2-3න් දෙනෙක් ඉන්නවා... අපේම ගෙවල් පැත්තේ ඉන්න එකම ඉස්කොලෙට ගිය ඒත් වැඩි සම්භන්ධයක් තිබ්බ නැති බුවෙක් මගෙ "කෙල්ලෝ ඇයි මෙහෙම කරන්නේ කොල්ලන්ට..??" කියන පොස්ට් එකේ කමෙන්ට් එකක් දාලා හෙන ආන්දොලනයක් කලා.. ඌ මගෙ FB Account එකේ යාලුවෙක් වෙලා ගොඩක් උපදෙස් දුන්නා.. උගේ නම "Y2K" කියලා තමයි බ්ලොග් කමෙන්ට් එකේ තිබ්බේ ඒක මෙහෙම්මම තියන්නම්.

තව මරු සිද්ඩියක් උනා.අපේ බ්ලොග් ලියන එකෙක් මා එක්ක ගොඩක් ‍ෆිට් උනා Google Talk හරහා.පොරට මම අන්තිමට Sign Out වෙන්න කලින් මගේ පෝන් නම්බර් එක දුන්නා.. බූට් එක කාලා දවස් දෙකකට විතර පස්සේ මෙන්න මගෙ පෝන් එකට දන්නෙ නැති අංකයකින් කෝල් එකක් එනවා.

මම "Hello කව්ද මේ...??"  කියලා ඇහුවා.මෙන්න යකෝ අනික් පැත්තෙන් අහනවා "මේ අපරාජිතයාද...?" කියලා. මම එක පාරටම ඇහුවා නෙමෙයි අහුනා "මොකා....??" කියලා.පස්සෙයි මට මතක් උනේ යකෝ මෙ මගෙ බොලොක්කෙ නමනෙ කියලා..

මං ඇහුවා "ඔව් මචං කව්ද මේ කියලා...?" "මම කුරුං බං" කියලා මෙන්න කියනවා. බලද්දි මෙ මම එදා Chat කල කෝපි කඩේ බ්ලොග් එකේ කුරුමා.. ඌත් පැය භාගයක් විතර කතා කලා. වෙලාවට මගෙ නම්බර් එක දුන්නේ.ගෙදර එක දීලා අපෙ අම්ම එහෙම ගත්තා නම් "කව්ද මෙ අපරාජිතයා...?? කියලා හෝන්තු මාන්තු වේවි...හික් හික්.....

එදා දාපු පොස්ට් එකේ මම දැම්ම කෙල්ලගෙ නම මනක්කල්පිත නමක්.මන් හිතන්නෙ Sameera අයියගේ ප්‍රශ්නේ දැන් විසදෙන්න ඇති..  සුරන්ගනා ලොකේ බ්ලොග් එක ලියන "යසියා" මට මෙහෙම කියලා තිබ්බා...

"තොගෙ සක්කිලි කමට තෝ වෙන කෙල්ලෝ පස්සේ ගිහිල්ලා ඇත්තම ආදරෙත් නැති කරගත්තට අපි මොනව කරන්නද???
ඉක්මනට ඒකිට කියාපන්,, ඒකි වෙන කෙනෙක්ගෙ වෙන්න කලින්....
මොනවද බූරුවෝ බලාගෙන ඉන්නේ පලයන්.... වැදලා සමාවගනින්....
මට නම් එහෙම කෙල්ලෙක් නැති වුනා....
උබ නැති කරගන්න එපා.
එක්කෙනට එක්කෙනයි මේ ලෝකෙ මවලා තියෙන්නෙ.....
ජය වේවා..."

නැහැ මචං.ඒකි මගෙ ජිවිතේට ආවට පස්සේ මම මේ වෙනකන් වෙන කිසිම කෙල්ලෙක් දිහා වල් විදිහට බලල නැහැ.මගෙ ඇස් දෙක පල්ලා.මම හැම තිස්සෙම හිතුවේ. මට නොපෙනෙන මානයේ එයාව තියලා එයාට වංචාවක් බොරුවක් ‍රැවටිමක් කරා එක මට හෙන ගහන අපරාදයක් කියලා...

අන්තිමට තව එකෙක් ඉන්නවා මතක් කරන්න.මගේ බ්ලොග් එකේ කලින් තිබ්බා බ්ලොග් තේමාව උනේ..
"බුට් වලින්,පෝරියල් වලින්,යන එන හැම තැනින්ම අසීමිතව ලැබූ පරාජයන්ගෙන් පමණක් අපරාජිත වූ යෞවනයෙකුගේ අජුතම අජුත බ්ලොග් සටහනක ආගමනය......" කියලයි.

"ලංකාප්‍රියගේ සිතිවිලි" කියන බ්ලොග් එක ලියන "සරත් ලංකාප්‍රිය අයියා" මට සර්ව සිංහලෙන් බැනලා ඌ කියන විදිහට තේමාව වෙනස් කරන්න කිව්වා..
" පුට්ටස්ස ලෝක ධම්මේහි - චිත්තං යස්ස න කම්පති ... අට ලෝ දහමින් නොසැලෙන මිනිසකු වීම මගේ අරමුනයි........" විදිහට.. ඔන්න වෙනස් කලා කියහන්කො.

ඔයාල දන්නවනම් ඒ කව්ද කියලා "අන්තිම පේලිය" කියන බ්ලොග් එකේ Jayyaa කියන නමින් කතා ලියන කෙනා තමයි ඒ.. මට වඩා සිය දහස් ගුණයකින් ලියන්න පුලුවන් කෙනෙක් කැමති නම් මෙන්න මෙතන කොටලා බ්ලොග් එකට ගිහින් බලන්න... දැන් ඕකට මු මට යටින් බනිවි පබ්ලිසිටියක් දැම්මා කියලා... ඒත් කමක් නැහැ....

අන්තිමට කියන්න තියෙන්න මෙච්චරයි."අපරාජිතයා ඊස් බැක්......" කියලා තමයි.මම මොනා උනත් ලියන්න පොරොන්දු උනා ගලා ගිය ආදර කතාවත් හෙට ඉදන් දාන්න පටන් ගන්නම්.....

මන් අන්තිමට පොඩි ප්‍රශ්නයක් අහන්නම් බූට් තියපු කෙල්ලෙක් ඊට දවස් දෙකකට විතර පස්සෙ ආයෙමත් මැසේජ් කරලා ආයෙම හොයන් ආවොත් මම මොනාද කරන්න ඕනෙ කියලා කියහල්ලා.... ඕකට "අම්මා, අක්කා, පබා, අයේෂ්,තරිඳු කියන ඔක්කොම කිව්වේ එකම උත්තරයක්.....

"Y2K" කිව්වේ ඇඟට ගන්නේ නැතුව කරන් යමන් කියලයි.... උඹලා කියන්නේ මොකක්ද කියලා කියහල්ලා.....

මොකද බූට් තියලා දවස් දෙකකට පස්සෙ කෙල්ලගෙ හොඳම යාලුවා ඒකිට මෙක නැවැත්තුවාට බැනලා මේකි ආයේමත් මැසේජ් කරන්න ගත්තා... මොකුත් නොවුනු ගානට.. දැන් ඒකි හෙනම ෂේප්.. ඒත් මට ආයෙමත් බැහැ කැඩුණු හිත හදාගන්න... උඹලා කියන එව්වවත් බලමු තීරනයක් ගන්න.....

හැමෝටම දහස් වාරයක් පිං මචංලා.....